Tuesday, March 13, 2012

Chapter 14 - "සිතට ඔබේ නොදැණුනාද.. මගේ ආදරේ..."



එක දවසක් හවස මම ටිකක් කලින් ගෙදර ගියා, එදා ඔෆිස් එකේ වැඩි වැඩක් තිබුනේ නැහැ, ඒක නිසා මම ගෙදර ගිහින් වොෂ් එකක් දාගෙන, කියවන්න පොතකුත් අරන් බැල්කනි එකට ගියා. ටික වෙලාවකින් අපේ අයියා සඳරූ ක්ලාස් ගිහින් ආවා. එයා ගේට්ටුවෙන් ඇතුලට එනකොටම මම ඉන්නවා දැකලා මගේ දිහා බලාගෙනමයි ඇතුලට ආවෙත්. ටික වෙලාවකින් අයියා බැල්කනි එකට ආවා.

" මල්ලි.. මොකද්ද කියවන පොත "

" Angels and daemons " මම එහෙම කියලා පොතේ පිට කවරය එයාට පෙන්නුවා. අයියා මගේ දිහාම බලාගෙන හිටියා ටිකක් වෙලා, අයියගේ මොකක් හෝ අමුත්තක් තියෙනවා කියලා මට තේරුණා.

" ඇයි අයියේ ? "

අයියා ලොකු හුස්මක් හෙලුවා, එයා මොකක් හරි ප්‍රශ්නයක ඉන්නවා කියලා මට හිතුනේ.

" උඹ සතුටින් ද මල්ලි ඉන්නේ ? "

අයියා එක පාරටම එහෙම ඇහුවම මාව උඩ ගිහින් බිම වැටුනා. මොකක්ද මේ ගමන වෙන්න යන්නේ

" අයියේ ? ඇයි ඔයා මගෙන් එහෙම අහන්නේ "

" මල්ලි... මට.. මට.. සමාවෙයන් මල්ලි "

අයියගේ තොල් වෙව්ලනවා. එයා ඒ තරම් හැඟීම්බර වෙනවා මම කවදාවත් දැකලා නැහැ.

" අයියේ ?? මොකද මේ ? "

මම ඇත්තටම ගොඩක් බය වුනා

" මට සමාවෙයන් මල්ලි, තාත්තා මැරෙන්න ටික කාලෙකට කලින් මට කතා කරලා එක වැඩක් භාර දුන්නා, ඒක ලොකු වැඩක්. තාත්තා මගෙන් ජීවිතයේදී ඉල්ලුවනම් යමක් ඒ එච්චරයි "

අයියගේ ඇස් වලට කඳුලුත් උනලා.

" ඒ මොනවද තාත්තා ඔයාට කිව්වේ ? "

" අම්මයි තාත්තයි වෙනුවෙන් මල්ලිව බලාගන්න කියලා මට කිව්වා. මට කරගන්න බැරි වෙච්ච එකම දේත් එච්චරයි. මට බැරි උනා මගේ මල්ලිව පරිස්සම් කරගන්න "

අයියාගේ කටහඬ ගොඩක් බිදිලා තිබුනා.

" මං උබව බලා ගත්තද මල්ලී.. මට කියපන්.. මට කියපන්.. මට කොතනදිද උබව මගහැරුනේ ? මට කියපන්.."

" අනේ අයියේ "

මම අඩාගෙනම අයියව බදාගත්තා. අයියා සචින්ත අයියගෙයි මගෙයි හැම දෙයක්ම දැන ගෙන තිබුණා. මගේ ෆෝන් එකේ එයා එවපු SMS හැම දෙයක්ම බලලා. සචී අයියව මරන්න තරම් කේන්තියක් එයා හිටියේ, ඒත් මම අයියට හැම දෙයක්ම පැහැදිලි කළා. සචී අයියගේ වරදක් නැති බව මම කිව්වා. ඒක ඇත්ත නොවුනත් මම එහෙම කිව්වේ මට මගේ අයියා අපරාධකාරයෙක් වෙනවා බලන්න බැරි නිසා.

" ඌ උඹට ඇත්තටම ආදරේ ඇති මල්ලි, මට කියපන් උඹත් ඌට ඇත්තටම ආදරේද ? මම උඹල දෙන්නට කිසිම කරදරයක් කරන්නේ නැහැ එහෙම නම්, මට කියපන් ඌ උඹට කරදර කලාද ? එහෙම නම් මම ඌව තියන්නේ නැහැ, මම Open minded කොල්ලෙක්. උඹ ඒක දන්නවනේ, ඌ උඹට ඇත්තටම ආදරෙයි නම් මම උඹලා දෙන්නට උදව් කරනවා. ඒත් ඌ උඹට බලහත්කාරකමක් කළා නම් මට ඒක දැන්මම කියපන්, ඇත්ත කියපන් "

අයියා පිස්සෙක් වගේ කියෝගෙන ගියා

" නැහැ අයියේ, සචී අයියා මට කවදාවත් කූඹියෙකුට තරම්වත් රිද්දලා නෑ , එයාට පාඩුවේ ඉන්න දෙන්න. මමයි එයාගෙන් ඈත් වුනේ, එයාට පාඩුවේ ඉන්න දෙන්න ප්ලීස් "

මම අඬ අඬම අයියට කිව්වා. අයියා මාව තුරුල් කරගෙන ඔලුව අතගගා ගොඩක් වෙලා හිටියා. එයා අන්තිමට කිව්වේ.. මම කැමති ඕනම දේකට ඉඩ දෙන්නම්, ඒත් ජීවිතේ වරද්ද ගන්න ලැහැස්ති වෙන්න එපා, එහෙම වුනොත් මාවත් මරලා අයියත් මැරෙනවා කිව්වා.

ටික දවසක් එහෙමම ගෙවිලා ගියා. වෙච්ච දේවල් නිසා මම ගොඩ බය වෙලා ඒ වගේම දුකෙන් හිටියේ, අයියා මාත් එක්ක වෙනදා වගේ ඉන්න උත්සාහ කළත් මට හරියට කෙලින් එයාගේ මුහුණ දිහා බලන්න පුළුවන් කමක් තිබුණේ නැහැ, ඒත් මම නොදන්න තවත් දෙයක් ඒ අතරේ වෙලා තිබුණා. අයියා කෙලින්ම ගිහින් සචී අයියගෙන් අහලා, සචී අයියා සේරම කියලා, මාව ආපහු යාලු කරවලා දෙන්න කියලා ඉල්ලලා. අපේ අයියත් මෝඩයා වගේ ඇවිත් මට සචි අයියගේ හොඳම කියවන්න ගත්තා එක පාරටම. එයා දැන් හැදිලලූ, නරක වැඩ කරන කොල්ලෙක් නෙවේලු. මට පුදුම හිතුනා, මීට සතියකට කලින් සචි අයියව මරන්න තරම් කේන්තියෙන් හිටපු අපේ එකා දැන් උගේ ගුණ වර්ණනා කරන කොට.

එක අතකට මට හීන් සතුටක් තිබුණා. අයියගේ තරහා නිවිලා හැම දෙයක්ම ආපහු සාමාන්‍ය අතට හැරිලා තිබුනු නිසා. දවසක් මම ඔෆිස් එකේ ඉන්නකොට, ඔෆිස් ලයින් එකට කෝල් එකක් ආවා. මම ඒ වෙලාවේ ලන්ච් එක අරගෙන ඇවිත් ටේබල් එකේ වාඩි උනා විතරයි.

" හෙලෝ "

" මිස්ටර් ලහිරු ? "

" ඔව් කතා කරනවා "

" සචින්ත "

" සචී අයියා "

" දැන් ඔෆිස් යනවලු නේද ? "

" ඔව් ! ! "

" ඒක හොඳයි.. වෙලාවක මමත් එන්නද ඔෆිස් එකට "

" ම්ම්... මේ ඔෆිස් ? "

" ඔව්.. මතකද අපි තරහ උනේ ඔය ඔෆිස් එකේ දිමයි "

" මට මතක නැහැ..! " මම ගත් කටටම කියලා දැම්මේ තරහකින්

" තරහ වුණා කියලා, තරහ වෙච්ච ගමන් මිනිස්සුන්ව අමතක කරන්න එපා හිරු.."

" මම නම් පරණ ජීවිතේ හැම තත්පරයක් ගානෙම මතක තියාගෙන ඉන්නවා සචී අයියේ ! ඔයාට තමයි හැම දේම අමතක "

" ඔයාගේ සතුට වෙනුවෙන් ඔයා එහෙම හිතාගන්න හිරූ.. අපි හම්බ වෙච්ච පළවෙනි දවසේ, ඔයා මාත් එක්ක කතා කරපු වචන, ඒ වචන පවා මට තවම මතකයි.."

එයා දිග හෑල්ලක් කියවන්න පටන් ගත්තා. මගේ හිතේ යට වැලලීගෙන යන තරහා ආයෙත් අලුත් වුනා.

" සචී අයියා.. ඇයි මට කතා කලේ ? " මම තරහ පාලනය කර ගෙන ඇහුවා.

" හිරූ.. මට ඔයත් එක්ක කතා කරන්න පරිසරයක් කොහෙද තියෙන්නේ ?

" එහෙම පරිසරයක් කොහෙවත් නැහැ "

මම ගොඩක් තරහින් ගත්කටටම කියලා දැම්මා. මම ඒ තරම් සැරෙන් කවදාවත් එයාට කතා කරලා නැහැ. මට ඒක ගැන ඒ මොහොතෙම ගොඩක් දුක හිතුණා.

" ඒ කියන්නේ, මේ කරපු, නොකරපු හැම වරදක්ම ආපහු කතා කරලා, සමාව දී ගෙන , ආයෙත් අලුත් ජීවිතයක් පටන් ගන්න ඔයාගේ කිසිම අදහසක් නැද්ද ? "

" නැහැ.. හැමදාම ජීවිතය අලුතින් පටන් ගන්න, අපි තවම පුංචි ළමයි නෙවේනේ සචී අයියේ, දැන් අපේ ජීවිත ගොඩක් දුර ඇවිත්. අපිට ආයෙත් හැරෙන්න බැහැ "

" මන් නැතුව ගාලු පාරේ අඩි 10 ක් ඇවිදගෙන යන්න බැහැ කියපු ඔයා, මන් නැතුව ජීවිතේ දිගේ ඇවිදගෙන යන්න පුරුදු වුනාද හිරූ ?? "

එයාගේ කටහඬත් වෙනස්වෙලා.

" මොනව කරන්නද සචී අයියේ ?? මන් පුරුදු වුණා ! තනියම ජීවත් වෙන එක පවා මට ඔයයි පුරුදු කලේ.. "

" හිරූ "

" මට වැඩ තියෙනවා.. මම තියන්නම් "

මම ලොකු හුස්මක් හෙලලා ෆෝන් එක තිබ්බා. සචි අයියා කියන වචන වලින්, අයියා කියන විදිහට එයා වෙනස් වෙලා කියලා මට හිතුනා. ඒත් මම ආපහු කොහොමද අමාරුවෙන් හදාගත්ත හිත, එයා ලඟට තව සැරයක් ගිහින් කඩාගන්නේ ? එදා හවස ගෙදර යද්දි සචී අයියා අපේ ගෙදර ඇවිත්, අයියත් එක්ක සාලේ පාඩම් කර කර ඉන්නවා.

" ආහ්... ඉලන්දාරියාට මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ "

අපේ අම්මා සචී අයියා ළඟට ගිහින් ඔලුව අත ගෑවා. මම දැක්කේ නෑ වගේ උඩට ගියා.

දවල් කෝල් එක ගනිද්දිත් සචී අයියා ඉඳලා තියෙන්නේ අපේ අයියා එක්ක. මට පේන විදිහට අයියත් දැන් මෙයාට සපෝට් වගේ, මම හිතින් අනුමාන කලා. හැබැයි ඒක තමයි ඇත්තටම වෙලා තිබුනෙත්, සචී අයියා ආපහු මාව යාලු කර ගන්න අපේ අයියා ගෙන් උදව් ගන්නවා. අපේ අයියත් මාර පොරක් තමයි. මට එදා නං ගොඩක් තරහයි. අද ඒවා මතක් වෙද්දී ගොඩක් සතුටුයි. මට ඉන්නේ මේ ලෝකේ මේ ලෝකෙ ඉන්න හොඳම සහෝදරයා..



"ලඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කලා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ..... මගේ ආදරේ....

ඇවිත් වගේ අඳුරු වලා
ඔබ ලග නෑ දුරස් වෙලා
පෙම් කල හද වෙනස් වෙලා
මක් වුනාද මේ..
නැතිව ආදරේ.. ඔබේ ආදරේ... "



No comments:

Post a Comment