Tuesday, March 13, 2012

Chapter 17 - "ආයෙමත් ආදරෙන්..."




එදා sachie අයියා හදපු කෑම මට එයා අතින්ම කැව්වා. කුකුල් මස් ලොකු කෑලි අතින් පොඩි කරලා අලයි පරිප්පු එක්ක අනලා නූඩ්ල්ස් එක්ක රසට කැව්වා. ඒ තරම් රසට මම වෙන කාගෙවත් අතකින් අද වෙනකම් කාල නැහැ. ඒ මුහුණ දිහා බලාගෙනම මම කල්පනාවකට වැටුණා.

" ආ.. කට අරින්න, කෝ ? "

මම එක පාරටම පියවි සිහියට ආවේ එයාගේ කටහඬන්. එයා නූඩ්ල්ස් කටක් අතේ තියාගෙන මගේ දිහා බලන් ඉන්නවා, මම කට ඇරියා. ඒ නූඩ්ල්ස් කට පුදුම තරම් රසයි. ඒ තරම් රසට මට නම් කෑම අනන්න බැහැ.

" ඇයි චූටි ? " මගේ මූහුණ දිහා විපරමෙන් බලන් ඉඳලා සචී අයියා එක පාරටම ඇහුවා

"ඔච්චර රහට අනන්නේ කොහොමද ? "

" මං දන්නේ නැහැ " එයා හිනා වෙනවා

" හොඳට අනලා කවලා පුරුදු ඇති "

මං එහෙම කිව්වම සචී අයියගේ මුහුණේ ලොකු හිනාවක් මතු වුණා.

" මගේ මේ අතින් කාටවත් කෑම කවලා නැහැ "

" ඔයා කන්නේ නැහැනේ අයියා බබා "

" පස්සේ.. මගේ චුට්ටං බට්ටිච්චට කවලා ඉවර වෙලා "

" බෑ.. බෑ.. ඔයත් කන්න ඕනි " මම මුරන්ඩු විදිහට කිව්වා.

" හ්ම්.. හරි මමත් කන්නම්කෝ, මට කටයි ඔයාට කටවල් දෙකයි "

මගේ කම්මුලක් ඉඹලා එයා එහෙම කියලා තව නූඩ්ල්ස් ටිකක් පිඟානට බෙදා ගත්තා. කතාවෙන් කතාව නූඩ්ල්ස් ටික සේරම ඉවර වුණා.

" අන්තිම කට " එයා මගේ දිහාට අත දික් කළා

මම එපා කියන්න ඔලුව වැනුවා.

" ඇයි පැට්ටෝ ? "

" මං කතාවක් අහල තියෙනවා "

" මොකක්ද ? "

" අන්තිම කට තියෙනවා නේද ? "

" හ්ම්.."

" ඒක කවනකොට මොනව හරි හිතුවොත් ඒක ඉෂ්ට වෙනවා කියලා " මම හිනා වෙවී කිව්වා

" මමත් ඒ කතාව අහලා තියෙනවා, අම්මල බබාලට කවනකොට මගේ පුතා දොස්තර කෙනෙක් වෙන්න කියලා එහෙම කවනවලු, එතකොට ඒක හරිත් යනවලු... මගේ බබා කවුරු වෙන්න ඕනේ කියලා ද මං හිතන්න ඕනි ? "

එයා මගේ ඇස් දෙකට එබිලා අහනවා

" මං දන්නෙ නැහැ.. ඒක කෙමක්. මට කියන්නේ නැතුව ඔයා හිතලා කවන්න ඕනි "

ටිකක් වෙලා කල්පනා කරලා සචී අයියා මට ඒ නූඩ්ල්ස් කට කැව්වා. ඒක කවද්දි එයාගේ ඇස් දෙකත් පියවුණා. ආපහු එයා ඇස් අරිනකොට මගේ ඇස් නතර වෙලා තිබුනේ ඒ ඇස් වලමයි. දන්නෙ නැහැ එයා මොනවද හිතුවේ කියලා, ඒත් ඒක ගොඩක් වටින ප්‍රාර්ථනාවක් කියලා මම විශ්වාස කළා.

කෑම කෑවට පස්සේ බඩ ෆුල්. මට හීන් නිදිමතකුත් ආවා. සචී අයියා කිචන් එක අස් කරනවා. මට එකක්වත් අල්ලන්නවත් දෙන්නේ නැහැ මගේ අත්වල ගෑවෙනවා කියලා, මෙයා නම් මාව පියරු බබෙක් කරලා තියාගන්නද කොහෙද හදන්නේ. මම හිතින් හිතුවා.

ටිකකින් අපි දෙන්නා එයගෙ රූම් එකට ආවා, ඇඳ විට්ටමට කොට්ටයක් තියලා එයා හේත්තු වෙලා මාව එයාගේ ඔඩොක්කුවේ වාඩි කරව ගත්තා. පිටිපස්සෙන් මාව තුරුල් කරගෙන සචී අයියා ලොකු කතාවකට මුල පිරුවා. අපි දෙන්නා ආපහු යාළු උනාට පස්සේ ඉස්සෙල්ලම තනි වුනේ එදා.

" මට බබාට කියන්න ගොඩක් දේවල් තියෙනවා... මං කියන දේ මට බනින්නේ නැතුව අහන්න ඉන්න බබා.. "

සචී අයියා කියපු විදිහට මගේ පපුව කඩන් වැටුනා වගේ වුණා.

" අනේ ඔහොම කරන්න එපා අයියේ.. කියන දෙයක් කියන්න.. මම ඔයා වෙනුවෙන් මේ ජී...."

මම කියන්න ගිය දේ කියා ගන්න බැරි තරම් මගේ උගුර හිර වෙලා

සචී අයිය මාව තුරුල් කරගෙන මගේ මුහුණ එයාගේ පැත්තට හරව ගත්තා. මගේ අත් දෙක අරන් ඉම්බා. මගේ ඇස් බොඳ වෙලා වගේ... එලියට පනින්න කඳුළු කැට දෙකක් ඇස් දෙකේ දගලනවා

" කියන්න දෙයියනේ.... දැන් ... අයියා මාව පුච්චනවනේ... " මම ඒ මුහුණ අත ගාලා කිව්වා

" නුවර ඉඳන් එද්දී මට ජීවිතය ගැන හැඟීමක් තිබ්බේ නැහැ.. බබා මේ අයියා කියන ඒවා විශ්වාස කරනවාද... "

සචී අයියා මගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන ඇහුවා.

" මං දෙයියනේ මොනවද විශ්වාස නොකලේ... ඔයා මොන දේ කළත් මම ඔයා මට දීපු ආදරේ විශ්වාස කලා..... ඒක එහෙම නෙවේ කියලා මම පෙන්නන්න උත්සාහ කලා.... ඒත් ඒක ඇත්ත නෙවෙයි අයියේ.... ඔයාගේ ආදරේ නැතුව මම මැරි මැරී ඉපදුනා..."

මම එයාගේ පපුවට තුරුල් වෙලා මගේ ඇස් වල තිබු කඳුලු දියවෙන්න හැරියා

" ඒත්... එදා.. ඉස්සෙල්ලම නුවර ඉඳන් ඔයාලගේ ගෙදරට ආපු දවසේ, ඔයාලා ඉස්කෝලේ ගිහින් ආපු වෙලේ, මම උඩ තට්ටුවේ ඉඳන් පහලට බහිද්දි... ඉස්සෙල්ලම දැක්කේ... "

" මාව " මම හිමීට මිමුණුවා

" බබාව.."

මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා.. ඒ සද්දේ එළියට ඇහෙන තරම්

" ම.. මට එදා මොනවද වුනා බබා... මොනවද වුනා.."

මගේ ඇස් ආපහු කඳුළු වලින් පිරුණා. ඉස්සෙල්ලම සචී අයියව දැක්ක දවසේ, පපුව රිදෙන්න ගත්තේ මගේ කියල විතරයි මම ඒ වෙනකම් හිතන් හිටියේ..මට ඇඩුනේ සචී අයියටත් ඒ දේ දැනුන බව අහපු නිසා.

" එදායින් පස්සේ.. මම.. මගේ ජීවිතේ ගැන හිතන හැම වෙලාවෙම... මට ඔයාවත් මතක් වෙනවා.... මම හිතුවා ඒ ඇයි කියලා.."

මම ඔලුව උස්සලා එයාගේ මූහුණ දිහා බලනකොට ඒ ඇස්වල කඳුළු පිරිලා... සචී අයියා මගේ ඉස්සරහා ඒ තරම් සංවේදී වුණු පළවෙනි හා එකම වතාව තමයි ඒ..එයා අඬනවා මට බලන් ඉන්න බැරි වුණා... මගේ පපුව ඇතුලේ මහා ගින්දරක් ඇවිලුනා..

මතකද යාලුවනේ මම දවසක් කිව්වා " මේ ජීවිතයේ දුර ඉන්නකොටත් දුක, ළඟ ඉන්නකොට දුක, එකම දේ ආදරේ..." කියලා..?

" අඬන්නේ නැතිව... කියන.. දෙයක්.. කියන්න අයියේ..."

මම, මගේ එයාගේ කඳුළු පිහදාන ගමන් කිව්වා.

"ඔයා.. මහ.. පුදු.. ම.. කොල්ලෙක් බබා... පුදුම.. කොල්ලෙක්..ඔයාව හම්බ වුණාට පස්සේ මම ජීවිතේ ගැන ආයෙත් හිතන්න පුරුදු වුණා "

මටත් වුණේ වුණේ ඒ ටිකම තමයි.. ඔයාව දැක්කට පස්සේ මම මීට කලින් ජීවත් වුනාද කියලා මටම හිතුන වාර අනන්තයි..

මම කිව්වේ නැහැ.... හිතුවා... මම මොකුත් නොකියා එයා කියන කියන දේ අහගෙන හිටියා.

" මම.. හිතේ.. තියෙන දේවල් හිර කරගෙන.. ඉන්න පුළුවන් මිනිහෙක්.. නෙවෙයි බබා.. ඒක මට මහා අමාරු දෙයක්.. "

මම ඒ පපුවට තව තවත් තුරුල් වුනා

" ඔයාව මගේ කරගන්න බැරි වුනොත්, මම ජීවත් වෙන්නේ කොහොමද කියලා මං හරියට දුක් විඳ විඳ හිතුවා.. ඒ දුක දන්නේ මන් විතරයි.. ඒත් බබා.. මට වෙන කෙල්ලෙක් එක්ක ගිහින් මගේ පුංචි රෝස මල නැති කරගන්න ඕන වුණේ නැහැ, ඒක අත් වැරදීමක්..... මට සමාව දෙනව නේද බබා ? කියන්න... මට සමාව දෙනව නේද ? "

සචී අයියා ඉකි ගගහා අඬනකොට මට ඊට වඩා හයියෙන් කෑ ගැහිලා ඇඬුනා... අපි දෙන්නා වගේ ලොකු කොල්ලෝ දෙන්නෙක් තුරුල් වෙලා ඉකි ගගහා අඬනවා කෙනෙක් ට හිතාගන්නවත් පුලුවන්ද....

" මටත් සමාවෙන්න අයියේ, මම ඔයාට ගොඩාක් දුක් දුන්නා "

" නැහැ පැටියෝ, ඔයා වැරදි නැහැ... මගේ කාලකන්නි කමට තමයි ඔයාව තවමත් අඬවන්නේ... අඬන්න එපා රත්තරන්.. ප්ලීස්...ඔයාගේ කඳුළු මට බලන් ඉන්න බැහැ.."

එයා මගේ මුහුණ ඉඹ ඉඹ කියනවා

" මට අඬලා පුරුදුයි.." මම හිමීට කිව්වා

" උඹ අඬන්න ඕන කොල්ලෙක් නෙවේ... මගේ ඉස්සරහා නෙවේ, කොහෙදිවත් අඬන්න ඕනෙ කොල්ලෙක් නෙවෙයි.. මීට පස්සේ මන් මගේ චූටි පැටියව අඬවන්නේ නැහැ... මම පොරොන්දු වෙනවා.. මට ඔයා නැතිව... ජීවත් වෙන්න බැහැ බබා... ජීවත් වෙන්න බැහැ... මට..... උඹව ඕනේ කොල්ලෝ "

සචී අයියා කඳුළු අතරින් මගේ නලල ඉම්බා.

" උඹේ සචී අයියා උබට පණ වගේ ආදරෙයි මල්ලි.... ඌට ඔබ නැතිව ජීවත් වෙන්න බැහැ.. උඹට ඇහුනද ? "

සචී අයියා වියරුවෙන් වගේ කියවගෙන ගියා.

" මටත් ඔයා නැතිව ජීවත් වෙන්න බැහැ අයියේ "

අපි දෙන්නම අපි දෙන්නව බදාගෙන ඇති වෙනකන් ඇඬුවා.... හිතේ දුකටයි... සතුටටයි දෙකටම

" ඔයා මට ආදරෙයි කියලා දැකපු මුල් දවසෙම කිව්වා බබා.. ඔයාගේ ඔය කතා කරන ඇස් දෙක මට කිව්වා... ඔයාට කවදාවත් බැහැ වෙන කෙනෙක්ට ආදරේ කරන්න... එහෙම වුනොත් මම මැරෙනවා "

" මම දන්නවා සචී අයියේ ඔයා මම වෙනුවෙන් මැරෙන්න වුනත් එනවා කියලා "

සචී අයියා මගේ මුහුණ අත් දෙකෙන්ම අල්ලලා මගේ දෙතොල් ආදරෙන් ඉම්බා.

" අපි හැමදාම අපේම වෙලා ඉමු බබා.. මේ සචී කවදාවත් මොහොතකටවත් ආපහු බබාව දාල යන්නේ නැහැ.."


"පෙනෙන නොපෙනෙන දුරක හිඳන් නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
නුහුරු නුපුරුදු හීන අරන් ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්...."

No comments:

Post a Comment