Tuesday, March 13, 2012

Chapter 12 - "සිත හඬයි, මා තනි වී..."




සචින්තව කොයිතරම් මගේ හිතෙන් අයින් කරන්න හැදුවත් මගේ හිත ඒකට ඉඩ දුන්නේ නැහැ, මම අපේ ආදරේ ඇතුලේ අතරමං වෙලා හිටියේ, එදා සිදුවීමෙන් පස්සෙ කීප වතාවක්ම සචී අයියා මාත් එක්ක කතා කරන්න උත්සාහ කළත්, මම ඒකට ඉඩක් දුන්නේ නැහැ. මම පුළුවන් තරම් එයාව මග හැරියා. මගේ ජීවිතයට තවත් දුක එකතු කරගන්න මට ඕන වුණේ නැහැ, ඒත් මම නොදැකපු තව පැත්තකුත් තිබුණා. එයා ටික ටික අපේ ගෙදර එන එකත් අඩු කළා. එයා මම ඉන්න වෙලාවක ආවොත් මම කාමරේ දොර වහගෙන ඉන්න පුරුදු වුණා.

මට අපි දෙන්නගේ අතීතය අමතක කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මම හිතෙන් ජීවත් වුණේ එයාගේ ආදරෙත් එක්ක. මොන වැරැද්ද කළත් මට එයාට වෛර කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. අල්මාරියේ තිබුණු එයාගේ ෂර්ට් එක අරන් මම පපුවට තුරුල් කරගෙන හිතින් අපේ අතීතයට ගියා. එයා මේ ෂර්ට් එක අහම්බෙන් මගේ රූම් එකේ දාලා ගිහින් තිබුනේ. ඒක මතක් වෙලා ආපහු ඇවිත් හෙව්වම මම ඒක දුන්නේ නැහැ. ඒකට මාත් එක්ක එයා රණ්ඩු වුණා පොඩි එකෙක් වගේ. මම ඒ දේවල් මතක් කර කර හිනා වෙවී කල්පනා කළා. ඒ අදින් ගොඩක් කාලෙකට කලින්. ඒ හිනාව සතුට මගේ හිතේ අදටත් රැදිලා තිබුනා. ඒත් අද හිතේ මම විතරයි, සචි අයියා නැහැ !

" ආදරයක් කියලා මම විදෙව්වේ කොයි තරම් ලස්සන හැඟීමක්ද සචී අයියේ... ඔයා මගේ හිතේ එකම අස්සක් මුල්ලක් නෑරම ඔයාගෙන්ම පුරවලා, අන්තිමට ඒ හැම හැඟීමක් ම අරගෙන යන්න ගිය හැටි, ඔයාගේ පපුවේ වෙලිලා ඔයාගේ උරහිසේම තුරුල් වෙලා, ජීවත් වෙන්න හීන දැකපු පුංචි කොල්ලට මේ ලෝකේ වෙන හව්හරණක් නැහැ කියලා ඔයාට හිතුනෙම නැද්ද ? මම පව් නේද කියලාවත් ? දශමෙකටවත් හිතුවේ නැද්ද ? ඇයි මට මෙහෙම දුකක් ඉතුරු කලේ ? මගේ ජීවිතේ හැම දුකක්ම ඔයාට ඉල්ලලා, අන්තිමට මට විතරනේ දුක ඉතුරු උනේ... "

මම තනියෙන් අඬ අඬ කල්පනා කලා. හැමදාම අපි දෙන්නගේ මතකයන්ගේ ජීවත් වෙලා අන්තිමේදී මම කළේ අඬන එක.

ඉරෝෂයා මගේ හිත හදන්න ගොඩක් උත්සාහ කළා. මට වෙච්ච දේ ගැන උගේ හිතේ තිබුනේ අවංක කණගාටුවක්. ඌ නිතරම හිතුවේ ඌත් මේකට වගකියන්න ඕන කියලා. ඉරෝෂයා මගේ හිත හදන්න පුළුවන් හැමදෙයක්ම කළා. මාව ෆිල්ම්ස් බලන්න එක්කගෙන ගියා, මැචස් බලන්න ගියා. ඒත් ඒවාගෙන් මගේ හිතේ තිබුණ වේදනාව අඩු වුණේ නැහැ. එක දවසක් දවල් හදිස්සියෙම ඉරෝශෂයා කෝල් කළා,

" මචං මාර සීන් එක, උඹලගේ අයියා ගෙදර ඉන්නවද ?"

ඉරෝෂයගේ කටහඬ සෑහෙන්න කලබල වෙලා.

" ඇයි මොකද ? මොකක්ද වෙලා තියෙන්නේ ?"

" සචින්තයා ශාලිකාගේ කලින් කොල්ලා නිලාන් එක්ක වලියක් දාගෙන, කොලේජ් එකේදී, ආෆ්ටර් ස්කූල් ඉද්දී සචින්තයගේ සෙට් එකයි නිලාන්ගේ සෙට් එකයි ගහගෙන, දෙන්නටම හොඳටම තුවාල වෙලා උඹලගේ අයියා අද ඉස්කෝලේ ගියේ නැද්ද ? "

ඒ ටික ඇහෙද්දිම මම අඬාගෙන වැටුනා... මොනවද දෙයියනේ මේ මනුස්සයා කර ගන්න හදන්නේ...

" අනේ මචං ඉරෝෂයා.... මම දන්නේ නැහැ බං මොනව කරන්නද කියලා.... අයියා ගෙදර ඉන්නවා.. එයාට ගොඩක් අමාරුද උඹ කොහොමද දන්නේ ? "

" මට කිව්වෙත් අමිත් අයියා (ඉරෝෂගේ කසින්) වැඩි අමාරුවක් නැතිව ඇති, හොස්පිටලයිස් කරලා, උඹලගෙ අයියට කියපන් පොඩ්ඩක් ගිහින් බලන්න කියලා. දැනටමත් උඹලගේ අම්මලට ආරංචි වෙලා ඇති සමහර විට

" මම අයියට කියන්නම්, තෑන්ක්ස් මචං. උඹට පුළුවන් නම් මෙහෙ වරෙන් මට පිස්සු වගේ ඉරෝෂයා, "

මම අඬ අඬම කිව්වේ මට දැනුනු අසරණකම නිසා

" හරි මම පැය භාගෙකින් ඔහේ.. අප්සට් වෙන්න එපා, මම ඉන්නවනේ උඹට ඕනෙම දේකට "

ඉරෝෂයා එහෙම කියලා ෆෝන් එක කට් කලා

" ඇයි සචී අයියේ ඔයා මේ තරම් නරක් වුනේ ? කොච්චර හොඳට හිටපු කෙනෙක්ද ? අපේ අම්මා අයියට පවා බැන්නේ ඔයා වගේ ඉන්න කියලා, ඒ සේරම පැත්තකින් තියමු, ඔයා මගේ හිත කොයි තරම් ලස්සන කලාද ? මගේ හිත කොයි තරම් හීන වලින් පිරෙව්වද....

මම කරන්න දෙයක් හිතාගන්න බැරුව අඬ අඬම වාඩිවෙලා හිටියා..

" චූටි පුතා "

ඒත් එක්කම රූම් එකට ආවේ අම්මා, එදා අම්මා මොකක් හරි හේතුවකට ඔෆිස් එකේ ඉඳන් කලින් ගෙදර ඇවිත් තිබුනා. මට මගේ කඳුළු හංග ගන්න බැරි වුණා.

" පුතේ ? දරුවෝ මොකද මේ ?"

" මුකුත් නෑ අම්මා...."

" අනේ රත්තරනේ.. මොකද මේ අඬන්නේ ?"

" මොකුත් නෑ අම්මා.. මොකුත් නෑ.. සේරම හොඳින් "

මම අඬාගෙන ම අම්මගෙ පපුවට තුරුලු වුණා

" සේරම හොඳින් නං ඇයි පුතේ අඬන්නේ ? චූටි පුතේ.."

" ඇයි අම්මේ මටම මේ දේවල් ආරංචි වෙන්නේ.. "

"මොනවද පුතේ ? මොනවද අරංචි උනේ ඔයාට.. ? "

ඒත් එක්කම අයියා කාමරේට දුවගෙන ආවා..

" මල්ලි.. මල්ලි.. මොකද බං මේ ? මොකද අම්මේ මේ ?"

අයියා පුදුමෙන් මගේ උරහිසෙන් හොල්ලන ගමන් ඇහුවා

" අනේ මන්ද ලොකු.. මේ කොල්ලා පිස්සෙක් වගේ අඬනවා "

" මට කියපන් බං.. කියපන්කෝ මගේ යකා අවුස්සන්නේ නැතිව.." අයියත් බය වෙලා

" සචී අයියව.."

" ඉතින් !! " අම්මයි අයියයි දෙන්නම කලබල වුණා

" සචි අයියට.. නිලාන් ගහලා... හොස්පිටලයිස් කරලා " මම අඬ අඬම විස්තරේ කිව්වා.

" තමුසෙට කිව්වේ කවුද ? "

" ඉරෝෂ "

" කොයි වෙලාවෙද පුතේ ?

අම්මා මාව උරහිසට තුරුල් කරගෙන ඇඳේ වාඩි වුණා.

" දැන් ටිකකට කලින් "

" ඉතින් ඔයා අඬන්නේ මොකද පුතේ.. ? අයියට අමාරු නැතිව ඇති... අපි හොස්පිට්ල් යමුකෝ "

" අනේ ඒ වුනාට අම්මා..." මට ඇඬිල්ල නවත්තගන්න බැරි වුනා

" අම්මේ අපි ඉක්මනට ශ්‍රීමති ආන්ටිට කියලා හොස්පිට්ල් එකට යමු "

අයියා එහෙම කියාගෙ​න කාමරෙන් එලියට ගියා.

ඒත් එක්කම වගේ අම්මගේ මොබයිල් එකට කෝල් එකක් ආවා ශ්‍රීමතී ආන්ටිගෙන්... එයත් අඬ අඬ කතා කළේ, අම්මලා හොස්පිට්ල් එකට යන්න ලැහැස්ති වුනා, මට යමු කිව්වත් මම බැහැ කියලා නැවතුනා, අම්මලා යනවා එක්කම ඉරෝෂ අපි ගෙදර ආවා. මම ඇති වෙනකන් කෑ ගහලා ඇඬුවා ඉරෝෂයව බදාගෙන.... ඒ තරම් කඳුළු ගොඩක් මම හලලා නැහැ මගේ ජීවිතේ කවදාවත්

සචී අයියව බලන්න මම එක දවසක්වත් හොස්පිට්ල් ගියේ නැහැ, ඩිස්චාජ් කලාට පස්සෙ ගෙදර ගියෙත් නැහැ, ඒ මට එයාව එහෙම අසරණ වෙලා ඉන්නවා දකින්න බැරි නිසා, එයා මගේ ගැන මොන විදිහට හිතුවද දන්නේ නැහැ, අපේ අම්මයි අයියයි මට බල කරත්, බැන්නත් මම ගියේ නැහැ එයාව බලන්න. ඒත් අපේ අයියා හැම විස්තරයක්ම මට ඇවිත් කිව්වා. එයාටයි, නිලාන්ටයි රණ්ඩුවට ගිය යාලුවෝ කට්ටියටයි සති දෙකක් පන්ති තහනම් කරලා තිබුණා කොලේජ් එකෙන්, අදටත් ඒ රණ්ඩුව කොහොම කොතනින් පටන් අරගෙන මොනවද උනේ කියලා මම හරියට දන්නේ නැහැ, සචී අයියා ඒක ගැන කතා කලෙත් නැහැ.


" සිත හඬයි.. මා තනිවී මා දවාලයි මේ සෝකේ..
ආදරයෙන් මා ලැබුවේ කඳුල පමණද මේ ලෝකේ
කඳුල පමණද මේ ලෝකේ..."



1 comment: