Tuesday, March 13, 2012

Chapter 15 - " මං එයාට ආදරේ නැහැ...!!!"



සචී අයියා එදා රෑ වෙනකම්ම අපේ ගෙදර හිටියා. අම්මා කිව්වා එයාට කෑම කාලා යන්න ඉන්න කියලා. මට ඒකට ඒකට තවත් තරහයි. කවන්න තමයි ඕනේ මෙයාට. මම තනියෙන් හිතුවා. මම වොෂ් එකක් දාගෙන ඇවිත් ඇඳේ හාන්සි වුණා. අම්මා මගේ කාමරයට ආවා තේ එකක් අරගෙන,

" පුතේ, අර ඔයාගේ යාළුවා සචී අයියා ඇවිත් ඉන්නේ දැන්, ගිහින් කතා කරන්නේ නැද්ද ? "

අම්මත් තේ එක මගේ අතට දෙන ගමන් එහෙම ඇහුවම මම එකපාරටම අම්මගේ මූහුණ බැලුවා.

" මොනව කතා කරන්නද අම්මා, ඇයි ලඟදි අතේ පයේ හිරි ඇරගන්න ගිහින් නැද්ද කාගෙන්වත් ගුටි කාලා ? "

මම තරහෙන් කිව්වේ කියලා අම්මට තේරෙන්න ඇති.

" එහෙම කරන්න එපා පුතේ, සචී අයියා නරක ළමයෙක් නෙවෙයි නේ, පහලට ඇවිත් ටිකක් කතා කරන්න. කාලෙකින්නේ අපේ ගෙදර ආවෙත්, ඔයාට ඒ ළමයා එයාගෙම සහෝදරයෙක්ට වගේ ආදරෙයි.."

අම්මා දන්නවා නම් මෙයා මට කළ දේවල්, අම්මා ඔහොම කියන්නේ නැහැ, මම තනියෙන්ම හිතුවා. ඒත් අන්තිමේදී අම්මගේ බල කිරීමට මම පහලට ගියා. අපේ අයියයි සචී අයියයි TV බලනවා. මම සචී අයියව දැක්කේ නෑ වගේ ගිහින් සාලේ කොනක තිබුණු පුටුවක වාඩි වෙලා, තේ එක බිව්වා. සචී අයියා හොර පූසෙක් වගේ මගේ දිහා හැරිල බලනව, මම අහක බලාගෙනම හිටියා.

ටික වෙලාවකින් අයියා නැගිටලා උඩට ගියා අපි දෙන්නව තනි කරන්න උවමනාවට වගේ, මට අයියගේ මුහුණ දිහා කෙලින් බලන්නත් ලැජ්ජයි. මේ මිනිහා අපේ ගෙදරටම ආවනේ රෙද්දක් ඇදන් මම තරහෙන් පුපුර පුපුර හිටියා.

දැන් සාලෙ ඉන්නේ සචී අයියයි මමයි විතරයි. තත්පරයක් දෙකක් ගෙවිලා ගියා. සචී අයියා හිමිහිට වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා මගේ දිහාවට එනවා මම දැක්කා. මම ඒත් බැලුවේ නැහැ.

" හිරූ.. රිසාල්ට්ස් කවද වගේ එයිද දන්නේ නැහැ නේද ? "

" දන්නේ නැහැ "

" මම ආවට තරහයිද ? " එයා මොකුත් නොවුන ගානට අහනවා.

" ආපහු තරහ වෙන්න දෙයක් නැහැනේ.. අපි කොහොමත් තරහයි නේ "

" මම තරහ උනේ නැහැනේ හිරූ.. ඔයානේ තරහ උනේ "

" තරහ නොවී මම මොනව කරයි කියලද දන්නේ නැහැ හිතුවේ "

මම මටම කියා ගත්තා වගේ එතනින් නැගිටලා කිචන් එකට ගියා. අම්මා උයනවා. තේ කප් එක හෝදලා තියලා මම ආපහු හැරෙද්දී සචී අයියා කිචන් එකේ.

" පුතාලට බඩගිනිද ? පොඩ්ඩක් ඉන්න ඉක්මනට දෙනවා. අද සචී පුතා කැමති දේවල් තමයි හදන්නේ "

අම්මා හිනා වේගන කියනකොට මට අපේ අම්මා පව් කියලා හිතුනා. මේ යකා අපේ අම්මවත් රවට්ටගෙන... මට තරහා ආවා. මම ආපහු මගෙ රූම් එකට ගියා. රෑ කෑමට කතා කරන කං මම ආපහු පහලට ගියේ නෑ, මම කෑම මේසෙට ගිහින් වාඩි උනා. සචී අයියා ඇවිත් වාඩි වුණේ මගේ මුහුණ ඉස්සරහම. මම බිම බලාගෙනම කෑම බෙදා ගත්තා. අම්මා හදලා තිබුනේ වෙජිටබල් නූඩ්ලස් එක්ක චිකන් කරි. ඒ සචී අයියා කැමතිම කෑම.

" ආන්ටි සෑහෙන්න මහන්සිවෙලා, සචී අයියා කියනවා.

" මොන මහන්සියක්ද පුතා, ඔයා කොච්චර කාලෙකින්ද මෙහෙ ආවේ, අපි එපා වෙලානේ දැන්, වෙන අලුත් යාලුවෝ ඇති. "

අපේ අම්මා හිනා වෙවී කියනවා

" අනේ නැහැ ආන්ටි. එහෙම අමතක කරලා නෙවෙයි. ආන්ටි දන්නවනේ ඉතින් මට වෙච්ච කරදර "

සචී අයියා දුකෙන් වගේ කියනවා.

" හරි හරි මොනව උනත් අපි ඉන්නවා පුතාටයි පුතාගේ අම්මටයි. ඒත් මට දුක හිතුනා පුතා වැඩිපුර මෙහෙ නාව එක ගැන, දැන් කොලේජ් එකේ වැඩ එහෙම කොහොමද ? එක්සෑම් එකත් එන්න එන්නම ලං වෙනවා නේ.."

ඔව් ආන්ටි මමයි සඳරුයි රිවිෂන් ක්ලාස් යනවා ලබන මාසේ ඉදන් "

ඒක හොඳයි.. ලොකු.. ඔයා සචී පුතාට ක්ලාසස් වල මිස් වෙච්ච පාඩම් ටික කියලා දුන්නද ? "

" ඔව් අම්මා අදත් අපි කලේ ඒවා තමයි "

හැමෝම කතාවල් ටික අහගෙන මම කටට දෙකට නුඩ්ල්ස් ටික කාලා දැම්මා. ඉක්මනට වතුරත් බීලා මම මේසෙන් නැගිට්ටා.

" අම්මා.. මම නිදාගන්න යනවා " මම එහෙම කියලා එතනින් ආවා

මම රූම් එකට ඇවිත් ඇඳේ දිගාවුණා. ටික වේලාවකින් රූම් එකේ දොරට තට්ටු කරනවා

" කවුද ? "

" හිරූ මම.. " සචී අයියා

" ඇයි ? "

එයා දොර ඇරගෙන ඇතුලට ආවා. මම අහක බලාගෙනම හිටියා.

" මම යනවා කියන්න ආවේ " එයා බිඳුණු හඬකින් කිව්වා

" පරිස්සමෙන් යන්න. ගුඩ් නයිට් ! "

මම එහෙම කියලා අනිත් පැත්තට හැරුනා. එයා ටිකක් වෙලා එතනම හිටියා මට දැනුනා. ඊට පස්සේ ලොකු හුස්මක් ගෙන ආපහු යන සද්දේ මට ඇහුණා.

එයාගෙ මුහුණවත් බලපු නැති එක ගැන එයාට දුක ඇති. ඒත් රත්තරන් මමත් ඔයාට වඩා ගොඩාක් දුක් විදිනවා, ඔයාගේ ආදරේ අහිමි වෙච්ච දවසේ ඉදන් මේ වෙනකන්. මම අඬපු තරම් අඬන්න ඔයා හීනෙන්වත් හිතලා නැතිව ඇති. හැමදාම ඇඬුවේ මම විතරයි. එදා රෑ එලි වෙනකම් මම හිටියේ නින්දත් නොනින්දත් අතරේ.

පහුවදා සෙනසුරාදා. මම ඉරෝෂයි යාලුවෝ එක්කයි මැච් එකක් බලන්න ගියා. ඒක ඉවර වෙලා එද්දි ඉරෝෂයා බඩගිනියි කිව්ව නිසා අපි දෙන්නා කොල්ලුපිටියේ මැක්ඩොනල්ඩ් එකට ආවා. එතැනදී ඉරෝෂයා ආපහු පරණ ටොපික් එක " සචී අයියා " ඇදලා ගත්තා. මම නම් ඒ ගැන කතා කරන්නවත් කැමති වුණේ නැහැ. ඒත් ඉරෝෂ හාර හාර කතා කලේම සචී අයියා ගැන. මම ඕනවට එපාවට වගේ උත්තර දුන්නේ, මම ඊයෙ සචී අයියා මට කෝල් කරපු එකයි අපේ ගෙදර ආපු එක ඌට කිව්වා.

" මේවා සේරම අපේ අයියගේ වැඩ, එයා තමයි ඔක්කොම කරන්නේ, එයාට තමයි සචින්තට අපේ ගෙදරට එන්න ආරාධනා කරන්න ඇත්තේ. "

මගේ නිවිලා තිබුණ කේන්තිය ආයෙත් ඇවිස්සුනා. මට තරහ ගිය බව දැනගෙන ඉරෝෂයා ටිකක් වෙලා නිශ්ශබ්ද වෙලා හිටියත්, ආපහු ටිකකින් උගේ චැටර් බොක්ස් එක ඇරියා.

" මේ.. ලහිරුවා.."

" මොකෝ "

" හරි.. හරි.. දැන් ඉතින් මොන යකා කියලා හරි සචින්ත උඹලගේ ගෙදර ආවනේ "

" ඉතින් "

" මේ.. ඉතින් මොකද උනේ කියපන්කෝ "

" මොකක්ද ? " මට ආයෙත් යකා නැග්ගා

" එයා ඔන්න ඉතින් ආවා....." ඉරෝෂයා තාලෙට ඇද කරලා කිව්වා.

" ඔව් ආවා.." මම උඩ බලාගෙන හිටියා

" ඉතින් ? ඉතින් ? ඇවිත් ? "

" හුහ්.. ඇවිත් ගියා ! ඔය ලැජ්ජ වෙලා " මම සමච්චල් හිනාවක් දාලා කිව්වා

" ඒ මොකෝ ? ඉරෝෂයා ඇස් දෙක ලොකු කරගත්තා

" මං මූහුණවත් බැලුවේ නැහැ "

" බොරු "

" බොරු නෙවේ.. මන් බැලුවේ නැහැ "

" පව් හලෝ.. ඇයි එහෙම කලේ ? " ඉරෝෂයා දුකෙන් වගේ අහනවා

" විකාර " මං එපා කියලා කෙනෙක්ව ලේසියෙන් අත් හරින්නෙත් නැහැ ! හැබැයි එහෙම අත්හැරියොත් ලේසියෙන් ජීවිතේට ගෙන්න ගන්නෙත් නැහැ ! " මම තදින්ම කිව්වා

" ඔච්චර දරුණු වෙන්න එපා ලහිරුවා.."

ඉරෝෂයා මගේ මැණික් කටුව ලඟින් අල්ලලා කියනවා

" මං ඉස්සර මෙහෙම නැහැ.. " මම වීදුරුවෙන් එළිය බලාගෙන කිව්වා.

" ඉතින් ඒක තමයි මමත් කියන්නේ ඇයි එහෙනම් මේ දැන් ? "

" මට දැන් එයා එපා වෙලා.. හැටි විතරක්.. කොන්ඩෙත් වවාගෙන, රැවුලත් වවාගෙන.. කොලේජ් එකෙන් පන්ති තහනම් කරන එක අහන්නත් දෙයක් ද ? "

මම මුරණ්ඩු විදිහට කියල දැම්මා.

" ආහ් ? " එකපාරටම ඉරෝෂයගේ මූහුණට හිනාවක් ආවා.

" ඇයි ? " මම පුදුමෙන් වගේ ඇහුවා

" මුහුණවත් බැලුවේ නැහැ කිව්වා නේද ? ඉරෝෂයා ඇහැක් ගහලා ඇහුවා

" ඔව් බැලුවේ නැහැ තමයි "

" හික්ස්.. එතකොට කොණ්ඩෙයි රැවුලයි තිබුණේ ටීවී එකේද..? "

" හි.. හී.. "

ඉරෝෂයා කිව්ව කතාවට අපි දෙන්නටම හොඳටම හිනා. ඒත් ඒ හිනාව ඇතුලේ මගේ හිතේ දුකත් ගැබ් වෙලා තිබුණා. මේ ජීවිතයේ දුර ඉන්නකොටත් දුක, ළඟ ඉන්නකොටත් දුක, එකම දේ ආදරය කියලා මට හිතුණා.

" මං එයාට ආදරේ නැහැ.." මම වීදුරුවෙන් පිටත බලාගෙන හිමීට මිමිණුවා.

" ආයෙත් කියන්න.." ඉරෝෂයා මගේ මුහුණ දිහා බලාගෙන කිව්වා

" මං එයාට ආදරේ නැහැ.."

" ආයෙත් පාරක් මං දිහා බලාගෙනම කියන්න කෝ "

" මන් "

" මේ.. මේ.. මේ.. මගේ ඇස් දිහා බලන් කියහන් "

ඉරෝෂයා මගේ නිකටෙන් අල්ලලා උගේ මුහුණ දිහාවට හරව ගත්තා

" මං එයාට ආදරේ නැහැ..!!!"

මම ඒක කියනවත් එක්කම ඉරෝෂයා ආපහු හිනා වෙන්න පටන් ගත්තා.

" මොකද යකෝ ? "

" හි හී.. හහ් හා.. හි හී.. අනේ බන්.. හි හී.. ආදරේ නැහැ ? "

" නැහැ තමයි "

" හි හී.. හා.. හොදේ " ඉරෝෂයා දිගටම හිනා වුනා.

මම කොහොම කිව්වත් සචී අයියා කියන්නේ මගේ පණ කියලා ඉරෝෂයා දැනගෙන හිටියා, මම සචී අයියට ආදරේ නැහැ කිව්වේ මගේ හිතට එකඟව නෙවෙයි කියලත් ඌ දැනන් හිටියා. එකම දේ ආපහු එයා ලගට යන්න මට හිත හදාගන්න බැරිකමයි


"දුන්නු වේදනා මේ නෙතින් උදුරලා
මතක රැස්වෙලා හිත අයාලේ ගියා..
හිතෙන්නෙම නෑ ඔබ මගේ නොවේ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා..
කෙටි කාලයකින් හමුවී මගේ ජීවිතය පැමිණි
ලස්සනම සිහිනෙකී ඔයා..."






No comments:

Post a Comment