Wednesday, March 14, 2012

Chapter 31 - "FIGHT - BREAK UP - FORGIVENESS..."



" මොකක්ද ඊයේ රෑ කලේ ? " සචී අයියා එකපාරටම ඇහුවම මාව කරකවලා අත හැරියා වගේ උනා.

" මොකක්ද කලේ අහන්නේ ? " මට දැන් දාඩියත් දාලා.

" තමුසේ දන්නවා ඇතිනේ මොකක්ද කලේ කියලා "
සචී අයියාගේ මුහුණ යකෙක් වගේ

" මම කලේ මම කරන්න ඕන දේ.."

" කරන්න ඕන දේ ? "

" තව කියවන්නත් එනවනේ බූරු වැඩ කරලා.. මේක පාර නොවුන නම් මම දන්නවා තමුසෙට කතා කරන්න ඕන හැටි.."

" මට තමුසේ.. තමුසේ.. කියන්න එපා, මම වැරැද්දක් කලේ නැහැ.. මම කලේ ඔයාට වෙන්න ගිය කරදරයකින් ඔයාව බේර ගත්තු එක. අනික ශාලිකා එක්ක යාලු වෙලා ඊට පස්සේ නිලාන් එක්ක වලියක් ඇද ගත්තේ ඉස්සෙල්ලම ඔයා මිසක් මම නෙවේ. ඒ පත්තු වෙච්ච ගින්න මම නිවලා දැම්මා. ඔයා මට ඔහොම කතා කරන්න එන්න එපා සචී අයියේ.."

" මගේ ගිනි මම නිවා ගන්නම් හිරූ.. ඔයා පොඩි එකා නම් පොඩි එකා විදිහට ඉන්න. මෙතන ඔයාව පරිස්සම් කරන්න ඕන මම මිසක්, මාව පරිස්සම් කරන්න ඕන ඔයා නෙවෙයි "
එයා සැර බාල කරලා කිව්වා

" පරිස්සම් කරන්න මාව ? ඔයා ඔයාව වත් පරිස්සම් කරගන්න බැරුව නිකන් පිස්සු කියවන්න එපා සචී අයියේ.. ඊයෙ නිලාන්ලා කට්ටියම ඔයාව පාරෙදි අර විදිහට බයික් වලින් හප්පලා ගියා. අද ඊට වඩා දෙයක් උන් කරන්න තිබුණා. නිකන් බොරුවට දැන් මට කෑගහන්න එපා. මම ඒ ප්‍රශ්නේ විසඳුවා "

" ඔව් ඔයා හිතන් ඉන්නේ මම කොන්ද පන නැති එකෙක් කියලා මම දන්නවා. මම නුවර ඉදන් ආපු අසරණ වෙච්ච කොල්ලෙක්. ඔයාලා වගේ හයි ක්ලාස් නෙවෙයි. ලොකු ලොකු යාලුවෝ නැහැ.. ඒ වගේම මට මගේ ප්‍රශ්න කරදර වලදි ඒවා විසඳගන්න, ඔයා නැතිව බැහැ. තෑන්ක්ස් මට ඒ ටික තේරුම් කරලා දුන්නට. අපි දෙන්නා අතර ගැළපීමක් නැහැ කියලා මට පළවෙනි වතාවට අද දැනුනේ. සොරි හිරූ.. මම මෙච්චර කල් ඔයා ලඟ ඉදපු එකේ කිසිම හොඳක් වෙලා නැහැ කියලා මට අදයි තේරුනේ.."

" නිකන් කියවන්න එපා සචී අයියේ, ඔයාට ඔච්චර දේවල් කියවන්න තරම් දෙයක් මම කලෙත් නැහැ, කිව්වෙත් නැහැ. මම ශාලිකාව මතක් කරපු නිසයි ඔයාට ඔය තරම් තරහා ගියේ. ඒ ඇයි දන්නවද ? ඔයා වැරදියි කියලා 
ඔයාගේ හිත ඔයාට මතක් කරලා දෙන නිසා.."

මම ඇස් වලට කඳුළු පිරෙද්දි එහෙමම කියලා දැම්මා.

" අපිට තවත් කතා කරන්න දෙයක් නැහැ හිරූ.. "

" මම ඔයාට හිත රිදෙන එක දෙයක් කිව්වම ඔයා ඔහොම හැසිරෙන එක හරිද සචී අයියේ ? ඔයාගේ වැරදි මම එදා ඉඳන් ඉවසුවා. මම මුරණ්ඩු කොල්ලෙක්, නරක කොල්ලෙක්, හැබැයි මම කවදාවත් ඔයාට මුරණ්ඩු වුණේ නැහැ. අපේ ආදරේට වැරැද්දක් කලෙත් නැහැ. ඔයා වැරදි කරලත් මම සමාව දීලා ඔයා ලඟට ආපහු ආවා. මම ඒ හැමදේම දැනගෙනත් ඔයත් එක්ක අදටත් ඉන්නවා.."
මගේ ඇස්වල කඳුළු පිහද ගෙන මම කිව්වා. මම කොයිතරම් මැරයෙක් වුණත්, සචී අයියගේ ආදරය ලග මගේ හිත උණු වෙනවා. ඒක තමයි මගේ තියෙන ලොකුම ශක්තිය වගේම වගේම දුර්වලකම. සචී අයියාගේ ආදරය..

" ඒ හැම දෙයක්ම දැනගෙනත් එහෙනම්..... ඇයි ඔයා තවමත් මාත් එක්ක ඉන්නේ..?? "
සචී අයියා අහපු ඒ ප්‍රශ්නය මගේ කන හරහා වැදුණු ලොකු කම්මුල් පාරක් වගේ..

මම වොලට් එක අතට අරන් අපි දෙන්නගේ මැරේජ් සර්ටිෆිකේට් එක අතට ගත්තා.

" තවමත් ඉන්නේ.. මෙන්න මේක නිසා සචී අයියේ.. මම මේක මගේ ජීවිතයට සමාන කරගෙන ජීවත් වෙන නිසා.. මම පොරොන්දු වුනා, ඔයාව දාලා යන්නේ නැහැ කියලා.. මොන ප්‍රශ්නේ ආවත්..!! "

" මමත් පොරොන්දු වුණා හිරු.. ඒත්.."

" ඒත් කියන්නේ.. මේක ඔයාට නිකම්ම නිකං කොල කෑල්ලක් විතරද සචී අයියේ ? "

මට අමතක උනා අපි ඉන්නේ මහ පාරේ කියන එකත්. මම දන්නෙම නැතුව මම අඬනවා. මගේ මුහුණ දිහා මොහොතක් බලාගෙන හිටපු සචී අයියා මාව දාලා එතනින් යන්න ගියා. මගේ ඇස් දෙකෙන් කඳුලු බිංදු එක දිගටම කඩන් වැටුනා. කවදාවත් ප්‍රශ්න වලින් පැනලා යන්නේ නැහැ, මාව තනි කරන්නේ නැහැ කියලා මට පොරොන්දු වුනු සචී අයියා... ගිනි කාෂ්ඨක අව්වේ, ගාලු පාරේ මාව අතරමං කරලා යන්න ගියා. කොහොමද ඔයා මේ තරම් නපුරු වුනේ වුණේ සචී අයියේ...

මම සචි අයියගේ ෆෝන් එකට කොච්චර ගත්තත් රින්ස් යනවා විතරයි, ආන්සර් කරන්නේ නැහැ. බැරිම තැන මම එයාලගේ ගෙදර ගියා එයා ඉන්නවද බලන්න. ගෙදර දොරවල් සේරම වහලා. සමහරවිට ඔෆිස් එකට යන්න ඇති. මම ඉරෝෂයට කෝල් කරලා සිද්දිය කිව්වා. ඉරෝෂයා අපේ ගෙදර එන්නම් කියලා කියල ෆෝන් එක කට් කලා. මට කොයි තරම් යාලුවෝ හිටියත් සචී අයියයි මමයි ගැන දන්නේ ඉරෝෂයා විතරයි. අනිත් උන් හීනෙකින් වත් හිතන්නේ නැහැ මම ගේ කියලා.

" මට නිකමට හිතුනා බං මොකක් හරි අවුලක් වෙයි කියලා " ඉරෝෂයා කිව්වේ කල්පනාකාරී විදිහට.

" මම වැරැද්දක් කලේ නැහැනේ බං.."

" ඒ උනාට ඌ ඒක දකින්නේ වෙනම විදිහකට නේ. සචී අයියා කොහොමත් අමුතු විදිහට හිතන පතන කෙනෙක් නේ.." මම අපේ අයියට කෝල් කලා

" කියපන්.."

" අයියේ.. සචී අයියා ඔෆිස් ආවද ? "

" නැහැ බං, ඌට අද නිවාඩු දුන්නනේ අම්මා.."

" ඔව් උදේ මෙහෙ ආවා. ඊට පස්සේ ගියා ගියාමයි ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ.."

" උඹලා දෙන්නා රණ්ඩු වුනාද ? " අයියා ඉවෙන් වගේ ඇහුවා.

" හ්ම්ම්ම්.."

" හ්ම්ම්.. තමයි. බකමූණා.. මොකක්ද උඹ මේ සැරේ කලේ ? "

" එයාට තරහ ගන්න දෙයක් නම් කලේ නැහැ, එයා තමයි කෙන්ද කන්ද කරගෙන මාත් එක්ක රණ්ඩු වෙන්නේ "

" අපෝ මම නොදන්නවද උඹේ කෙන්ද කන්ද ගැන.. මොකක් හරි දෙයක් සිද්ද වෙන්න ඇති.. නැත්නම් ඌට තරහ යන්නේ නැහැනේ එහෙම නිකම්.."

" අනේ මේ, උඹ ඌව සුද්ද කරන්න හදන්නේ.. මමයි ඔබේ මල්ලි, උඹ මගේ පැත්ත ගන්නේ නැතිව උගේ පැත්ත තමයි හැමතිස්සෙම ගන්නේ, රෙද්ද... මේ ඌ කොහෙද ගියේ කියලා තමුසෙට කිව්වද ? "

" උඹේ හැටි මම දන්න නිසානේ කියන්නේ.. මම දන්නේ නැහැ සචියා කොහේ ගියාද කියන්න නම්, උගේ තරහ නිවුනම උඹට කතාකරයි. දැන් දවල්ට කෑවද ? "

" තවම නැහැ "

" හ්ම්ම්.. එගෙනම් කාපන්. අපි දැන් කන්න හදන්නේ.."

" ඕකේ කාපන් එහෙනම්.. බායි.."

ෆෝන් එක කට් කරලා මම ඉරෝෂයා දිහාවට හැරුණා.

" ඔෆිස් ගිහිල්ලත් නැහැ නේද ? අයියා මොකෝ කියන්නේ ? "

" තරහට කොහේ හරි යන්න ඇතිලු.. තරහා නිවුනම කෝල් කරයිලූ.. "

" හ්ම්.. එහෙනම් අපි ටිකක් ඉවසලා ඉමු. ගණන් ගන්න එපා බං. මම ඉන්නවනේ උඹත් එක්ක ඕනම මල දානෙකට.."

ඉරෝෂයා මගේ උරහිස තද කරන ගමන් කිව්වා.


********************************************** 


එදා දවසම සචී අයියා මගේ ෆෝන් එක ආන්සර් කලේ නැහැ. මම කාමරේට වෙලාම හිටියේ හිතේ දුකට. සචී අයියව මතක් වෙන හැම මොහොතකම ඇස් දෙකට උනන කඳුළු වලක්ව ගන්න මට පුළුවන්කමක් නැහැ. මම, කොල්ලෙක් නිසා, මේ තරම් දුර්වල වුණේ කොහොමද කියලා හිතන කොට මටම පුදුමයි. මම හිත නිවෙනකම් ඇඬුවා. අඬලා අඬලා අන්තිමට මටම නොදැනී නින්ද ගිහින්.

ආපහු ඇහැරුනේ අම්මයි අයියයි එනවා ඇහිලා. ඒත් මම පහලට ගියේ නැහැ. ටික වෙලාවකින් අයියා ඇවිත් කාමරයේ දොරට තට්ටු කලා.

" ඇයි.. ? " මම ඇඳෙන් බහින්නේ නැතුවම ඇහුවා

" මේ.. දොර ඇරපං කෝ.."

මම කම්මැලි කමින් ගිහින් දොර ඇරලා ඇවිත් ආයෙත් ඇඳට වැටුනා.

" මොකද බං ? උඹ අඬනවද ? "

අයිය මගේ ඇස් දිහා බලාගෙන ඉඳන් අහනවා. ඇස් රතු වෙලා තියෙනවා අයියා දකින්න ඇති.

" මම ? උඹට පිස්සුද ? "

" ඉතින් බං මට අඬනවා ඇහුනේ, හූනෙක් වෙන්න ඇති නේද ? "
අයියා නෝන්ඩියට වගේ එහෙම කියලා රූම් එකේ ලයිට්ස් දාන්න හැදුවා.

" අනේ අයියා, ලයිට්ස් නම් දාන්න එපා.. ඔලුව කැක්කුමයි "

මම එහෙම කිව්වේ මගේ මුහුණේ වෙනස අයියට තවත් හොඳට පෙනෙයි කියන බයට

" මේ.. උඹට පොඩි ස්ටෝරි එකක් දිග අරින්නත් එක්ක ආවේ, එක්කෝ කමක් නැහැ උඹ නිදාගනින්.."

" මොකක්ද ? කියපන්කෝ "

" සචියා නුවර යනවලු. නුවර කොලේජ් එකේ හිටපු යාලුවෙක්ගේ අක්කා මැරි කරනවාලු. උඹට කියන්න කිව්වා. ආහ්.. තරහා නැහැ කිව්වා. උඹට කෝල් එකක් දෙන්නම් කිව්වා "

" මේ හදිසියේ මොන වෙඩින්ද ? මට එහෙම කතාවක් කිව්වේවත් නැහැනේ.. අනික තුවාලත් කරගෙන

" ශ්‍රීමති ආන්ටි තමයි අපිටත් කිව්වේ. යන්න එපා කියද්දිත් මූ ගිහින් අද හදිස්සියේම. ඊට පස්සේ මමත් කෝල් කලා. එතකොට තමයි උඹට මේ ටික කියන්න කිව්වේ. ආහ්.. උඹ කරපු වීර කාරියත් මට ආරංචි‍යි. උඹ කොයි වෙලාවක හරි වටේ පිටේ මිනිස්සුන්ගෙන් ගුටි කනවා ගෙදරට මහ රෑ දෙගොඩ හරි ජාමේ පනින්න ගිහින්. අතත් තුවාල කරගෙන තියෙන්නේ. දැන් සනීපද අතට ? "

" දැන් සනීපයි. උඹ ඕවා අම්මට එහෙම කියනවා නෙවෙයි. වලිය ගැන සචී අයියට කවුද කියලා තියෙන්නේ ? "

" මේ.. ඌත් ගියේ අපේ කොලේජ් එකටමනේ. උඹ හිතුවද ඌට ඕව ආරංචි වෙන්නේ නැහැ කියලා. මොනවා වුනත් දැන් ආපහු නිලානයගේ සෙට් එක සෑහෙන්න බය වෙලාලු. හැබැයි උන් තරහින් ඇත්තේ උඹලත් එක්ක "

" තරහ වුණාට කරන්න දෙයක් නැහැ ඉතින්. සුරාජ් අයියා ෆයිනල් වෝනින් එක දීලා ආවේ.."

" අනේ උඹේ සුරාජ් අයියා.. ඌට ඉතින් අහල ගම් හතම බයයි කියලද උඹලා සේරම හිතන් ඉන්නේ..? "

" බයයි තමයි. සුරාජ් අයියට කොල්ලෝ බය වගේම සෑහෙන රෙස්පෙක්ට් කරනවා. ඌ කෙලින් පොරක්.."

" අපෝ ඔව්.. මට බය උඹ ඊළඟ සුරාජ් වෙයි කියලා අපේ කොලේජ් එකේ. ඔන්න මම මගේ වැඩේ කලා. අම්මා කිව්වා තේ හදලා තියෙන්නේ කියලා. මාළු පාන් ගෙනාවා අපි එද්දි. උඹ එනවා නම් වරෙන්. නැත්නම් අඬ අඬ බුදියගනින්. මම ගියා.."

අයියා එහෙම කියාගෙන නැගිට්ට විදිහට මට හිනා ගියා.

" හි..හී... පිස්සා.. යමන්.. මම එන්නම් මුහුණ සෝදගෙන.."


***********************************************


සචී අයියා මට කියන්නෙවත් නැතුව නුවර යන එක ගැන මගේ හිතේ තිබුනේ දුකක්. ඒත් අයියා අතේ තරහා නැහැ කියලා පණිවිඩයක් එවලා තිබුණු එකට නම් මට ඇති උනේ තරහක් . එයා කරපු දේවල් වලට මමයි තරහා වෙන්න ඕන. ඕව හිත හිත රෑ නිදා ගන්න හැදුවත් නින්දක් ආවේ නැහැ මට. එදා රෑ සචී අයියා කෝල් කලේ නැහැ. මමත් තවදුරටත් එයාට කෝල් කරලා කරදර කරන්නේ නැහැ කියලා හිතා ගත්තා.
පහුවදා උදේ නැගිටලා අකමැත්තෙන් උනත් කොලේජ් ගියේ ගෙදර හිටියොත් මම ඕව ගැනම හිත හිත ඉන්න නිසා. එදා හවස ස්කුල් ඉවරවෙලා ක්ලාසස් ගිහින් මම ගෙදර ආවේ 6 ට විතර. දවසෙම ෆෝන් එකේ බැට්රි බැහැලා ඕෆ් වෙලා තිබුනේ. මම චාජර් එකට ගහලා ගිහින් නා ගත්තා. නාල එනකොට ෆෝන් එක රින් වෙනවා. සචී අයියා...

" කොහෙද ඉන්නේ සචී අයියේ ? "

" නුවර "

" මම හිතුවා ඔයා යන්න කලින් එක වතාවක් මාව බලන්න එයි කියලා. අඩු තරමේ කෝල් එකක්වත් දෙයි කියලා "

" මොකටද හිරූ.. ?? තව වතාවක් ඔයාව අඬවලා යන්නද ? "
සචී අයියා දුකෙන් වගේ කියනවා.

" ඇඩෙව්වට කමක් නැහැ ඔයානේ.. "

" ඔයා හොදින් නේද හිරූ ? "

" ඔව් මම හොඳින් "

" හ්ම්ම්.. මම ගොඩක් දේවල් කියෙව්වා.."

" ඒ ඔයාගේ හැටිනේ.. තරහා ගියාම හිතට එන හැමදේම කියලා.. පස්සේ දුක් වෙනවා.."
මගේ ඇස් වලට හීන් කඳුළු අහුරක් එක් වුණේ මටත් නොදැනී..

" හිරූ ඔයා අඬනවද ? "

" නැහැ.. ඇයි ? මං මොකටද අඬන්නේ "
මම පහත් වෙලා ඇස්වලට උනපු කඳුළු ඇඳන් හිටපු ටවල් එකෙන්ම පිහිද ගත්තා.

" දැන් තුවාලේ සනීපද ? "

" දැන් අඩුයි. ඔයාගේ තුවාල කොහොමද ? "

" දැන් ඒ තරම් අමාරුවක් නැහැ.. ඒකනේ මම නුවර ආවේ.."

" කවද්ද වෙඩින් එක ? "

" අනිද්දා.. ඇයි ? "

" මගේ මුලු හිතම උදුරගෙන ගිය කොල්ලෙක් ගියා නුවර වෙඩින් එකකට.. මට කොච්චර නපුරු උනත් මම තවමත් ඒ කොල්ලට ආදරෙයි කියලා මට කියන්න ඕන. මාව මග දාලා ගියාට මම තරහ නැහැ කියලා කියන්න ඕන.. වෙඩින් එකේදි වෙන කවුරුහරි අයිති කරගන්න හැදුවොත්... මට බයයි.."

" ඒ කොල්ලත් කොළඹ ඉන්න හිතුවක්කාර කොල්ලට ගොඩක් ආදරෙයි.. ඒක නිසා තරහා නැහැ. ඉක්මනට ආපහු හොයාගෙන එනවලු.. හිරූ... මට ඔයා නැතුව දවසක්වත් ඉන්න බැහැ පැටියෝ.. මට සමාවෙන්න.. මටම පුදුමයි මම මේ ගමන ඔයා නැතුව ආව එකට.."

" කමක් නැහැ පන.. මේ වෙලාවේ ඔයාගේ යාලුවට ඔයාව ඕනෙනේ.. ඉක්මනට ආපහු එන්න.."

" ඉක්මනට එන්නම් මගේ පැටියෝ.."




කෝලම් කරන් ආවද හිත යට ගුලි වෙවී
මිමිනූව වදන් මතකද නිල් අහසට තරම්..
නොනිඳා නෙතේ නැවතී ඉඳන්,
හිත ඈතින් ඈතට ආවද ලං වෙලා
අපේ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා..






No comments:

Post a Comment