Thursday, March 1, 2012

Chapter 06 - "එකම එක දිග පුංචි පැතුමක්..."




වැස්සකට පස්සේ පායපු දේදුන්නක් වගේ මගේ මුළු ජීවිතේම පාට වෙලා තිබුණා. මම මේ තරම් ආදරයකින් වෙලිලා ඉන්න බව මම වත් දැනගෙන හිටියේ නැහැ. ඒ තරම් ආදරයක් සචී අයියා ලග තිබුනා, කියලා හිතෙද්දිත් පුදුමයි. පහුවදා උදේ ශ්‍රීමතී ආන්ටියි සචී අයියයි නුවර යන්න ලැහැස්ති වුණා. ශ්‍රීමතී ආන්ටිට අංකල්ගේ මරණින් පස්සේ අයිති වුනු ඉඩමේ කොටසත්, අංකල්ගේ මල්ලි සල්ලි දීලා ගන්න කැමැති වෙලා තිබුණා. ඒ වැඩේ කරගන්නයි ශ්‍රීමතී ආන්ටි නුවර ආවේ. මාවත් එක්කගෙන යමු කියලා සචි අයියා කිව්වා, එයාට ඕන වුණා මාව හැමතැනම ඇවිදින්න එක්කගෙන යන්න, එයා ලඟින්ම මාව තියාගන්න.

අපි උදේ මුලින්ම ගියේ දළදා මාලිගාවට, ශ්‍රීමතී ආන්ටි නෙලුම් මල් වට්ටියක්ම පූජා කරල ගොඩක් වෙලා බුදුන් වැන්දා, සචී අයියත් එයාගේ අම්මා වගේම ගොඩක් භක්තියෙන් බුදුන් වැන්දා, මම ඒ දෙන්නා දිහා බලන් හිටියේ හිතාගන්න බැරි හැඟීමකින්, මම ඒ දෙන්නට කලින් බුදුන් වැඳලා ඉවරවුනු නිසා මම කළේ සචී අයියා දිහාම බලාගෙන හිටපු එක. මාළිගාවෙන් එළියට ඇවිත් අපි කෙලින්ම ගියේ සචී අයියලාගේ ගෙදරට, වලව්වක් විදිහට හදලා තිබුණ විශාල ගෙදරක්. ලස්සන වත්තක් මැද්දේ තිබුණා. මගේ සචියා පුංචි කාලේ ඉඳන් හැදුණු වැඩුණු ගෙදර නේද කියලා හිතෙද්දි, මට ඒ ගෙදරම ඉන්න තිබුන නම් කියලා හිතුන වාර අනන්තයි. ශ්‍රීමතී ආන්ටිගේ මුහුණේ තිබුණේ දුකක්. තමන්ට අවුරුදු ගාණක් හෙවන දුන්නු ගෙදර ගෙවන අන්තිම මිනිත්තු කිහිපය නිසා වෙන්න ඇති කියලා මම හිතුවා. ඒත් සචී අයියගේ මුහුණේ තිබුණේ කලකිරුණ පෙනුමක්. ශ්‍රීමති ආන්ටි අංකල්ගේ මල්ලිත් එක්ක කතා කර කර ඉද්දි සචී අයියා මාවත් එක්ක ගෙන මිදුලට ආවා. අපි වත්තේ කෙළවරක තිබුණ බංකුවක වාඩි වුණා.

" ඇයි ඔයා අප්සෙට් එකෙන් වගේ ඉන්නේ ? "

මම සචී අයියගේ උරහිසකට අත තියලා ඇහුවේ, එයාගෙ නිහඬබව තවත් ඉවසන්න බැරි වුනු තැන. එයා මගේ දිහා බලාගෙන ලොකු හුස්මක් පිට කළා.

" අද මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා හිරු "

එයා මට හිරු කියලා කිව්ව පළවෙනි වතාව. මම තේරුම් ගන්න බැරි විදිහට එයාගේ මුහුණ දිහා බැලුවා.

" මම පුංචි කාලෙ ඉඳන් හැදුනේ මේ ගෙදර, මම අම්මයි අප්පච්චියි නිසා හුඟක් දුක් වින්දා. වැඩියෙන්ම අප්පච්චිගේ බීමත් කම නිසා. මම අන්ත අසරණ වෙලා හිටියේ මේ ගෙදර, මේ දේවල් මෙහෙම විසඳෙන එක ගැන මගේ හිතට ලොකු සැනසීමක් දැනෙන්නේ. ආපහු මට කවදාවත් මේ ගෙදරට එන්න ඕනේ නැහැ, මේ ගෙදර තියෙන්නේ දුක් ගොඩක මතකයක් විතරයි "

එයා කලකිරුනු හැගීමකින් කියවගෙන ගියා.

සචී අයියා ජීවිතේ ගොඩක් දුක් විඳලා තියෙනවා කියලා මට තේරුනේ එයාගේ ඒ කතාවත් එක්ක, ඒක නිසා මම ඒක ගැන තවත් අහන්න ගියේ නැහැ, අන්තිමට ඒ ගෙදර වැඩ ටික ඉවර කරගෙන අපි පාරට ආව, ආපහු පුංචි අම්මලාගේ ගෙදර යන්න බලාගෙන. ශ්‍රීමති ආන්ටි ෆුඩ් සිටි එකට ගිහින් බඩු ගොඩක් ගත්තේ පුංචි අම්මලාගේ ගෙදර ගෙනි යන්න, එයාලා ජීවත් වෙන්නේ අමාරුවෙන් වුනත් අපිට පුළුවන් උපරිම විදියට සලකනවා කියලා ශ්‍රීමති ආන්ටි කියද්දි මම හිතුවේ, ජීවිතයේ හැමෝටම මොනවා හරි ප්‍රශ්න, දුක් කම්කටොලු තියෙනවා නේද කියලා, අපේ අම්මා අපිට කවදාවත් දුකක් අඩුපාඩුවක් දැනෙන්න තිබ්බේ නැති නිසා ඇත්තටම මටයි අයියටයි ජීවිතේ බරපතල කමක් තිබුනේ නෑ කියලා මට හිතෙනවා.

අපි පුංචි අම්මලාගේ ගෙදර ගිහින් වොෂ් එකක් දාගෙන දවල්ට කෑවා. හවස ආපහු නුවර යමු කියලා සචි අයියා මට හොරෙන් කිව්වා. එයා ශ්‍රීමති ආන්ටිට කිව්වේ පරණ ඉස්කෝලේ යාළුවෙක්ගේ ගෙදර යනවා කියලා, අපි දෙන්නා හවස 4ට විතර ගෙදරින් පැන්නා

" යන්තම් ඇති " එයා බස් එකට නැගලා වාඩි වුණු ගමන් මගේ කර වටේට අතක් දාගන්න ගමන් කිව්වා.

" මොනවද " මම එයාගේ මුහුණ දිහා බලාගෙන අහද්දි එයා මගේ නහය මිරිකලා

" ඔක්කොම හරි " කියලා කිව්වා.

" ඉතින් මාව මේ කොහෙද එක්ක යන්නේ " මම ඇහුවා.

" ඔයා ආසයි කිව්වනේ ඇවිදින්න, ඉතින් මම ඔයාව ඇවිදින්න එක්ක යනවා. ආපහු කවදා නුවර එන්න වෙයිද දන්නේ නැහැනේ, අනෙක අපි දෙන්නට මේ වගේ තනියෙන් එකට ඇවිදින්න කවදා පුළුවන් වෙයිද ආපහු ? "

එයා මගේ මුහුණට එබිලා කියනවා, පණ්ඩිත සීය කෙනෙක් වගේ.

" එහෙම හිතන්න එපා, එන විදිහක් බලමු "
මම මගේ උරහිස වටේ තිබුණ එයාගේ අතේ ඇගිලි, මගේ ඇඟිලි වලින් අල්ලලා හිමින් මිරිකන ගමන් කිව්වා.

අපි නුවර වැව රවුමේ ඇවිද්දා , එතන තියෙන බංකුවක වාඩි වෙලා ගොඩක් දේවල් කතා කර කර හිටියා. එයා එයාගෙ මොබයිල් ෆෝන් එක අරගෙන මගේ ෆොටෝ එකක් ගන්න ලැහැස්ති වුනා. එයා නැගිටලා ටිකක් ඉස්සරහට ආව මගේ ෆොටෝ එකක් ගන්න.

" ඔහොම නෙවෙයි... අයියෝ " එයා මගේ ගාවට ආවා ආපහු,

" මොනවද ? " මම උඩ බිම බලනවා

" මෙන්න මෙහෙම, මේ අත මෙන්න මෙහෙම, මේක මෙහෙම " එයා මගේ අත, උරහිස හදනවා, මට හිනාව නවත්ත නවත්ත ගන්න බැරි වුණා.

" හි....හී.... හරියට ෆොටෝග්‍රැෆර් කෙනෙක් මොඩ්ල් කෙනෙක්ගේ ෆොටෝ ෂූට් එකක් කරනවා වගේ " මම කිව්වේ හිනා අතරෙන්ම.

" මේ මම ෆොටෝගැෆර් කෙනෙක් නොවුනට ඔයා ඉතින් මොඩල් කෙනෙක් වගේනේ " එයා හිනා වෙවී කියනවා.

" ආ.. ඇත්තද " මට ආයෙත් හිනා.

" හ්ම්.. හ්ම්.. හරි හරි.. කෝ ඔහොම ඉන්න ඉතින් " එයා ආයෙත් ෆෝන් එක මගේ දිහාට හරවාගෙන කියනවා.

" හ්ම්.. හරි.. හරි.."

" කෝ.. ලස්සන හිනාවක් "

" අනේ.. විකාර නැතුව ඔන්න ඔයා ෆොටෝ එක ගන්න අනේ.. මිනිස්සුත් බල බල යනවා "

" හ්ම්.. හරී.." Click..! " ආ.. දැන් මේ පැත්ත " Click ! Click !

" හරිද ? "

" ම්ම්.. හරි "

" දැන් ඔයා " මම එයාගෙත් ෆොටෝ එකක් ගන්න නැගිට්ටා

" නෑ.. නෑ.. නෑ.. මේ මගේ ඕනේ නැහැ " එයා කියනවා

" අනේ ඉතින් ! එහෙනම් අපි දෙන්නම " මම එයාගෙ අතේ එල්ලුණා.

" දැන් ෆොටෝ එක ගන්නේ කවුද එතකොට " එයා අහනවා

" අර ඉන්නේ අන්න එයාට දෙන්න " මම ඈත ඉඳන් අපි දිහාම බලා ගෙන ආපු බෝයි කෙනෙක්ව පෙන්නලා කිව්වා. සචී අයියා ඒ බෝයිට කතා කළා.

" අයියේ, අපි දෙන්නගේ ෆොටෝ එකක් අරන් දෙනවද "

ඒ බෝයි හිනා වෙලා ඇවිත් ෆෝන් එක අතට ගත්තා. සචී අයිය ඇවිත් මගේ ලග හිටගෙන කරට අතක් දාගත්තා. එදා ඒ ගත්ත ෆොටෝ එක තමයි අපි දෙන්නා ඉස්සෙල්ලාම එකට ගත්ත ෆොටෝ එක.

" මටත් බිලූටූත් වලින් එවන්න ඒ ෆොටෝ එක" මම ආපහු එද්දී සචී අයියට කිව්වා.

" ඕන නැහැ.. අපි දෙන්නටම එකක් ඇති " එයා හිනාවෙලා කිව්වම මම ඇහුවේ " ඒ මොකද " කියලා.

" ඒ කවදා හරි ඔයා මගේම වෙන නිසා "

එයා මගේ අතින් අල්ලගෙන කිව්වම මට ලොකු සතුටක් වගේම ලොකු බයකුත් දැනුනා.

" දෛවය අපිව කොහේ කොහේ අරන් යයිද දන්නේ නැහැ අයියේ "

මම එයාගෙ සීතල අත තද කරගෙන කිව්වා.

" ගහකොළ පවා අපේ ආදරය විශ්වාස කරයි පන, අපිට වරදින එකක් නැහැ... මාව විශ්වාස කරන්න මම කවදාවත් ඔයාව තනි කරන්නේ නැහැ, මගේ හුස්ම තියෙනකන් ඔයා මගේ ලග ඉදී "

එයා ඒ ටික කියද්දී මගේ පපුව හිර වෙලා ඇස් වලට කඳුළු පිරුනේ මටත් නොදැනීම.

අපි ගෙදර ආවේ හවස හතට විතර, පුංචි අම්මලාගේ ගෙදර වත්තට ඇතුළු වෙද්දිම එයා මගේ අතින් තදකරලා එක පාරක් අත් ඇරලා හිනා උනා.

" ඔයාගේ තරු වගේ ඇස් වලට මම ගොඩක් ආදරෙයි පන.. හෙටත් ගමනක් එක්ක යන්නම් කෝ "

එයා දරාගන්න බැරි තරම් ආදරයකින් කියනවා

" හෙට කොහෙද අපි යන්නේ ? "

" ඒක සර්ප්‍රයිස් එකක් " එයා ඔලුව පැත්තකට ඇල කරලා, කියලා හිනා වුනා.



" ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලත වුනු
එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මන්
නුඹේ සුවඳ රැදි පපුව ගැඹරේ කියා ගන්නට බැරිව සිරවුණු
එකම එක දිග පුංචි පැතුමක් තවම පතනව මන් " 






1 comment:

  1. HIRUUUUUU..........MATATH HIRU KIYANA AYATA MN ADALEYIII...

    ReplyDelete