Sunday, September 30, 2012

Chapter 43 - "පුංචි නවාතැනක්..."





ඒ ගිය අවුරුද්දේ ඉන්ටර් ස්කූල් මැච් සීසන් එක. මම ප්‍රැක්ටිස්, මැචස් එක්ක ගොඩක් බිසී වෙලා හිටියේ. සචී අයියා මම ෆුට්බෝල් ප්ලේ කරන්න එක ගැන හැමදාම වගේ රණ්ඩු කලා. එයා හැමදාම රණ්ඩු වෙන්න හොයාගත්තේ මම කරන කියන දේවල්. මම හැම දෙයක්ම ඉවසගෙන හිටියේ අපේ අතීතය, ආදරයේ මතකයන් නිසයි. ආදරය හිතට ගේන මතක කන්දරාව කවදාවත් හිතෙන් මැකිලා යන්නේ නැහැ. තරහකට වෛරයකට බැහැ ඒ එක මතකයක් වත් මකලා දාන්න. මගේ හිතේ හැමදාටම එ​ක ප්‍රශ්නයක් තිබුණා. ඒ සචී අයියා මාව අත් හැරලා ශාලිකා තෝර ගත්තේ ඇයි කියන එක. ඒ ප්‍රශ්නෙට සචී අයියා ගාව උත්තර තිබුනේ නැහැ. 

මණිල්​ක අයියා කොළඹ ඇවිත් ටික දවසක් ගියත් මට Matches නිසා එයාව මීට් වෙන්නත් බැරි වුණා. පුළුවන් වෙලාවට ෆෝන් එකෙන් කතා කලත් මගේ හිතට නිදහසක් තිබුණේ නැහැ ඒ දවස් වල. 

එදා නිවාඩු දවසක්. සචී අයියා ගෙදර හිටියේ නැහැ. එයා කොහෙ යනවද කියලා මට කියලා යන්නේ නැහැ. මමත් ඒවා අහන එක නතර කරල හිටියේ. උදේ 10 ට විතර මම ඉරෝෂයත් එක්ක ස්කූල් එකට යන්න පිටත් වුණා. එදා අපිට Extra Practice Session එකක් දාලා තිබුණා. 

" ලහිරුවා... අර..." 

බස් එකේ ටිකක් දුර යද්දි ඉරෝෂයා අපිට එහා පැත්තේ සීට් එකක ඉන්න කපල් එකක් පෙන්නුවා. මාව හිරිවැටිලා ගියා සචී අයියා ශාලිකාව තුරුල් කරගෙන ඉන්න විදිහ දැකලා. මම එහෙම්මම ඉස්සරහා සීට් එකේ ඔලුව තියාගත්තා. School එක ලගින් බහින්න හදන කොට සචී අයියා මාව දැක්කා. මම නොදැක්කා වගේ බස් එකෙන් බැස්සා. එදා දවසෙම හරියට ඔලුව කෙලින් තියාගෙන මට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. එදා මගේ අතින් සෑහෙන්න Mistakes වුණා. සමහර විට මම මේ දේවල් ගැන ඕනවට වඩා හිතන්න ඇති එදා . 

" ඔයා මාව දැකලත් අහක බලාගෙන ගියා නේද ? " සචී අයියා එදා රෑ නිදාගන්න කලින් මගේ කාමරයට ඇවිත් ඇහුවා.

" ඔයා හිටියේ අරයත් එක්ක නිසයි මම කතා කලේ නැත්තේ "

" එය හිටියට කමක් නැහැනේ, ඔයා මගේ මල්ලි කියල මම එයාට කියලා තියෙන්නේ "

" මම ඔයාගේ මල්ලි වෙලා හිටියේ නැහැනේ සචී අයියේ කවදාවත් "

" මට ඔයත් එක්ක ආගිව් කරන්න ඕන නැහැ ලහිරු.."

" මටත් ආගිව් කරන්න ඕන නැහැ. Good night.."

මම එහෙම කියලා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා. ටිකකින් සචී අයියා මගේ රූම් එකේ දොරත් වහගෙන යන්න ගියා.


---------------------------------------------------------------------------- 


මේ විදිහට ඉස්සරහට හිත හදාගෙන ජීවත් වෙන්න බැරි බව මට තේරුණා. මම උවමනාවෙන්ම පිස්සු කෙලින්න පටන් ගත්තා. ඒත් ඒක සදාකාලික විසදුමක් නෙවෙයි කියලා මට තේරුණා. මම මීට අවුරුද්දකට කලින් හිටිය විදිහ ගැන හිතද්දි මටම පුදුමයි. හිතලා හිතලා මම එක හරි තීරණයක් ගත්තා. මම අම්මා නිදහස් වෙලාවක් බලලා ඔෆිස් එකට ගියා දවසක්.

" ආහ්.. ඉලන්දාරියට මොකද මේ පැත්ත මතක් වෙලා ? සල්ලි වත් ඕන වෙලාද ? " අම්මා මාව දැක්ක ගමන් විහිළුවක් කලා.

" මම සල්ලි ඉල්ලන්න විතරද අම්මා මෙච්චර කල් ඔෆිස් එකට ආවේ ? එහෙනම් අම්මා... ගෙදරදී ඉල්ලනවනේ "
මම ඇහුවේ ඇත්තටම දුකෙන්

" අයියෝ නැහැ ළමයෝ, මම නිකන් කිව්වේ.. ඔයා කාලෙකින් ඔෆිස් එකට ආවේ, අයියා ගියාට පස්සේ ආවේම නැති තරම් "

අම්මටත් මම කිව්ව එකට අප්සට් වෙන්නැති

" මම ආවේ වැදගත් දෙයක් කතා කර ගන්න අම්මා... මට බනින්න එපා.. තරහ වෙන්නත් එපා.. මේක මම ඔයාගෙන් කරන ඉල්ලීමක්.."

" මොනවද චූටි මේ කියවන්නේ..? මොකක්ද ප්‍රශ්නේ ? "

අම්මා පුදුමයෙන් වගේ මගේ දිහා බැලුවේ මම කවදාවත් අම්මා එක්ක මේ තරම් serious විදිහට කතා කරලා නැති නිසා වෙන්න ඇති.

" ප්‍රශ්නයක් නැහැ අම්මා.. මට අම්මගෙන් ලොකු දෙයක් ඉල්ලන්න ඕනි.."

" මොකක්ද ? කියන්න.."

" A/L ඉවර වුනාම මටත් අයියා ගාවට යන්න ඕනි අම්මා.." මම කියද්දී අම්මගේ මුහුණ හිනාවකින් පිරුණා.

" ඕක කියන්නද මේ වැල් වටාරම් කිව්වේ..? පිස්සු කොල්ලා.. මම මොකටද තරහා වෙන්නේ, ඔයා කැමති නම් අයියා ගාවට යන්න. එතකොට අයියට තනියකුත් නැහැනේ "

අම්මගේ ප්‍රතිචාරය මම හිතුවට වඩා හොඳ වුනු එක ගැන මට පුදුමයි.

" ඒත් අම්මා... මමත් ගියාම අම්මා තනි වෙනව. මට තියෙන ප්‍රශ්නේ ඒකයි. අම්මත් එනවා නම් අපි තුන්දෙනාටම..." මට කතාව ඉවර කරන්න ලැබුණේ නැහැ

" පිස්සු කියන්න එපා චූටි.. මම ආවම කවුද මේ වැඩ බලාගන්නේ ? ඔයාට තවම මේවගේ බරක් පතලක් නැහැ. ඔයා A/L ඉවර උනාම අයියා ගාවට ගිහින් ඉගෙන ගන්න. ඉවර වෙච්ච කාලෙක එන්න. මේ දේවල් දාලා මම කොහෙවත් යන්නේ නැහැ.." අම්මා බොහොම තදින් කිව්වා

" ඒත් අම්මා.. මමත් ගියාම අම්මව කවුද බලා ගන්නේ ? " මම ඇත්තටම ඇහුවේ ලොකු වේදනාවකින්

" මේ නාකි මගේ මොනවා බලා ගන්නද ? අනෙක ශ්‍රීමතී ආන්ටි, සචින්ත එහෙම ඉන්නව නේ. ඔයා දැන්ම ඕව ගැන හිතන්න ඕන නැහැ. Exam එක කරගෙන ඉන්න ඔක්කොටම කලින් "

අම්මා පුටුවෙන් නැගිටලා මගේ ලගට ඇවිත් ඔලුව අත ගෑවා.

" අම්මා, මේක ගැන දැන්මම ශ්‍රීමතී ආන්ටිට කියන්න එපා "

" ඒ මොකද ? "

" මම කැමති නැහැ අම්මා.. දැන්ම මේවා ගැන කවුරුත් දැන ගන්නවට.." මම අම්මගේ අතින් අල්ලගෙන කිව්වා.


--------------------------------------------------------------------------- 


එදා අපිට මැච් එකක් තිබුණු දවසක්. මම ස්කූල් එකට යන්න ලැහැස්ති වෙන ගමන් හිටියේ. අම්මයි, ශ්‍රීමති ආන්ටියි කුරුණෑගල යන්න ලැහැස්ති වුනා කිරි අම්මට ටිකක් අසනීපයි කියලා කෝල් එකක් ආව නිසා..

" චූටි පුතා, රෑට කඩෙන් කෑම ගෙනත් කන්න.."

අම්මා සචී අයියා ඉස්සරහදිම මට කිව්වා.

" මැච් එක ඉවර වෙද්දී කීය වෙයිද දන්නේ නැහැ, මම එද්දි රෑ වෙයි ටිකක් " මම කිව්වා.

" ගොඩක් රෑ වෙන්නේ නැහැනේ ? එහෙනම් සචින්ත, මල්ලිටත් එක්ක කෑම ගේනවද ඔයා ? "

" හරි ආන්ටි.. මම අරන් එන්නම්.." සචී අයියා බොහොම කැමැත්තෙන් කිව්වා

" මම හෙට උදේ එන්නම් කියලා කිරි අම්මට කියන්න. අම්මලා එන්නේ හවස නේ, එතකොට මට අම්මලත් එක්ක එන්න පුළුවන් " මම අම්මට කිව්වා

අම්මලා ගිහින් ටික වෙලාවකින් සචී අයියා මගෙ රූම් එකට ආවා. මම බැක් පැක් එක ලැහැස්ති කරන ගමන් හිටියේ.

" ඔයාට අද මැච් එකට නොයා ඉන්න බැරිද ? " සචී අයියා ඇහුවේ මගේ බෙඩ් එකේ හරහට දිගාවෙලා...

" ආහ්.. මැච් එකට නොගිහින් ඉන්නේ මොකටද ? " මට පුදුමයි මෙයා මොකටද මේ ඉන්න කියන්නේ කියලා

" අද ගෙදර කවුරුත් නෑත් එක්ක.. ඉන්නකෝ.." එයා එහෙම කියලා මාව එයා ගාවට ඇදලා ගත්තා. මම බැලන්ස් නැතුව එයාගේ ඇඟ උඩට වැටුණා.

" අනේ සචී අයියේ, මට දැනටමත් පරක්කුයි. 3 වෙද්දි ග්‍රවුන්ඩ් එකේ ඉන්න ඕනි. දැන්ම 2.30 යි " මම දඩි බිඩි ගාලා නැගිටින ගමන් කිව්වා

" මම කිරි අම්මව බලන්න යන්නේ වත් නැතුව හිටියේ මැච් එක නිසා.."

" එයා දැන්ම මැරෙන්නේ නැහැ, බය වෙන්න එපා " සචී අයියා ආපහු මගේ අතින් අදින ගමන් කියනවා.
මට ඒ කතාවට නම් යකා නැග්ගා

" මොනවද ඔයා කියවන්නේ ? ඒ වයසක මනුස්සයට ඔහොම කියන්නේ ? ලැජ්ජ වෙන්න ඕන සචී අයියේ.. ඔයාට මගේ කිරි අම්මට එහෙම කතා කරන්න කිසිම අයිතියක් නැහැ " මම අත ගසලා ගන්න ගමන් කිව්වා

" ඔව් දැන් ඉතින් වෙන උන් ඇතිනේ තුරුල් වෙන්න, ඒකනේ ළඟටවත් එන්න බැරි.." සචි අයියා එහෙම කියාගෙන තව ගොඩක් දේවල් කිය කිය මට බනින්න පටන් ගත්තා.

" මොන යකෙක් වැහිලද ඔයාට ? මැච් එකක් තියෙද්දි ඔයා කියන්නේ මට ඔයත් එක්ක මෙතන.."
මම ඉතුරු ටික කියන්නේ නැතිව නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන්. මම කැමති නැහැ සචී අයියට එහෙම කතා කරන්න. මම බෑග් එකත් අරන් රූම් එකෙන් එලියට ආවේ එයා ඇතුලේ ඉද්දිමයි.

" මම යනවා "

" ඔව් පලයන්, උඹට දැන් මගෙන් වැඩක් නැහැනේ.. තව එවුන් ඉන්න නිසානේ දැන් දුවන්නේ.. තෝ තමයි මාව නැති කලේ.."

මම පහලට බහින කොට එයා කෑ ගහලා කිව්වා. මම මුකුත් නොකියා එන්න ආවා. මට එදා මැච් එකට යන්න තරම් හිතක් තිබුණේ නැහැ. මම හිතේ වේදනාව තද කරගෙන ස්කූල් ග්‍රවුන්ඩ් එකට ගියා. හැමදාම වගේ මගේ පුංචි වෙනසක් වුණත් අඳුනගන්න ඉරෝෂයා මාව දැක්ක ගමන් මගේ ළඟට දුවලා ආවා.

" උඹ ඇඬුවද බන් ? " ඉරෝෂයා මගේ ඇස් වලට එබිලා අහනවා

" අඬන්න මගේ ඇස් වල දැන් කඳුළු නැහැ බන්.." මම හිනා වෙලා කිව්වා

" අදත් වලිද ? "

" හ්ම්ම්.. ඒ තරම් දේවල් අහගන්න මම මොකට ආදරේ කලාද කියලා හිතෙනවා ඉරෝෂයා.."

මම වෙච්ච කතාව ඉරෝෂයට කිව්වා. මට ඒ දේවල් කියන්න හිටියෙ ඌ විතරයි. එදා මැච් එක අපි දිනුවා. ඒ සතුට මගේ හිතේ තිබුන දුක පොඩ්ඩක් තුනී කලා කිව්වොත් නිවැරදියි. අපි මැච් එක ඉවරවෙලා, ග්‍රවුන්ඩ් එකේ කොල්ලෝ කට්ටියම කෑ ගහනවා, සතුට බෙදා ගන්නවා, මැච් එක බලන්න ආපු අයත් ග්‍රවුන්ඩ් එකට පැනලා. ඒ ඇතරේ දැකලා පුරුදු මුහුණක්

මණිල්​ක..

අත් දෙකත් බැඳගෙන පැත්තකට වෙලා මගේ දිහා බලන් ඉන්නවා. මුහුණේ හිනාවකුත් එක්ක. කොල්ලෝ කට්ටියගෙන් අමාරුවෙන් බේරිලා මම මණිල්​ක ඉන්න තැනට ගියා

" ඔයා කොහෙද මෙහේ ? " මම එයා ගාවට ගිහින් ඇහුවා

" Congratulations.." මණිල්​ක අයියා මම අහපු දෙයට උත්තර නොදී එයාගේ අත දික් කලා

" Thanks.." මම අත අල්ලගන්න ගමන් කිව්වා

" කොල්ලගේ performances නම් Superb, මම අහලා තිබුනට දැක්කේ අදනේ.."

" Thank you.. Thank you.. කොයි වෙලේද ආවේ ? "

" මැච් එක පටන් ගන්න කොටම වගේ ආවේ, ඔයාව හොයාගන්න සෑහෙන්නේ ගේමක් දෙන්න වුනා. ඔක්කොම කොල්ලෝ එක වගේ නේ... හි..හී.."

" හි.. හී.. ඔයාගේ ඇස් පෙනීම අඩු ඇති. නැත්නම් මෙච්චර ලඟ මාව දැක්කේ නැහැ කිව්වම ? "

" මම හිටියේ අන්න අතන කොනේ.." එයා ඇඟිල්ල දික් කරලා පැවිලියන් එකේ කොනක් පෙන්නුවා

" ම්ම්ම්... එනවා කියලා කලින් කිව්වා නම් මම සීට් එකක් අල්ලලා දෙනවනේ ඔයාට "

" අඩෝ ලහිරුවා.. උඹ එන්නේ නැද්ද, අපි යනවා චේන්ජ් කරන්න.." කොල්ලෙක් කෑ ගහලා කිව්වා

" මම චේන්ජ් කරගෙන එන්නද ? පොඩ්ඩක් ඉන්න පුලුවන්ද ? "

" මම එහෙනම් යන්නම් මල්ලි, ඔයාව බලලා යන්න ආවේ.." මණිල්​ක අයියා අහිංසක විදිහට කියනවා 

" යන්න හදිස්සිද ? පොඩ්ඩක් ඉන්නකෝ, මම ඉක්මනට වොශ් එකක් දාගෙන චේන්ජ් කරගෙන එන්නම් "

" හදිස්සියක් නැහැ, ඔයා අද යාලුවෝ එක්ක ඉන්න ඕනනේ.."

" උන් එක්ක මම ඉතින් නවතින්නේ නැහැ, පොඩ්ඩක් ඉන්න. මම ඉක්මනට චේන්ජ් කරගෙන එන්නම්. හා ද ? "
" හරි එහෙනම් මම මෙතන ඉන්නම්, ඔයා ගිහින් එන්න.."

මම ඉක්මනට වොෂ් එකක් දාගෙන ඉරෝෂයට සීන් එක කියලා ඉක්මනට එලියට පැනගත්තා. 
මම එනකම් මණිල්​ක අයියා පැවිලියන් එකේ වාඩි වෙලා හිටියා. මම ඈතින් ඉදන්ම එයා දිහා බලාගෙන ආවේ. මෙරුන් පාට කොටු වැටුණු අත් දිග කමිසයය, අත් නවලා කලුපාට ඩෙනිම් කලිසමක් ඇඳලා. කළු සෙරෙප්පු දෙකක් දාලා. ඒ කිට් එකට කොල්ලා තවත් හැන්ඩි කියල මට හිතුනා. 

" යමු.." මම මණිල්​ක අයියා ගාවට ගිහින් කිව්වා.

" කොහෙද ? "

" කොහෙද අහන්නේ ? කොහේ හරි යමු.."

" හි.. හී.. යමු.. යමු.."

" ඉතින් " අපි දෙන්නා වල්පල් කියව කියව බස් හෝල්ට් එකට ආවා. බස් වල සෙනඟ කට කපලා 

" ඔයා දැන් බෝඩිමට ද යන්නේ ? " මම ඇහුවා

" වෙන කොහේ යන්නද ඉතින්.." එයා හිනා වෙලා කියනවා

" එතකොට රෑට කෑම ? "

" යන ගමන් පාන් ගෙඩියක් අරන් යනවා, ගිහින් පරිප්පු ටිකක් තෙම්පරාදු කර ගන්නවා.." කොල්ලා කියාගෙන යනවා

" ඒක අහල නම් ඇත්තටම මටත් කෙල ගිලුනා, පරිප්පු තෙම්පරාදුවක් එක්ක පාන් කාපු කාලයක් මතක නැහැ "
මටත් නිකන්ම කියවුණා

" මග දුප්පත් කෑමට කෙල ගිලින්න එපා, ඔයාට ඊට වඩා රස කෑම ඇති ගෙදර අද. මැච් එකත් දිනුම් නිසා ටුඩේ ස්පෙෂල් "

" අද අම්මලා නැහැ, කුරුණෑගල ගියා. කිරි අම්මට ටිකක් අසනීපයි කියලා, මට මැච් එක නිසයි ගියේ නැත්තේ. හෙට උදෙන්ම යන්න ඕන ගිහින් එන්න.."

" එතකොට ගෙදර කවුරුත් නැද්ද ? "

" සචින්ත අයියා ඉන්නවා "

එතකොටයි මතක් වුනේ. දැන් මල යකා වගේ බලන් ඇති මම එනකම් රණ්ඩු වෙන්න. ඒක මතක් වෙද්දි දැන් ගෙදර යන්න බෑ කියලා මට හිතුනා

" ම්ම්ම්... එහෙනම් යමු මගේ බෝඩිමට. රෑට කාලා, ටිකක් ඉඳලා යන්න..කැමති නම් ඉන්නත් පුළුවන්, ඒත් ඉතින් සැප පහසුකම් නම් නැහැ.."
මණිල්​ක අයියා ගිරවා වගේ කියාගෙන කියාගෙන යනවා

" ඔයාට ප්‍රශ්නයක් නැද්ද මම එන එක ? "

" මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ, ඔයාට තමයි ප්‍රශ්නයක් වුනොත්.."

" මම සැප පහසුකම් හොයන කොල්ලෙක් නෙවේ.."

" එහෙනම් යමු.." මණිල්​ක අයියා මගේ කරට අතක් දා ගන්න ගමන් කිව්වා.
අපි බස් එකෙන් නුගේගොඩට ඇවිත් බැස්සා. හන්දියේ කඩේකින් පාන් අරගෙන අපි දෙන්නා හිමින් හිමින් එයාගේ බෝඩිමට යන්න පාරට කිට්ටු වුණා. 

" කෝ දෙන්න මල්ලා ඔයාගේ බෑග් එක, බරයි නේද ? සෙල්ලම් කරලා මහන්සිත් ඇති.." එයා බලෙන්ම මගේ බෑග් එක අරගෙන එයාගේ පිටේ එල්ල ගත්තා.

" කෝ එහෙනම් දෙන්න පාන් ගෙඩිය.." මම එයාගෙ අතේ තිබුන පාන් බෑග් එක ගත්තා.

" ඕක හරි බරයි හොඳද.." එයා එහෙම කියද්දි අපි දෙන්නටම හිනා 

කතාවෙන් කතාවෙන් අපි එයාගේ බෝඩිමට ආවා. ඒක බාගෙට හදපු ගෙදරක්. උඩ තට්ටුවේ රූම් එකක තමයි මානිල්ක අයියා හිටියේ. ඇතුලේ බිත්ති විතරක් කපරාදු කරලා. සුදු පාට රබර් පේන්ට් එකක් ගාලා. කාමරයටම තිබුණේ පොඩි බෙඩ් එකක්, ටේබල් එකක්, පුටු දෙකක්, ඇඳුම් රැක් එකක් විතරයි. කෑම උයන්න පුංචි කුස්සි කෑල්ලක් තිබුණා.

" මෙන්න මේක තමයි මගේ දුප්පත් පැල. කැමති විදිහට ඉඩ තියන තැනකින් වාඩි වෙන්න "
මණිල්​ක අයියා එහෙම කියන ගමන් මගේ බෑග් එක පුටුවක් උඩින් තිබ්බා.

" මම තේ එකක් හදන්නම් "

" තේ ඕන නැහැ අයියේ.."

" ඔයාට බඩගිනිද මල්ලා ? එහෙනම් මම ඉක්මනට පරිප්පු හදන්නම් "

" අයියෝ නැහැ.. නැහැ.. දැන්ම බඩගින්නක් නැහැ. මාව එලව ගන්න හදිස්සියි වගේ.." මම හිනා වෙලා කිව්වා

" අනේ නැහැ මල්ලා, ඔයා ඉන්නව නම් හැමදාම ඉන්න, කිසිම අවුලක් නැහැ.."

" මං විහිළුවක් හලෝ කලේ.. එහෙනම් තේ එකක් බොමු. ඔයාට මහන්සි නැත්නම් විතරක් "

" ඔයා වොශ් එකක් දාගන්න, මම තේ හදලා තියන්නම් "

" බැහැ තේක බීල.." මම එහෙම කියලා පොඩ්ඩක් ඒ ඇඳේ දිගා වුණා. මණිල්​ක අයියා ගාව එන සුවඳ ඒ ඇඳේ තියෙනවා. ඒක හරියටම මොකද්ද කියලා තේරුම් කරන්න බැරි සුවඳක්. 

" ම්ම්.. එහෙනම් ඔයා ඔහොම හාන්සි වෙලා ඉන්න. මම තේ දෙකක් හදන් එන්නම් "
මණිල්​ක අයියා එයාගේ පුංචි කුස්සි කෑල්ලට ගියා.

මම එහෙමම ටිකක් ඇස් දෙක පියා ගත්තා. ඇඟත් රිදෙනවා, සෙල්ලම් කරලා ආව නිසා. ටිකක් වෙලා ඇස් දෙක පියගෙන ඉද්දි මගේ ඔලුවට ආවේ සචී අයියා. මම පොකට් එකෙන් ෆෝන් එක ගත්තා. මිස් කෝල්ස් 4 යි. SMS එකකුත් තියෙනවා. 

සචී අයියා..." කොහෙද ඉන්නේ ? "

" මම අද එන්නේ නැහැ, gud nyt "

මම Reply කරලා ආපහු ඇස් දෙක පියා ගත්තා. ඒත් එක්කම සචී අයියා කෝල් කලා. මම Answer කලේ නැහැ. කෝල් එක කට් වෙනකන් ඉඳලා ෆෝන් එක ඕෆ් කලා. මම නැගිටලා කුස්සිය පැත්තට ගියේ මණිල්​ක අයියා මොකද කරන්නේ බලන්න. 


"දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුනේ 
සවන වසා සිටියා ඔබේ හඬ ඇයිදෝ මට ඇසුනේ.."



Monday, September 24, 2012

Chapter 42 - "මම ඔයාට ආදරෙයි..."





අයියා ගියාට පස්සේ මගේ ජීවිතයේ ලොකු පරිවර්තනයක් වුණා. මම වෙනස් වුණා. ඒ හොඳටද නරකටද කියලා මට ඒ දවස් වල තේරුම් ගන්න ශක්තියක් තිබුනේ නැහැ. හිතට එන හැම හැඟීමක්ම මේක හරි, මේක වැරදියි කියලා බෙදන්න බැහැ. ආදරයක් අයිති හිතක් හිතුවක්කාරයි, මුරණ්ඩුයි තමන්ගේ ආදරය වෙනුවෙන් මැරෙන්න වුනත් ලැහැස්තියි. ඒකයි ආදරයක් බිදිලා ගිය දවසට හිතක් මේ තරම් අතරමන් වෙන්නේ. 

ගෙදර ඉන්න වෙලාවට මම කතා එක්කවත් කතාවක් බහක් තිබුණේ නැහැ. කවුරු හරි මොනවා හරි ඇහුවත්, කිව්වොත් මම වචනයකින් දෙකකින් උත්තර දීලා පැත්තකට වෙලා හිටියා. මම උදේට ස්කූල් ගියාම හවසට ක්ලාස් ගිහින් නැත්නම් වෙන කොහේ හරි රස්සියාදුවක ගිහින් 7 -8 වෙලා ගෙදර එන්න පටන් ගත්තා. ඒක මම හිතලා නොකලත් ඉබේම දේවල් වෙනස් වෙලා තිබුණා. මේ නිසා අම්මා වගේම සචී අයියත් මාත් එක්ක ගොඩක් රණ්ඩු වුණා.

කවුරු කොහොම මොනවා කිව්වත් මම කලේ මට ඕන දේ. අයියා හැමදාම රෑට ස්කයිප් එකෙන් කතා කලා. මගේ හිත හැදුනේ අයියත් එක්ක කතා කරන ටික වෙලාවට විතරයි. අයියත් මට ගොඩක් උපදෙස් දුන්නා. අම්මා සමහර විට කියලා වෙන්න ඇති. අයියා කියන දේ මම අහනව කියලා අම්මා දන්න නිසා වෙන්න ඇති. ඒත් අයියා ළඟ හිටියේ නැති නිසා බය නැතුව මට ඕන දේ කලා. මම වත් දන්නෙ නැහැ ඒ දවස් වල මම කාලකණ්නි වුනේ ඇයි, මොකටද, මොනවා වෙනුවෙන්ද, කාව ලබා ගන්නද කියලා.

මේ අතරේ දවසක් මම ක්ලාස් ඇරිලා එද්දි

" ඒයි ගණන් කාරයා.."
මම හැරිලා බලද්දි ඇන්ඩෲ. කට්ටියට ඇන්ඩෲ ව අමතක වෙන්න විදිහක් නැහැනේ ඉතින්
මම ගණන් ගන්නේ නැතුව ආපහු හැරිලා යන්න හැදුවේ. 

ඒත් එක පාරටම

" ලහිරු මල්ලි තරහද ? " මිනිහා හයිබ්‍රිඩ් එක අස්සෙන් ඔළුව දාලා පැණි හිනාවක් හලලා අහනවා. ඒ වුනාට ඒ හිනාව දැක්කම ඌත් එක්ක මල පැනලා ඉන්න ඕන එකෙක්ට වුනත් ඌට මුකුත් කියන්න හිතෙන්නේ නැහැ.

" තරහා වෙන්න අපි යාළුවෙලා හිටියේ නැහැනේ.." මම ඌට කොලොප්පමක් කලා. මොනව උනත් මූව බයිට් කරන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා.

" අද පයින්ම ? " මූ ආයෙත් අහනවා

" බස් ස්ට්‍රයික් එකක්ලු. ශරීර සෞඛ්‍යයටත් හොඳ නිසා පයින් යන්න හිතුවා " මමත් ඇඟට පතට නොදැනී උත්තර දුන්නා. මම මේ බස් එකේ ඇවිත් බැහැලා අපේ ගෙවල් ලඟ, මූ මගෙන් අහනවා පයින් මොකද කියලා

" ආ.. එන්න මම ලිෆ්ට් එකක් දෙන්නම්.." මේ වගේ බූරුවෙක් මට තනියම හිනා.

" මොකද මල්ලි තනියෙන් හිනා වෙන්නේ ? " මගෙන් උත්තරයක් නැති තැන මූ ආයෙත් අහනවා.

" මුකුත් නැහැ ඇන්ඩෲ, ඔයා යන්න මම මේ ලඟ ඉන්නේ " මම එනකොට කිව්වේ මුව තවත් මඩවන්න තරම් මූඩ් එකක් මට ඒ වෙලාවේ තිබුනේ නැති නිසා.

" ඕහ්.. එහෙමද.. anyway, ඔයාට පරක්කු වෙන්නේ නැත්නම් මොනවා හරි බොමුද ? "
ඇන්ඩෲ ඇහුවේ බොහොම යටහත් පහත් විදිහට.

" මෙතැන පාරේ ? " මම ඇහුවා.

" නැහැ අතන KFC එකට යමු.. If u dont mind "

" ම්ම්ම්... යමු එහෙනම්.." මම කියලා ඇන්ඩෲගේ කාර් එකට නැග්ගා.

" ඔයා වෙනස් වෙලා.." මූ KFC එකට හරවදිම කියනවා.

" මම...? "

" ඔව්... වෙනදා නම් ඔයාට කාර් එකට නගින්න කිව්වම දාහක් දේවල් අහගන්න වෙනවනේ.. හි.. හී..."

මම ඒකට මොකුත් නොකියා අහක බලාගෙන හිනා වුනා. අපි දෙන්නා KFC එකට ගිහින් කන්න දේවල් අරගෙන කොනේ තියෙන ටේබල් එකක වාඩි වුණා.

" ඉතිං මොනවද විස්තර ? කාලෙකින් දැක්කෙත් " ඇන්ඩෲ අහනවා

" විශේෂයක් නැහැ, මම නම් මෙහෙ තමයි හිටියේ. ඇන්ඩෲ තමයි පේන්න හිටියේ නැත්තේ "

" ඔව් මම ටිකක් බිසී වෙලා හිටියේ. ඉතින් කොහොමද ෆුට්බෝල් ප්‍රැක්ටිස් එහෙම ? "

" කරගෙන යනවා, මේ දවස් වල ටිකක් වැඩියෙන් ස්ටඩීස් කරනවා. එක්සෑම් එක ලබන අවුරුද්දේ "

" ඔව් නේද... ඉතින් ලහිරු මල්ලි, මාත් එක්ක තවම මලෙන්ද ඉන්නේ ? "

" අයියෝ නැහැ, මම නෙමෙයි ඔයානේ ඉතින් මල පනින්න ඕන මම කරපු ඒවට "

" නැහැ මගෙයි වැරැද්ද, anyway I'm sorry. මාව වැරදියට තේරුම් ගන්න එපා. ඔයා දන්නවනේ. අපි හැමෝටම ෆීලින්ග්ස් තියෙනවා.

" It's Ok ඇන්ඩෲ. ඒවා දැන් කතා කරන්න ඕනේ නැහැ. ඉතින් දැන් කවුරුත් ඉන්නවද ? " මම ඇහුවේ කතාව වෙන අතකට මාරු කරන්න ඕන නිසා.

" එකක් කියලා නැහැ ඉතින්.." පොර හීනියට හිනා වෙවී කියනවා.

" ම්ම්ම්.. ඔව්.. ඔව්.. එකක් කියලා නම් නැතිව ඇති කියලා මටත් හිතෙනවා.."

" කැමති කෙනෙක් ඉන්නවා, ඒත් එයා කැමති නැහැනේ.." ඇන්ඩෲ මගේ දිහා බලන් කියද්දි මට බකස් ගාලා හිනා ගියා.

" තවම අදහස අත් හැරගෙන නැහැ වගේ.."

" අමාරුයි අත්හැර ගන්න. ඒත් ඉතින් මොනවා කරන්නද... ඔයා ගොඩක් වෙනස්වෙලා ලහිරු මල්ලි.."

" ඇයි එහෙම කියන්නේ ? "

" ඉස්සර වගේ නෙවේ නිකන් එපා වෙලා වගේ ඉන්නේ. මොකක් හරි ප්‍රශ්නයක්ද ? " පොර අහනවා. මගේ ඔලුවේ තියෙන එව්වා ඉතින් මූට කියන්න පුළුවන්ද ? මූ හිතයි මට සමයං කියලා. ගොඩක් උන් හිතන විදිහට තමයි ඉතින් ඇන්ඩෲ හිතන්නෙත්. මම ඒක නො දන්නවද.

" එහෙම ප්‍රශ්නයක් නැහැ ඇන්ඩෲ.. ජීවිතය ඉතින් හරිම ඒකාකාරී. මට ඒක එපා වෙලා "

" ම්ම්ම්... අපිටත් ඔය කාලෙදි ඔහොම තමයි. ගණන් ගන්න එපා. මොනව වුණත් ඔයා මාත් එක්ක කතා කරපු එක ගැන මට අද හැපි.. තෑන්ක්ස් "

" ඕකට තෑන්ක්ස් කරන්න ඕනද ? පිස්සු.. මම ඔයාව ආශ්‍රය කරන්නේ යාලුවෙක් විදිහට. ඒකට තෑන්ක්ස් කරන්න ඕනි නැහැ.

" ඒකට තමයි තැන්ක් කලේ.. අඩුම තරමේ යාළුවෙක්වත් වුන එක ගැන "

" You're Welcome.." මම කිව්ව විදිහට අපි දෙන්නටම හිනා ගියා.

ඇන්ඩෲ මගේ යාළුවෙක් වුණේ ඒ විදිහට. ඇන්ඩෲ ඇත්තටම හොඳ යාළුවෙක් වුනා. එයාගේ හොඳ ගතිගුණ ගොඩක් මම දැන ගත්තේ ඒ යාළුකම ටිකක් කල් ගෙනියද්දි. ඒ කාලේ මම ඌට කරපු දේවල් මතක් වෙද්දි දැන් පව් කියලත් හිතෙනවා


------------------------------- 


සචී අයියගේ කැම්පස් ලයිෆ් එක පටන් ගත්තේ ඔය අතරෙදි. එයාගෙයි මගෙයි ආදරය තිබුනේ නමට කියලා මට තේරුණා. අපි දෙන්නා අතරේ වෙච්ච ලොකුම දේ සෙක්ස්, ඒ වගේම අපි දෙන්නා ආදරෙන් හිටියේ ඒ කරන ටික වෙලාවේ විතරයි කිව්වොත් හරි. අඩුම තරමේ අපි දෙන්නා අතරේ ඒකවත් ඉතුරු වෙලා තිබුන එක ගැන මම සතුටු වෙනවා. මොකද මම මුලින්ම කිව්වා වගේ මම සෙක්ස් වලට ගොඩක් ඇබ්බැහි වුනු කොල්ලෙක්. මට එයාගෙත් ඒකවත් නොලැබුණා නම් ඒ දවස් වල මම මොන පිස්සු කෙලී ද කියලා මටවත් හිතාගන්න බැහැ.

" මම අපේ කතාව Onlymen සයිට් එකට ලියනවා " දවසක් අපි දෙන්නා නිදාගෙන ඉද්දී මම සචී අයියට කිව්වා.

" ඇයි බබා එහෙම හිතුවේ එක පාරටම " සචී අයියා මගේ ඔලුව අත ගාන ගමන් ඇහුවා

" නැහැ මට නිකන් හිතුනා. මම ඒ අතීතයට ආසයි. මම ඒක ලිව්වට කමක් නැද්ද ? " මම සචී අයියගේ පපුවේ ඔළුව තියාගෙන එයාට තවත් තුරුලු වෙන ගමන් ඇහුවා.

" ම්ම්ම්... කමක් නැහැ. ඒත් පරිස්සමට ලියන්න . රියල් ලයිෆ් එක එලි වෙන්නේ නැති වෙන්න "

සචී අයියා පලවෙනි වතාවට මම කරන්න යන්න දේකට කැමැත්ත දුන්න එක ගැන මට ලොකු පුදුමයක් ඒ වගේම එක්තරා විදිහක සතුටක් දැනුණා. මම පහුවදා ඉඳන්ම කතාව ලියනවා කියලා හිතා ගත්තා.
ඒ විදියට තමයි මේ කතාව ලියවෙන්න පටන් ගත්තේ. මුල් දවස් වල සචී අයියා මම ලියපු දේවල් බලලා අගය කලා. එයා කවදාවත් මම ලියපු දේවල් වෙනස් කරන්න කියලා වත්, හොඳ නැහැ කියලවත් කිව්වේ නැහැ. එයා සමහර චැප්ටර්ස් කියවලා ඉවර වෙලා ගොඩක් වෙලා කල්පනා කරනවා මම දැකලා තියෙනවා.



------------------------------- 



සචින්ත අයියා කැම්පස් යන්න පටන් ගත්තට පස්සේ එයා තව තවත් වෙනස් වුණා. එයාගේ ඒ වෙනස එකපාරටම ඇතිවුණු දෙයක් නොවුනත් මට එයාගේ ඒ වෙනස් වීම් වලදී සෑහෙන්න කේන්ති ගියා. දවසට පාරක් හරි අපි දෙන්නා අනිවා රණ්ඩු වුනා. මට ඇත්තම කියනවා නම් ගෙදර ඉන්න එක එපා වෙලා තිබුනේ. සචී අයියා හැමතිස්සෙම මගේ දිහා බැලුවේ සැකෙන්. මම වෙන කොල්ලෝ එක්ක යනවා කියන එක එයා නොකියා කිව්වා. මේවා ඉවසන්න බැරිම තැන දවසක් මම සචී අයියට කිව්වා...

" මම තවදුරටත් මගේ ජීවිතය ඔයාගෙන් ඉල්ලන්නේ නැහැ අයියේ.."

" ඇයි ? "

" ඔයා දැන් ශාලිකාගේ, මට ඔයාගේ ජීවිතයට බලෙන් එන්න උවමනා නැහැ. මම මගේ හිත හදාගෙන ඉස්සරහට යන්න ඕන.."

" ඒ කියන්නේ ? "

" මමත් වෙන කෙනෙක් එක්ක ජීවිතය අලුතින් පටන් ගන්න ඕන.." මම එහෙම කිව්වේ හිතකින් නෙවෙයි

" කෙල්ලෙක් එක්ක යාළු උනාට කමක් නැහැ. කොල්ලෙක් එක්ක එපා ! ! "

සචී අයියා කිව්වේ නියෝගයක් දෙනවා වගේ

" ඔයා දන්නවනේ මම කෙල්ලොන්ට කැමති නැහැ කියලා. මට බොරු වැඩ කරන්න බැහැ, මම එහෙම එකක් ආපහු පටන් ගත්තොත් ඒ අනිවා කොල්ලෙක් එක්ක තමයි "

" එහෙම වුනොත් අපි දෙන්නා අතරේ මොනවා හරි දෙයක් ඉතුරු වෙලා තිබුන නම්, ඒකත් නැති වෙලා යයි.."
සචී අයියා අත් දෙකත් බැඳගෙන මගේ දිහාවට හැරිලා කිව්වා.

" ඔව්.. ! ! "

මමත් තනි උත්තරයක් දුන්නා

" මම පව් නැද්ද ? "

සචී අයියා සෑහෙන්න නොමල් වෙලා ඇහුවා

" එතකොට මම පව් නැද්ද සචී අයියේ ? "

මමත් එයා අහපු ප්‍රශ්නෙම ඇහුවම එයා මගේ දිහා බලන් හිටියේ එදා අහිංසක විදිහටමයි. කොච්චර රණ්ඩු වුනත් හිත ඇතුලේ හංගගෙන ඉන්න ආදරේ ඒ වෙලාවේ මම එයාගේ ඇස් වලින් දැක්කා.

" මම ඔයාට ආදරෙයි සචී අයියේ.. oh god, මම මේක නොකියා ඉන්නයි හිතන් හිටියේ ආපහු. ඒත් මට බැහැ... මට බැහැ... මම ඔයාට පිස්සෙක් වගේ ආදරෙයි. මම ඒක හංගගෙන ඉන්න උත්සාහ කලා. පුළුවන් තරම්, ඒත් බැහැ.. මට ඒක කරන්න බැහැ, මගේ පස්සෙන් ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ එනවා, ඒ ඔක්කොම ඔයාට වඩා ගොඩක් හොඳ ඇති, ඔයාට වඩා... ඒත් ඒ කිසිම කෙනෙක්ට ආදරය කරන්න බැහැ. මොකද මම ඔයාට ආදරේ නිසා. ඔයා මගේ මුලු ජීවිතේම වෙලා නිසා. මට කිසිම දෙයක් ගැන හිතන්න බැහැ, කිසිම කෙනෙක් ගැන හිතන්න බැහැ.. මට කන්න බැහැ, නිදා ගන්න බැහැ, පාඩම් කරන්න බැහැ, මට මුකුත් කරන්න බැහැ, මම ඔයාට ආදරෙයි... එච්චරයි මම කරන්නේ.. එච්චරයි මට පුළුවන්. මම ඔයාට ආදරෙයි. මම.. ඔයාට ආදරෙයි.."

මම පිස්සෙක් වගේ කියවගෙන ගියා. මොකුත් නොකියා මගේ දිහා ටිකක් වෙලා බලන් හිටපු සචී අයියා රූම් එකෙන් යන්න ගියා. මම එහෙමම බිත්තියට හේත්තු වෙලා බිම වාඩි වුණා. හැමදාම මේ වගේ නොලැබෙන ආදරයක් වෙනුවෙන් බොරුවට රණ්ඩු කරන එකේ තේරුම මොකක්ද කියලා මම හිතුවා.
ටික වෙලාවකින් ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා දැනිලා මම නැගිටලා ගිහින් මේසේ උඩ තිබුණු ෆෝන් එක ගත්තා.

" සඳ ඔයාට කොහොමද ? " දවස් ගානකට පස්සේ මණිල්​ක අයියගෙන් SMS එකක් ඇවිත් තිබුණා.

" මම හොඳින් අයියේ, ගොඩ දවසකින්. ඉතින් කොහොමද ? " හොඳින් නොවුනත් මගේ දේවල් වෙන කාටවත් කියන්නේ කොහොමද ? මම එහෙම හිතුවා

" සුභ ආරංචියක් තියෙනවා කියන්න.."

ඊළඟ SMS එක ආවම මම එයාට කෝල් එකක් ගත්තා.

" හෙලෝ.. සුභ ආරංචිය කටින්ම අහගන්න ඕන වුණා.." මම කිව්වා

" ඒව එහෙම කියන්න බැහැ.."

" ගණන් උස්සන්න එපා ඉතින්. කියන්නේ බැරි නම් මොකටද මට SMS කලේ ? "

" හි..හී... හරි.. හරි.. මම හෙට කොළඹ එනවා. ඔයාට මාව මීට් වෙන්න පුළුවන්ද ? "

" හෆොයි අයියේ, හෙට මැච් එකක්නේ.. ඉවර වෙද්දි 6 -7 වෙනවා " මම ඇත්තටම කිව්වේ කණගාටුවෙන්

" අයියෝ මල්ලා.. මම හෙට ඔයාව හම්බ වෙන්න හිතාගෙන හිටියේ, කමක් නැහැ.. වෙන දවසක බලමු.

" අනේ ඇත්තටම සොරි අයියේ.. ඇයි හදිස්සියෙම කොළඹ එන්නේ ? "

" ඒකට අවුලක් නැහැ, මේකයි, මට කොළඹ ජොබ් එකක් හම්බ වුනා. මම නෙක්ස්ට් වීක් ඉඳන් වැඩ. හෙට හෙඩ් ඔෆිස් එකට එන්න කිව්වා වැඩ වගයකට. ඒ ගමන් ඔයාව මීට් වෙන්න එන්න හිතුවේ, මම හෙටම කුරුණෑගල යන්නත් ඕන. එහෙනම් මම ආවම නෙක්ස්ට් වීක් මීට් වෙමු.."

එයා එකදිගටම කියවගෙන ගියා

" ෂා... මගේ සුබ පැතුම් අයියේ, ඔයාට ජොබ් එකක් ? එතකොට ඔයාගේ මැනේජ්මන්ට් කෝස් එක ? "

" ඒක වීකෙන්ඩ් ක්ලාස් ගිහින් කරනවා. මේ වෙලාවේ ජොබ් එක වැදගත්.."

" මොකක්ද අයියේ ජොබ් එක ? "

" Banking Assistant.. පුංචි ජොබ් එකක් මල්ලා "

එයා කිව්වේ හරිම විවෘතව. මානිල්ක අයියගේ ලොකුකම නැහැ, හරිම නිහතමානී කොල්ලෙක්. මම ඒ ගතිගුණයට ගොඩක් ආස කලා.

" එතකොට නවතින්නේ කොහෙද ? "

" මට අපේ අයියගේ යාලුවෙක් බෝඩිමක් සෙට් කරලා දෙන්නම් කිව්වා. හෙට එක බලන්නත් යනවා. හෙටම සල්ලි බැදලා එනවා. නැත්නම් ලබන සතියේ ඉඳන් වැඩට යන්න වෙන්නේ පාරේ ඉඳන් තමයි.."

" ඉතින් තැන හොඳද නැද්ද කියල බලන්නේ නැතුව, එහෙම එක පාරටම ගන්න යන්න එපා.."

" හොඳ වුණත් නැතත් ඉතින් මල්ලා කරන්න දෙයක් නැහැ, වෙලාවේ හැටියට.. අනික අපි ගොඩක් ලොකු සල්ලි කාරයෝ නෙවෙයිනේ.. ලොකු තැනක් ගන්න අමාරුයි. මේ පුංචි ජොබ් එකෙන් පිරිමහ ගන්න පුළුවන් වෙන්නත් එපැයි. කෝස් එකට වියදම් කරන්නෙත් අයියා. දැන් එයාලට බරක් වෙලා හිටියා ඇති "

මණිල්​ක අයියා අවංකවම මේ හැමදේම මාත් එක්ක කිව්වේ ඇයි කියලා මම දන්නේ නැහැ. ඒත් මම එයාගේ අවංක කමට ගරු කලා.


" තරු වෙරලේ සඳවත සේ 
හිත් අහසේ ඔබ පායා උන්නා 
හිනැහෙමු ඒ පුර හඳ සේ
මගේ මිතුරේ නෙත් කඳුළු පිසදා 
මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා 
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් එබුනා 
හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් තිබ්බා 
සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා...." 

Wednesday, September 19, 2012

Chapter 41 - "MIGRATION..."




අඳුරක් හින්දමයි එළියකට වටිනාකමක් ලැබෙන්නේ. ඒ වගේම තමයි ආදරයක් මෙච්චර වටින්නේ දුක් ගින්දරකට බිලි වෙන්න නොදී පණ වගේ රැකගත්ත නිසා. මගේ හිතේ සචී අයියා ගැන තිබුන ආදරය හැමදාටම ඒ විදිහටම තියෙයි. ඒත් මෙච්චර දවසක් පතාගෙන ආපු විදිහට එකට අත් අල්ලගෙන එකම පාරක යන්න අපි දෙන්නටම බැරි වෙයි.

මම සචී අයියගේ ගෙදර ගිහින් එයා කියන ඒවා ඔක්කොම අහගෙන ඉඳලා ආවා. එයා මට හොඳටම බැන්නා. මම ඒත් වචනයක් වත් කිව්වේ නැහැ. එයා ඉද්දි වෙන කොල්ලෝ පස්සේ යනවා කියලා බොහොම කැත විදිහට මට කතා කලේ. මම ඔහේ ඒවා අහගෙන හිටියා. මට දුක හිතුනේ නැහැ සචී අයියේ. මම දන්නව එදා ඒ කතා කලේ ඔයා නෙවෙයි. වෙන කොහේ හරි ලෝකයකින් ආපු වෙන කොල්ලෙක්. 

" තමුසේ මට ආදරේ නම් ඔච්චර වෙන එකෙක් එක්ක ඒ වගේ කරන්නේ නැහැ.."

" මම මොනවද කලේ ? " අහන් ඉදලා බැරිම තැන මම ඇහුවා.

" මොනවද කලේ ? කවුද දන්නේ මොනවා කලාද කියලා.. මම බලන් හිටියැයි.."

" දන්නේ නැති දේවල් කියවන්න එපා සචී අයියේ.. ඔයා හිතන ජාතියේ කොල්ලෙක් නෙවෙයි මම.. මට එහෙම ඕන වුනා නම් මම එහම කරලා මීට හුඟක් කල්.."

" උඹ මට කට ගහගෙනත් එනවද දැන් ? " සචී අයියා එකපාරටම කෑ ගැහුවා.

" බොරුවට කෑ ගහන්න එපා සචී අයියේ, ඔයාට යක්ෂාවේශ වෙන්න තරම් දෙයක් මම කරලත් නැහැ කරන්නෙත් නැහැ. ඒත් එකක් මතක තියා ගන්න. මම මෙච්චර ඉවසන්නේ මම ඔයාට වුනු පොරොන්දු නිසා. ඔයත් මට දවසක් හරි ආදරය කරපු නිසා.."

" ඔව්.. උඹ දැන් ලොකු මිනිහෙක්නේ.." සචී අයියගේ ඇස් කේන්තියෙන් දිලිසෙනවා. මම ඒ ඇස් දිහා මොහොතක් බලන් හිටියා.

" ඔයා මට මොනවද කරන්න කියන්නේ ? " මම අන්තිමට ඇහුවා.

" මම මුකුත් ඉල්ලන්නේ නැහැ ලහිරු... මට ඕන මාත් එක්ක ඉස්සර හිටපු පොඩි එකාව. මම ආදරය කරපු ඒ පුංචි ලහිරුව.."

" මටත් ඉස්සර හිටපු අහිංසක සචී අයියව දෙන්න පුලුවන්ද ආපහු ? " මම එහෙම අහලා එයාගේ ඇස් දිහාම බලන් හිටියා.


" සඳක් වෙන්න බැරිනම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට 
වෙහෙස දැනෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය 
දුකක් ඉතිරි මේ ජීවිතේ..." 


ඔයා ටිකෙන් ටික මට ඔයාව එපා කෙරෙව්වා සචී අයියේ, ඒත් මට එපා වුනේ නැහැ. මම අකමැති දෙයක් නම් ඒ ඔයත් එක්ක රණ්ඩු වෙන එක විතරයි. මම වචනයක්වත් කියන්නේ නැතුව ඔයා කියපු හැම දෙයක්ම අහගෙන ඉඳලා ආපහු ගෙදර ආවේ පපුවේ ඇතුලේ ලොකු දුකක් හිරකරගෙන. ඒත් මම ඇඬුවේ නැහැ. මට අඬන්න ඕන වුනේ නැහැ. මට ඒ දුක හිතේ තියාගෙන විඳවන්න ඕන වුණා. මම ඇඬුවේ නැහැ.


-------------------------------------------------------- 


ඊළඟ සතියේ මම සුදු අක්කගේ Home-Coming Ceremony එකට ගියේ නැහැ. මම උවමනාවෙන්ම ඒක මග හැරියා. මට ඕන වුණේ නැහැ සචී අයියට මං ගැන වැරදි දේවල් හිතන්න තවත් අවස්ථාවක් දෙන්න. මම Home-Coming එකට එන්නේ නැහැ කියලා මණිල්​ක අයියට SMS එකක් යැව්වා. ඒත් එයාගෙන් රිප්ලයි එකක් ආවේ නැහැ. මම ඒ තරම් ඒක ගැන හිතුවේ නැහැ. Home-Coming එක තිබුනේ Kandy. ඒක නිසා අම්මලා ඒ දවසේ උදේ යන්න කතා වුනා. මම ස්කූල් ගියා. අම්මලා මට යමු කියලා ඒ තරම් කරදර කලේ නැහැ. මම School ඉවරවෙලා FootBall Practice නැවතුනා. Changing Room එකේදි Phone එක on කලාම තමයි දැක්කේ මණිල්​ක අයියා කෝල් කරලා Missed Call Alerts තියනවා. SMS එකකුත් එවලා.

" Malli, Please call me " මම ඒත් එක්කම එයාට කෝල් එකක් ගත්තා.

" හෙලෝ මල්ලී, ඇයි ඔයා ආවේ නැත්තේ ? " Call එක ගත්ත ගමන් මණිල්​ක අයියා ඇහුවා.

" මම එවපු SMS එක ආවේ නැද්ද ? මට අද School එන්න තිබුනා අයියේ, අනික හවස ෆුට්බෝල් ප්‍රැක්ටිස් තිබුණා" මම එක දිගට කියවගෙන ගියා.

" මට SMS ආවා, මම ඒත් හිතුවා විහිළුවක් කරන්න ඇත්තේ කියලා, රිප්ලයි කරන්න ඒ වෙලේ ෆෝන් එකේ ක්‍රෙඩිට් තිබුනේ නැහැ. අද උදේ ඉඳන් ඔයාට ගන්නවා.."

මණිල්​ක අයියා නිකන් upset එකෙන් වගේ කතා කරන්නේ.

" නැහැ අයියේ, එන්න විදිහක් තිබුනේ නැහැ, නැත්නම් එනවා "

" අපි කවද්ද ආපහු මීට් වෙන්නේ ? "

මණිල්​ක අයියා එහෙම ඇහුවම මාව ඩිම් වෙලා ගියා. මෙයා මොකද මාව මීට් වෙන්න අහන්නේ ? 

" ම්ම්ම්... හදිස්සියෙම ? " මම අමාරුවෙන් වචන එකතු කර ගත්තා.

" ඇයි අපිව ආශ්‍රය කරන්න කැමති නැද්ද ? "

එයා එහෙම ඇහුවම මට පවු කියලත් හිතුනා

" එහෙම එකක් නැහැ අයියේ, ඔයා ඉතින් මෙහේ එවෙන්නේ නැහැ නේද ? ආවොත් නම් මීට් වෙන්න පුළුවන්. මම නම් කුරුණෑගල එවෙන්නේ නැහැ ආපහු කාලෙකට.."

" ම්ම්ම්.. මම Colombo ආවම කියන්නම්කෝ මල්ලි.. "

" හරි අයියේ, එහෙනම් පරිස්සමෙන් ඉන්න. මම පස්සේ කෝල් එකක් දෙන්නම් "

මම ඉක්මනට ෆෝන් එක තිබ්බේ හිතට නිකන් අමුතු හැඟීමක් දැනෙන්න ගත්තු නිසා

" කව්ද බන් කෝල් කලේ ? සචියා නෙවේ නේද ? " මෙච්චර වෙලා මගේ දිහා බලන් හිටපු ඉරෝෂයා ඇහුවා.

" මම උඹට කිව්වේ බන්, කුරුණෑගල, මණිල්​ක.."

" ආහ්.. උඹ අද ආවේ නැත්තේ මොකද කියලා අහනවද ? "

" ඔව් බන් ඌට මාව මීට් වෙන්න ඕනලු.."

" ඕක නම් පුතේ එච්චර සුභ නැහැ... උඹ දන්නවනේ සචියගේ හැටි.."

" අනේ මන්දා බන්, ඌ හිත හොඳ කොල්ලෙක්, අනික උගෙයි මගෙටි එහෙම මගුලක් නැහැ, උඹත් සචී අයියා වගේ කතා කරන්න එපා.." මම ඉරෝෂයට කියලා එතනින් නැගිට්ටා.

" මම එහෙම කියන්නේ නැහැ මචන්, ඒත් උඹට අවුලක් වෙයි කියලා මට බයයි " ඉරෝෂයා මගේ කරට අතක් දාගන්න ගමන් කිව්වා.



"මා නොමැති හෙටක් ඇතත්
පිපෙන මල් යලිත් පිපේ
හිරු එළිය ඇවිත් තව දවසක් උදා වී
හමනා ඒ සුලං රැලිත් නෙත් කොනින් ලඟින් හමයි
නෙතු අගින් වැටුනු ඒ කඳුලැල් සීතලයි.. 


-------------------------------------------------------- 



අයියා රට යන දවසත් ලං වුනා. ඒක ඔක්කොටම වඩා දරා ගන්න බැරි වුනේ මට. පොඩි කාලේ ඉඳන් එකට ඉඳලා මූ අපිව දාලා ඈත රටකට යනවා කියන්නේ හිතා ගන්න බැරි දෙයක්. ඒත් උගේ අනාගතය වෙනුවෙන් අපි ඒකට අකමැත්තෙන් වුණත් ඉඩ දෙන්න ඕනනේ

අයියා යන්න කලින් සචින්ත අයියයි ශ්‍රීමති ආන්ටියි අපේ ගෙදර නවතින්න එන්න කැමති වුනානේ. ඒත් ගෙවල් දෙකේම ඉමු කියලයි ශ්‍රීමතී ආන්ටි කැමති වුනේ. මටනම් ඒක ගැන විශේෂ සතුටක් තිබුනේ නැහැ. සචී අයියා ලග ඉද්දි මම හිටියේ හිතෙන් විඳව විඳව. එයාගේ ඒ හිනා වෙන ඇස් දෙක. අහිංසක මුහුණ දකිද්දී මාව ඇතුලෙන් පිච්චිලා ගියා.

" උඹ මගේ මල්ලිවයි අම්මවයි බලාගනින් මම ගියාම.." දවසක් මම උඩ තට්ටුවේ ඉඳන් පහලට බහින කොට අයියා කාටද කියනවා ඇහුණා. බලද්දි සචී අයියත් එක්ක අපේ අයියා ලොකු කතාවක.

" උඹ කිව්වා නැතා මම ඒක කරනවා මචන්, උඹ පරිස්සමෙන් ගිහින් හොඳට ඉගෙන ගෙන වරෙන් ඉක්මනට "

සචී අයියා අපේ අයියට පොරොන්දු වුනේ එයාට කරන්න පුළුවන් දෙයක් ද කියල මම කල්පනා කලා.
සචි අයියට එයා ඉස්සර හිටපු රූම් එකම දුන්නා. ශ්‍රීමති ආන්ටි පහළ තට්ටුවේ එයා කලින් හිටපු රූම් එකේ. එදා අම්මට ගොඩක් සතුටුයි. ඒත් මට සතුටක් නැහැ. අයියා ගියාට පස්සේ මම මේ ගෙදර ඇතුලේ අතරමං වෙයි කියලා මට හිතුණා. සචී අයියා ඉස්සර වගේම හිනා වෙලා සතුටින් ඉන්න පටන් ගත්තා. ඒත් එයාගේ අරුම පුදුම වෙනස ගැන මට තිබුනේ සැකයක්. එයා මාත් එක්ක ආදරෙන් හොදින් ඉන්න උත්සාහ කලා. මම ඒකට ඉඩ දීලා බලන් හිටියා. ඉස්සර වගේම හැමදාම රෑට හොරෙන් මගේ රූම් එකට ඇවිත් මට කිස් ගොඩක් දීලා තමයි එයා ගිහින් නිදා ගත්තේ. මට අනාගතය ගැන බයක් දැනුනත් මම ඒ උණුසුමට ආස කලා. ආදරය කලා. ඒත් අයියා යන්න කලින්ම මගේ හිත ඇතුලේ ලොකු තනිකමක් පාළුවක් දැනෙන්න ගත්තා.

අයියා යන්න දවස් දෙකකට කලින් අපි හැමෝම පන්සල් ගිහින් මල් පහන් පූජා කරලා ආවේ අයියා යන ගමන සාර්ථක වෙන්න කියලා. එදා රෑ හැමෝම නිදාගන්න ගියාට පස්සේ මම අයියගේ රූම් එකට ගියා. මට අයියත් එක්ක කතා කරන්න ඕන වුනා. අයියා ෆෝන් එකෙන් අනුෂි අක්කා එක්ක කතාවක්. මම ආපහු රූම් එකට ගියේ ඩිස්ටර්බ් කරන්න බැරි නිසා. මම බෙඩ් එකට වැටනා ලයිට් ඕෆ් කරලා. ඒත් ටික වෙලාවකින් අයියා මාව හොයාගෙන මගේ රූම් එකට ආවා. 

" මල්ලි, ඇයි ආවේ ? "

" නෑ උඹත් එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන ආවේ.. බිසීද ? " මම නැගිටලා බෙඩ් ලෑම්ප් එක දැම්මා.
අයියා ඇවිත් මගේ ලඟින් වාඩි වුනා. අපි දෙන්නම මොහොතක් කතා නොකර හිටියා.

" මමත් උඹට කතා කරන්න තමයි මල්ලි හිටියේ, හෙටම කතා කරනවා කියලා හිතුවා ඒත්.. උඹ දැන් මොකද්ද කරන්න කල්පනා කරන් ඉන්නේ ? " අයියා කතාව පටන් ගත්තා.

" මම දන්නේ නැහැ බන්, උඹ ගියාම මම මේ ගෙදර තනි වෙයි.."

" එහෙම වෙන්නේ නැහැ බන්, අම්මා ඉන්නවා.. සචියා.. " අයියා කියන්න ගිය දේ නවත්ත ගත්තා.

" සචී අයියා ගැන කතා කරන්න එපා අයියේ, උඹ දන්නවනේ දැන් ඒවා ඉවර වෙලා කියලා "

" ඒ වුනාට සචී උඹට ආදරෙයි, මම ඒක දන්නවා.."

" වැඩක් නැහැ කවුරු හිටියත්, උඹ නැතුව... උඹට නොයා ඉන්න බැරිද ? " මම දරාගෙන ඉන්න බැරිම තැන ඇහුවා. ඒත් එක්කම මගේ උගුරත් එක්ක හිර වෙලා ඇස් වලින් කඳුලක් පැන්නා.

" අනේ චූටි, මොකද මේ ? " අයියා මාව බදා ගත්තා. මට හයියෙන් ඇඬුණා.

" ෂ්..ෂ්.. කෝ.. අඩන්නේ නැතුව හිටපන්, ඇයි බන් මේ... මම මැරෙන්න යනවා නෙවේනේ. උඹ වරෙන් නිවාඩුවට මාව බලන්න.." අයිය මගේ ඔලුව අත ගගා කියනවා. ඒත් උගේ කටහඬත් වෙනස්වෙලා.

" මම තනි වෙලා බන්, මේ ගෙදර මට ඉන්නේ උඹ විතරයි, ප්ලීස් බන්, මාවත් එක්ක පලයන්.. "
මම අයියගේ පපුවට තුරුළු වෙලා සෑහෙන්න ඇඬුවා. ටිකකින් අයියගේ කඳුළුත් මගේ උරහිසට වැටෙනවා මට දැනුණා. අයියා කවදාවත් මගේ ඉස්සරහා අඬලා නැහැ. මට තවත් දුකයි. අයියා මාවත් තුරුල් කරගෙන මගේ බෙඩ් එකේ ඇල වුනා. මගේ ඇඬිල්ල නැවතුනේ නැහැ සෑහෙන්න වෙලාවක් යනකම්. අයියා මාව පොඩි එකෙක් වගේ තුරුළු කරගෙන නැලෙව්වා.

" උඹ මෙහෙම කතාවක් කියනවා කියලා දන්නවනම් මම යන්නේ නැහැ බන් කවදාවත්. උඹට තනිවෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. මට මුළු ලෝකෙන්ම වැඩියෙන්ම වටින්නේ උඹවයි.. අම්මවයි. උඹට දුකක් දීලා මම කොහෙවත් යන්නේ නැහැ එහෙනම්.." අයියා එහෙම කිව්වේ සෑහෙන්න දුකකින්

" මම උඹේ හිත රිද්දන නෙවෙයි බං මේවා කියන්නේ.. ඒත් උබ ගියාම මම තනි වෙයි කියලා මට බය හිතුණා. උඹ යන්න ඕන මේ ගමන. මමත් එනවා අම්මා හිටියේ නැත්නම් " මම කිව්වා.

" මම උඹව මගේ ගාවට ගන්නම් මල්ලි. මටත් උඹ නැතුව ඉන්න බැහැ කොහොමත්. අම්මා අකමැති වෙන එකක් නැහැ, ඒත් උබ හිත හදාගෙන ටිකක් ඉවසලා එක්සෑම් එක කරපන්.."

අයියා එදා රෑ මාව තුරුළු කරගෙන තව ගොඩක් දේවල් කිව්වා. එදා අපි දෙන්නම නිදාගත්තේ මගෙ බෙඩ් එකේ.
අයියා යන දවසට කලින් දා අම්මයි මමයි හිටියෙ ගොඩක් දුකෙන්. අයියා අපෙන් වෙන්වෙලා මෙච්චර ඈතට යන පලවෙනි වතාව. අම්මයි මමයි දෙන්නම අපේ දුක පෙන්නුවේ නැහැ. අයියා වුනත් හිත ඇතුලේ දුක තියාගෙන ඉවසන් හිටියා කියල මම දන්නවා. සචී අයියට වුනත් මගේ දුක තේරෙන්න ඇති. එයා නිතරම මගේ ළඟට ඇවිත් ඔලුව අත ගෑවා. මම බෙඩ් එකට වෙලා කල්පනා කරකර ඉද්දි ඇවිත් මගේ ලඟින් වාඩි වුනා.

" හිරූ... ඔයා දුකෙන් නේද පැටියෝ ඉන්නේ.." සචී මගේ ඔලුව හෙමිහිට අතගාන ගමන් ඇහුවා. මම නැගිටලා බෙඩ් එකේ වාඩි උනා.

" ටිකක් upset සචී අයියේ.. ඔයා දන්නවනේ.. අයියා ගියාම.." මම ඉතුරු ටික කියන්නේ නැතුව ගිල ගත්තා.

" ඔයාට මම ඉන්නවා පැටියෝ.. මම ඔයාට ආදරෙයිනෙ... මම ඔයාව තනි කරන්නේ නැහැ.. " සචී අයියා මාව තුරුළු කරගෙන මගේ නලලට කිස් එකක් දුන්නා.

" ඔයා මාව තනි කරලා ගොඩක් කල් සචී අයියේ..." මගේ හිත කිව්වා.




Sunday, September 16, 2012

Chapter 40 - "WHY...?"



සමහර බැඳීම් ජීවිතය අවුල් කරන කොට තව සමහරක් ඒ අවුල් ලිහනවා. ආදරය හිතකින් හිතකට දැනෙන විදිහ වෙනස්. ඒ වෙනස හින්දමයි කාටවත් කවදාවත් ආදරයක් එහෙම පිටින්ම තේරුම් ගන්න බැරි. 

එදා රෑ කෑමෙන් පස්සේ අයියලා කට්ටිය ගෙදර ඉතුරු සැරසිලි කරන්න පටන් ගත්තා. අපි පාන්දර තුන විතර වෙනකම් වැඩ කලා. සචී අයියා නම් පේන්න හිටියේ නැහැ. මම වැඩ කරන අතරේ එයාගේ රූම් එකට ගිහින් බැලුවා. කොට්ටියකුත් තුරුල් කරගෙන අනිත් පැත්ත හැරිල නිදි. ඒ දිහා ටික වෙලාවක් බලන් හිටපු මම ආපහු ඇවිත් වැඩ වලට එකතු වුණා.

වැඩ ඉවරවෙලා කට්ටිය යන්න ලැහැස්ති වුනා. මාමා කිව්වේ අයියලට ඉඳලා යන්න කියලා. ඒත් වෙඩින් එකට කලින් එහෙම නවතින එක සිරිත නෙවෙයි කියලා උදාර අයියම කිව්වා. ඉතුරු වැඩ ටික ඉවර කරන්න උදේට එන්නම් කියලා අයියලා ගියා.

" ගිහින් එන්නම් සඳ " මණිල්ක අයියා මගේ ගාවට ඇවිත් ඔලුව පැත්තකට හරවලා හිමීට කිව්වා.

" Good night aiye.."

" දැන් Good morning " එයා එහෙම කියලා ආපහු හැරුනා.

හවස ඉඳන් හොල්මන් වෙලා හිටපු මට බෙඩ් එකට වැටුන ගමන් නින්ද ගියා. උදේ ඇහැරුනේ කවුරු හරි මගේ ඔලුව අත ගානවා දැනිලා. මම ඇස් ඇරියේ නැහැ, ඒත් සුවඳින් මට තේරුණා ළඟ ඉන්නේ සචී අයියා කියලා. මොන වැරැද්ද කලත්, ඒ හිතට වෛර කරන්න මට පුළුවන්කමක් තිබුනේ නැහැ. මම එහෙන්මම තද කරලා ඇස් දෙක පියා ගත්තා. ටිකක් වෙලා ඉඳල සචී අයියා ගියා. මම එයා ගිහින් ටික වෙලාවකට පස්සේ නැගිටලා වොෂ් රූම් එකට ගිහින් නා ගත්තා. හිත පුරාවටම තිබුනේ පුදුමාකාර කාලකණ්නි කමක්. ඒ කාලකණ්නිකම සේදිලා යන්නත් එක්ක මම ගොඩක් වෙලා නෑවා. උදේ කෑමට තිබුනේ කිරිබත්. මම ආසම කෑමක්. කිරිබත් මේසේ දැක්ක ගමන් මම මෙලෝ සිහියක් නැතිව වාඩිවෙලා පිඟානකට කිරිබත් කෑලි තුනක්ම දාගත්තේ ලොකු ලුණු මිරිස් තලියකුත් එක්ක.

" මල්ලි හිමින් කාපන් බන්.." අයියා කොහේදෝ ඉඳන් ඇවිත් මගේ උරහිසට අතක් තියලා කියනවා.

" ම්ම්... ම්ම්.. මේ උඹ කෑවද ? "

" අපි දෙන්නම තවම කෑවේ නැහැ.." අයියා කිව්වේ සචී අයියා ගැන කියලා මට තේරුණා .

" එහෙනම් කාපන්, තව බලන් ඉන්නේ මොකද ? මේක ඉවර වෙයි.."

" ඔව් ඔව් මම දන්නවනේ මලයන්ඩිගේ හැටි. හිටපන් මම සචියට කතා කරගෙන එන්නම්.."

අයියා ගිහින් සචී අයියවත් එක්ක ඇවිත් කෑම මේසෙට වාඩි වුණා. සචී අයියා මගේ ඉස්සරහම වාඩි වුණේ මගේ මුහුණ දිහා බලාගෙනමයි. ඒ අහිංසක මුහුණ දකිද්දී මගේ පපුව රිදෙනවා. මම ඔයාට කොයි තරම් ආදරෙයිද සචී අයියේ.. අපි තුන් දෙනාම සද්ද නැතුව කෑම කෑවා. මම ඉක්මනට කාලා කෑම මේසේන් නැගිට්ටා.

" ඔය උඹ කාලා ඉවරද ? " අයියා අහනවා

" ම්ම්.. ඇති.." මම එහෙම කියලා කිචන් එක පැත්තට ගියා. අම්මලා බරටම වැඩ. කිරි අම්මත් පැත්තක ඉඳන් කට්ටියට උපදෙස් දෙනවා.

" පුතේ ඔයාලා කෑම කෑවද ? බලන්නත් බැරි වුනා " වාසනා නන්දා මාව දැක්ක ගමන් ඇහුවා.

" ඔව් නැන්දේ.. කිරිබත් රසයි.." මම කිව්වා.

" අපි ඒත් කතා වුනා චූටි පුතාට කිරිබත් තියෙනවා නම් වෙන මොකුත් ඕන නැහැ කියලා.."

ශ්‍රීමතී ආන්ටි හිනා වෙවී කිව්වම එතැන හිටපු අනිත් ගැහැණු අයත් මගේ දිහා බලලා හිනා උනා. මට පෙරලෙන්නෙම මේ වගේ බාල්දි තමයි. මාව රතු වුනා..

" නැන්දේ මොනවා හරි වැඩක් තියෙනවා නම් කියන්න " මම ඒ කතාව මඟ හරින්නත් එක්ක නැන්දට කිව්වා.

" මොකුත් වැඩක් නැහැ පුතේ, ඉස්සරහ සැරසිලි වැඩ ටිකට උදව් වෙන්නකෝ. අයියලා කට්ටිය ඔයාව ඇහුවත් එක්ක.." නැන්දා කියද්දි මම ඔළුව වනලා සාලේ පැත්තට ගියා.

මණිල්ක අයියා පෝරුවේ අන්තිම සැරසිලි ටික කරනවා. කළු ටී ෂර්ට් එකයි, බ්‍රවුන් පාට ත්‍රී ක්වාටර් ශොර්ට් එකකුයි ඇඳලා පොඩි එකෙක් වගේ. මම ටිකක් වෙලා බලන් හිටියා එයාගේ වැඩ වල හුරුබුහුටි කම. හරිම නීට්. ඒත් එක්කම මට මතක් උනා සචී අයියා කෝච්චර නීට්ද කියලා. පිළිවෙල කියන එක මම ඉගෙන ගත්තේ එයාගෙන්. ඒත් අද.. පිළිවෙලට ලස්සනට හදපු මගේ ජීවිතයම අවුල් කරලා දාලා එයා යන්න ගිහින්. 

" හෙලෝ සඳ.. මොකෝ බර කල්පනාවක.." මණිල්ක අයියා මගෙ ලඟට ඇවිත් කතා කරනකම් මම දැක්කේ නැහැ.

" ම්ම්.. මුකුත් නැහැ. Good morning.."

" එසේම වෙන්ට ඕනි.." එයාට හැම එකම විහිලු

" පෝරුවේ වැඩ ඉවරද ? "

" මල් වැල් ගෙනත් එල්ලන්න විතරයි තියෙන්නේ. ඒව හෙට උදේට තමයි. නැත්නම් මල් පරවෙනවනේ.."

" මල් නැතුවත් හොඳයි.." මම පෝරුව දිහා බලාගෙන කිව්වා.

" මල් නැති වුනාම පාලුයි වගේ.."

" මට තේරුමක් නැහැ ඔයානේ ඉතින් ඕව දන්නේ.." මම එයාගේ මුහුණ දිහා බලාගෙනම කිව්වා

" සඳටත් ඕව තේරෙයි පෝරුවට නග්ග ගන්න කෙනෙක් හොයා ගත්ත කාලෙක "

" මට නම් එහෙම ඕනේ නැති වෙයි. ඔයා නම් හොයාගෙන ඇති නේද දැන් ? "

" තවම නම් නැහැ, අනික පෝරුවේ නගියිද, ඔයා ඊයේ සුදු අක්කට කිව්වා වගේ පැනලා යන්න වෙයිද දන්නේ නැහැනේ.."

එයා ඇහැක් ගහලා කිව්ව විදිහට මට හිනා නොවී ඉන්න බැරි වුණා. එදා දවස ඇතුලත අපිට කරන්න මහ ගොඩක් වැඩ තිබුනේ නැහැ. සචී අයියා නම් පේන්න වත් හිටියේ නැති තරම්. මමත් කාමරයට ගිහින් තනි වෙන්න හැදුවත් ඒකට ඉඩක් ලැබුනේ නැහැ. අම්මා ඇවිත් කෑ ගැහුවා නිදාගෙන ඉන්නේ නැතිව එලියට ගිහින් පොඩ්ඩක් වැඩක් පලක් කරන්න උදව් වෙන්න කියලා. අපේ අයියට නම් කොල්ලෝ ගැන්සිය එලටම ෆිට් වෙලා. අපේ අයියා කොහොමත් ඉක්මනටම ඕන කෙනෙක් එක්ක යාලු වෙන හිත හොඳ කොල්ලෙක්.

" චූටි මල්ලි එන්නකෝ, අපි මේ බැලුවා ඔයා කොයි කියලා.." උදාර අයියා කියනවා

" අනේ මල්ලි පැටියෝ, මුළුතැන් ගෙයි පැත්තට ගිහින් බලලා එන්නකෝ කන්න බොන්න දෙයක් නැද්ද කියලා. දවල්ට කෑවට පස්සේ තවම කෑවේ නැහැ.."

මණිල්ක අයියගේ, අයියා තේනුක අයියා මට කියනවා.

" ඉන්න චුට්ටක්. මම හොයන් එන්නම්.." මම එහෙම කියලා කිචන් එක පැත්තට ගියා. කිරි අම්මා කට්ලට් බදිනවා.

" කිරි අම්මේ, අයියලා කන්න මොකුත් ඉල්ලනවා.. බඩගිනියිලු.." මම කිව්වේ වට්ටියේ තිබුන කට්ලට් එකක් අරන් කන ගමන්.

" මේ හවසට තේ බොන්න තමයි මයේ පුතේ හදන්නේ.. මේ ටික එහෙනම් පීරිසියකට දාගෙන යන්නකෝ, මම තේ හදලා එවන්නම්.." කිරි අම්මා මට කිව්වා

" ළමයි කී දෙනෙක් ඉන්නවද මයේ පුතේ.." නැන්දා අහනවා

" වත්තේ සැරසිලි කරන අයද නැන්දේ ? "

" නැහැ උදාර පුතාගේ යාලුවෝ, අනිත් අයට මම වෙනම තේ එවන්නම් "

" උදාර අයියගේ යාලුවෝ හතර දෙනයි " මම කට්ලට් පිගානකුත් අරන් එලියේ වැඩ කරන අයියලා ගාවට ගියා.

" අනේ මල්ලියෝ නිවන් ගියා වගේ, මම ඒකනේ මල්ලියව යැව්වේ. අපේ උදාරයව යැව්වා නම් උස්සගෙන එයි අග්ගලා, වැලි තලප වගේ පැණි රස කෑමක්. යකෝ මේන් බලපන් පොඩි එකත් දන්නවා අපිට හරියන්නේ මේවා කියලා. උඹ නන් පැණි රස ගුලි ගිලලා හදාගන්නව දියවැඩියාව "තේනුක අයියා උදාර අයියව බයිට් කරනවා

" අනේ පල ඩෝ යන්න.. අපි හොඳට ගමේ බත් කාලා හැදෙන කොල්ලෝ. අපිට එහෙම ලෙඩ නෑ හරිද.."

මම හැමෝටම කටලට් බෙදුවා. අන්තිමට ගියේ මණිල්ක අයියා ගාවට. එයා හිනා වෙලා කට්ලට් එකක් අරන් කටේ දා ගත්තා. ඒ හිනාව හරිම අහිංසකයි. මමත් මොනවද මේ හිතන්නේ...

එදා දවසම වැඩ කටයුතු විහිළු තහළු එක්ක ගෙවිලා ගියේ අපිටත් නොදැනීම. මණිල්ක අයියයි මමයි මොබයිල් නම්බර්ස් හුව මාරු කරගන්න තරමට අපි දෙන්නා අතරේ හිතවත්කමක් ගොඩ නැගුණා. එයාගේ ජීවිතයේ ගොඩක් දේවල් එයා මාත් එක්ක කිව්වා. මමත් සචී අයියා ගැන හැරෙන්න මගේ ජීවිතයේ ගොඩක් දේවල් එයත් එක්ක කතා කලා. ඒත් සචී අයියා කියන්නේ මගේ ජීවිතයේ වැදගත්ම දේ. ඒ දේ ගැන කතා නොකර මගේ ජීවිතය ගැන කතා කරනවා කියන්නේ විහිලුවක්

------------------------------------------------------------------

පහුවදා උදේ නමය කුත් ගානට තිබුන සුබ මොහොතින් සුදු අක්කා පුංචි මනමාලියක් වුණා. උදාර අයියත් එක්ක ඒ දෙන්නා පෝරුවට නැගලා ඉද්දි මට පෙනුනේ පොඩි කාලේ අපි සුරංගනා කතන්දර පොත් වල කියවපු චරිත. ඒ හැම කතාවක්ම ඉවර වුණේ හොඳ අවසානයකින්. ඒත් ඒවා සුරංගනා කතා වලට විතරක් සීමා වුන දේවල්ම නෙවෙයි කියලා මට හිතුණේ උදාර අයියයි, සුදු අක්කයි දිහා බලද්දි.

වෙඩින් එක ගොඩක් ලස්සනට කෙරුනා. හැමෝම සැරසිලි ඒ වගේම පෝරුව ගැන වර්ණනා කලා. හැමෝම මණිල්ක අයියට හොඳ කිව්වා. එයා ඒ හැම කෙනෙක්ගෙම ප්‍රශංසා බාර ගත්තේ ගොඩක් නිහතමානි විදිහට.
එදා හවස සුදු අක්කා පිටත් වෙලා යද්දී අපි හැමෝටම දුක හිතුනා. එයා අපි හැමෝමව බදාගෙන ඇඬුවා. කෙල්ලෙක් ඉන්න හැම අම්මා තාත්තා කෙනෙක්ටම වැඩියෙන් දුක දැනෙනවා ඇති. ඇයි ඉතින් කවදා හරි පිටට දෙන්න වෙනවනේ. මම ඔය වගේ එක එක දේවල් කල්පනා කර කර හිටියා.

" එහෙනම් මල්ලි අපිත් ගිහින් එන්නම්.. ඔයාලා හැමෝම හෝම් කමින් එකට එනවද ? "
මණිල්ක අයියා මගේ ලඟට ඇවිත් මගේ උරහිසට තට්ටුවක් දාලා කතා කලා.

" අපි හෙට ගෙදර යනවා අයියේ, හෝම් කමින් එකට එහෙන් එනවා.. ඔයා එනවද ? "

" අනිවා එනවා. එහෙනම් ලබන සතියේ හම්බ වෙමු.. ගිහින් එන්නම් සඳ.."

" පරිස්සමෙන් ගිහින් එන්න අයියේ.." මම එයාට සමු දුන්නා.

අන්තිමට ගෙදරින් පිටත් වුනේ උදාර අයියගේ යාළුවෝ කට්ටිය. ගෙදර අස් කරන වැඩ වලට පහුවදා එන්නම් කියලයි ඒ අය ගියේ. ඒත් මානිල්ක අයියා එන එකක් නැහැ කියලා එයාගේ කතාවෙන් තේරුණා. මම අහන්න ගියෙත් නැහැ.

පහුවදා උදේ අපි ආපහු කොළඹ එන්න පිටත් වුනේ පාන්දරින්ම. අම්මට එදා ඉම්පෝටන්ට් මීටින් එකක් තියෙන නිසා අපිට උදෙන්ම එන්න සිද්ධ වුණා. මග දිගට වුණත් සචී අයියගෙයි මගෙයි අතරේ වැඩි කතාබහක් සිද්ධ වුණේ නැහැ. මම අයියත් එක්ක වෑන් එකේ ඉස්සරහා සීට් එකේ ආවා. සචී අයියා පිටි පස්සේ සීට් එකට වෙලා නිදා ගත්තා. අම්මලා දෙන්නා මැද සීට් එකේ.

මොහොතකට මට මතක් උනා මීට මාසකට කලින් අපි කොයි තරම් සතුටින් හිටියද කියලා. ඒත් මේ දේවල් මෙච්චර ඉක්මනට වෙනස් වෙයි කියලා කවුද හිතුවේ. මේවා කොහොම වුනාද වුණාද කවද වුනාද කියලා මට තවමත් හිතාගන්න බැහැ. හරියට හීනයක් දැක්කා වගේ.

" සුභ ගමන් ලබන සතියේ meet වෙමු සඳ.. BS. TC "
මණිල්ක අයියා SMS එකක් එවලා තිබුනා. මට රිප්ලයි කරන්න තරම් හිතක් නැහැ. මම අතරමං වෙලා හිටියේ සචී අයියගෙයි මගෙයි අතීත ලෝකයේ. මම ටිකක් වෙලා කල්පනා කරලා පොඩි ටෙක්ස්ට් මැසේජ් එකක් දැම්මා.

" Thanks aiye. See u. Tc "

------------------------------------------------------------------


එදා අපි ගෙදර ආව ගමන් අම්මා ආපහු ඔෆිස් ගියා. මම ඇඳුම් මාරු කරලා වොෂ් එකක් දාගෙන ඇඳට වැටුනේ ටිකක් නිදාගන්න. ඒත් ෆෝන් එක රිං වෙන්න ගත්තා එක දිගටම. " සචී අයියා "

" හෙලෝ.."

" මට තමුසෙත් එක්ක විසඳ ගන්න ලොකු අවුලක් තියෙනවා. දැන්ම එනවා අපේ ගෙදරට " සචී අයියා කවදාවත් මේ තරම් සැරෙන් මට කතා කරලා නැහැ.

" මොකක්ද වෙලා තියෙන්නේ ? "

" මම පහුගිය දවස් තුන ඉවසගෙන හිටියේ ආපහු එනකම්. දැන්ම අපේ ගෙදට්ට එනවා හොඳ හිතින්.."

" ඔයා මට තර්ජනය කරනවද ? " මට ආවේ තරහක්. කිසිම වරදක් නොකර එක පාරටම මේ මනුස්සයා මගෙ ඇඟට කඩන් පනින කොට 

" තමුසෙට ඕන විදිහක් හිතා ගෙන දැන්ම එනවා "

" මට බෑ ! කියන්න තියෙන්නෙ දෙයක් ෆෝන් එකෙන් කියන්න. නැත්තම් ඔයා මෙහෙට එන්න.."

" ලහිරු.. ලහිරු.. මම මේ හොඳින් කියන්නේ.. ඔයා දැන් මෙහෙ එන්නම ඕන ! "

" ආවේ නැත්නම් ? "

" ආවේ නැත්නම් මම දන්නවා ගෙන්න ගන්න ඕන හැටි "

" එහෙනම් ගෙන්න ගෙන බලමු.." මම එහෙම කියලා ෆෝන් එක කට් කලා. 

සචී අයියා ආපහු දිගින් දිගටම කෝල් කරද්දි මම ෆෝන් එක ඕෆ් කරල දැම්මා. ඊට පස්සේ ගෙදර ෆෝන් එක වදින්න පටන් ගත්තා. ගොඩක් වෙලා රින්ස් ගියත් අයියා ෆෝන් එක ආන්සර් කලේ නැත්තේ නිදි නිසා වෙන්න ඇති. මම ඕන එකක් කියලා ෆෝන් එකට ගියා.

" හෙලෝ.."

" ලහිරු...! ! මගේ මාරයා අවුස්සන්නේ නැතිව එනවද ? මේක ෆෝන් එකෙන් කතා කරලා විසඳගන්න පුළුවන් දෙයක් වුනා නම් මම කියනවා.. ප්ලීස්.. දැන්ම එන්න "

" හරි මම එන්නම්. ඒත් මට ඔයත් එක්ක රණ්ඩු වෙන්න බැහැ, මට රණ්ඩු වෙන්න ඕනෙත් නැහැ, ඒක නිසා ප්ලීස්, දෙයියන්ගේ නාමෙට මාත් එක්ක රණ්ඩුවක් අල්ලන්න හිතන් ඉන්නව නම් කරුණාකරලා දැන්ම කියන්න මම නෑවිත් ඉන්නම් " මම බොහොම තදින් ඒ ටික කිව්වා

" නැහැ මට රණ්ඩු වෙන්න දෙයක් නැහැ, ඔයා එන්න.. එනවද ? "

" OK මම එන්නම්.."

මොකක් වෙන්න යනවද කියලා තේරෙන්නේ නැතුව, අවුල් වුන හිතින් මම ඇඳුමක් දාගන්න රූම් එකට ගියා.



"සීත සෘතුවකට වෙලා
මිය යන්න නම් එපා
පෙම් කවක් ලියන්න ආසයි මට තවත්
සෘතුවක් ඇතත් නැතත්
හුස්ම ලන මගේ සිතුම්
පණ ගසයි ඔබේ දෙපා මුල වැටී 




Thursday, September 13, 2012

Chapter 39 - "මායා පෑ නෙත්..."


ඊලග සතිය අපේ ගෙදරට උදාවුනේ වැඩ ගොඩක් එක්ක. වෙඩින් එකට කුරුණෑගල යන්න තියෙන නිසා අපේ අම්මයි ශ්‍රීමතී ආන්ටියි දෙන්නා අපි තුන් දෙනාව අරගෙන ෂොපින් ගියා. ඒක මට මහා වදයක් උනත් මම මොකුත් නොකියා හිටියේ අම්මගෙයි අයියගෙයි සතුට වෙනුවෙන්. අපිත් එක්ක ශොපින් ආවත් සචී අයියා නම් නිතරම කලේ Phone එක ඔබ ඔබ ශාලිකා එක්ක text කරපු එක. එයාට අවට ලෝකය ගැන සිහියක් තිබුණේ නැති තරම්.

වෙඩින් එකට දවස් දෙකකට කලින් අපි කුරුණෑගල අම්මලාගේ මහ ගෙදරට ආවා. දැන් එහෙ ජීවත් වෙන්නේ මාමයි, නැන්දයි, සුදු අක්කයි, අපේ කිරි අම්මයි, ඒ කියන්නේ අම්මගේ අම්මා. අපි පොඩි කාලෙ ඉඳන් එයාට කතා කලේ කිරි අම්මා කියලා. 

කුරුණෑගල ආවේ අවුරුදු තුනකින් විතර. මාමලා අපිව බලන්න කොළඹ ආවත් අපිට එහෙ යන්න වෙලාවක් තිබුනෙ නැති තරම්. අම්මා නිතරම හිටියේ බිස්නස් එකත් එක්ක හැප්පි හැප්පි. ඒක නිසා එයා වැඩිය කුරුණෑගල ගියේ නැහැ. ඉතින් අයියයි මමයි යැවුනෙත් නැහැ. ඒත් ඒ මිනිස්සු අපිට හරිම ආදරෙයි.

වෑන් එකෙන් බහිද්දිම කිරි අම්මා ඉස්සරහට දුවගෙන ඇවිත් අයියවයි මාවයි බදාගෙන මූහුණ ඉම්බා. කිරි අම්මා එදා වගේමයි. තවමත් ලස්සනයි. බෝරිච්චි අත් තියෙන හැට්ටයක් ඇඳලා. කපු රෙද්දෙන් මහපු ඔසරිය ඇඳලා. කොණ්ඩ ගුලිය වගේ ගැට ගහලා, කිරි අම්මලා ළඟින් එන්නේ එදා ආපු ඒ ආදරණීය සුවඳමයි. මම ටිකක් වෙලා ඒ උණුහුමට තුරුලුවෙලාම හිටියේ ඒ ආදරයේ සුවඳ විඳගන්න.

" මයේ කොල්ලෝ දෙන්නා උස් මහත් වෙලා දැන්, තාත්තගේ ආරෙට කොල්ලෝ දෙන්නම ගිහින් තියෙන්නේ.."
කිරි අම්මා අයියවයි, මාවයි දෙපැත්තෙන් තුරුළු කරගෙන කියනවා.

" ඔව් ඉතින් මුන් දෙන්නා කවද්ද මගේ ආරෙට ගියේ.." අම්මා එහෙම කියලා අපිට හින්ට් එකක් ගැහුවා.

" එහෙම කියන්න එපා මයේ කොල්ලෝ දෙන්නට.. අම්මා වගේ හිතුවක්කාර උනානම් යසට හිටී.."
කිරි අම්මත් අනිත් පැත්තට කියනවා. එයා නිතරම කිව්වේ අපේ අම්මා හිතුවක්කාරයි කියලා. අම්මා කියනවා මට මතකයි... කිරි අම්මා, මාමටයි අම්මටයි වඩා අපේ තාත්තට ආදරෙයිලු.

වාසනා නැන්දයි, සුදු අක්කියි දෙන්නම දුවගෙන ඇවිත් අපේ සද්දේ ඇහිලා. සුදු අක්කා තමයි මාමගේ එකම දුව. අපි ආවේ එයාගේ වෙඩින් එකට. ඒ දෙන්නත් අම්මවයි, මාවයි, අයියවයි බදාගෙන. හැමෝටම ගොඩක් සතුටුයි
ශ්‍රීමති ආන්ටියි, සචින්ත අයියයි වෑන් එකෙන් බැස්සේ අන්තිමට

" අනේ ශ්‍රීමතී කෙල්ල.. දැක්ක කලක්.. මයේ පුතේ කොහොමද ඉතින්.."
කිරිඅම්මා සචින්ත අයියව දැකලා පුදුමවෙලා. හැමෝගෙම ඇස් වල සතුටු කඳුලු. සචී අයියගේ ඔලුව අත ගාලා එයාගෙත් මුහුණ ඉම්බා. සචි අයියා ඉන්නේ නිකන් අකමැත්තෙන් වගේ. මට තරහත් ගියා.

" අම්මා නම් ඉස්සර වගේමයි, තවම ලස්සනයි.."
මම කියන්න හිත හිත හිටපු දේ ශ්‍රීමති ආන්ටි කිව්වා.

" වයසක මගේ මොන ලස්සනද පුතේ.. එන්නකෝ ගෙට ඉතින්... ඕවා පස්සේ ගන්න බැරියැයි.."

" කෝ නංගි, අපේ මල්ලි පේන්න නැත්තේ ? " අම්මා ඇහුවේ වාසනා නැන්දගෙන්

" එයා ගියා අක්කේ පෝරුව හදන ළමයින්ව එක්ක එන්න. එන්නකෝ ඉතින් ගෙට.. මහන්සිත් ඇතිනේ "

වාසනා නැන්දයි සුදු අක්කයි අපේ අම්මගේ දෙපැත්තෙන් කරට අත දාගෙන. පවුලේ හැමෝම එකතු වෙලා ඉද්දි කොයි තරම් ලස්සනද.. අනේ තාත්තත් හිටියනම් කියලා මට හිතුණා. සචී අයියට කෝල් එකක් ඇවිත් එළියට ගියා. මමයි අයියයි එක ලඟ පුටු දෙකක වාඩි වුණා.

" මොකද බං අරූට වෙලා තියෙන්නේ ? ඕන වෙලාවක බැලුවොත් ෆෝන් එකේමයි. අම්මත් ඇහුවා මොකද කියලා.." අයියා අහනවා

" උන්ගේ අම්මට අවුලක් නැත්නම් අපිට මොකද බන්.." මම හිනා වෙලා එහෙම කිව්වම අයියා බලන් ඉන්නවා මගේ දිහා.

" ඒකත් ඇත්ත. උඹට මම ඉන්නවනේ ඌ නැති වුණාට.." අයියා මගේ ඔළුව අතගාලා කිව්වම මගේ පපුව ඇතුලෙන් ලොකු වේදනාවක් එක්ක ඇස් වලට කඳුළු බිංදුවක් ඉනුවා.

අපි වොශ් එකක් දාගෙන ඇඳුම් මාරුකරලත් ඉවර උනාට පස්සේ තමයි සචී අයියා ෆෝන් කෝල් එක ඉවරවෙලා ආවේ. අයියයි අම්මයි දෙන්නට දීලා තිබුනේ එක රූම් එකක්. සචී අයියට ශ්‍රීමති ආන්ටි එක්ක වෙනම රූම් එකක්. සචී අයියගේ නම් මුහුණ අප්සට් වෙච්ච වැඩේට. ඒත් ඒක ගැන මම සතුටු වුණා හිතේ යටින්. මට සචී අයියත් එක්ක තනි වෙන්න උවමනාවක් තිබුනේ නැහැ. මම ඒකට බය උනා. ඒ ඇයි කියලා මම දන්නේ නැහැ..

අයියයි, මමයි ගෙදරින් පිටට ඇවිත් වත්තේ ටිකක් ඇවිද්දා. අපි දෙන්නගේ වයසේ කවුරුත් හිටියේ නැහැ. තවම ගෙදරට වැඩිය නෑදෑයෝ ඇවිත් නැහැ. හෙට තමයි ගොඩක් අය එන්න ඉන්නේ. මමයි අයියයි වත්තේ ඇවිදිනකොට සචී අයියගෙන් SMS එකක් ආවා.

" මොකද මාව මග හරින්නේ ? මාව එපා වෙලාද ? "
මම ඒ මැසේජ් එක ඩිලීට් කරලා නිකන් හිටියා. රිප්ලයි කරන්නවත් දෙයක් හිතට එන්නේ නැහැ. ටිකකින් ආපහු මැසේජ් එකක්.

" දැන් රිප්ලයි කරන්නත් බැහැ නේද ? කමක් නැහැ " කමක් නැහැ කියලා මම දන්නවා සචී අයියේ.. මම හිතුවට ඒක කිව්වේ නැහැ. මගේ ඇඟට නිකන් අසනීප ගතියක් දැනෙන්න වුණා. කොච්චර හිත තද කරගෙන ඉන්න හැදුවත් ඒක කරන්න ඉඩ දෙන්නේ නැත්තේ ඇයි...

මාමා ආවේ හවස පහට විතර. මාමා ජීප් එකෙන් බැස්සේ හිනා වීගෙනමයි.

" පුතාලා ඇවිත් හුග වෙලාද ? මම ගියා පුතේ පෝරුව හදන්න කට්ටිය එක්ක එන්න.."

මාමා අපි දෙන්නගේ කරට අත දාගෙන ලං කර ගත්තා. මාමට පුත්තු නැති නිසා අයියටයි මටයි ඉස්සර ඉඳන්ම හරිම ආදරෙයි. මාමත් එක්ක පිටිපස්සෙන් ආපු වෑන් එකේ කට්ටිය බැහැලා, පෝරුව හදන්න ගෙනාපු බඩු බිමට බාන්න පටන් ගත්තා. එතැන හිටපු සුදු පිරිමි ළමයෙක් අපි ළඟට ආවා.

" මේ ඉන්නේ උදාර. සුදු අක්කා මැරි කරන්නේ මෙයාව තමයි. පුතේ මේ ඉන්නේ මගේ අක්කගේ පුතාලා දෙන්නා. මීට කලින් හම්බ වෙලා එහෙම නැහැනේ

" හෙලෝ මල්ලිලා... කොහොමද ? සුදු අක්කා මට ඔයාලා ගැන කියලා තියෙනවා.."

" අපිත් අයියා ගැන අහල තියෙනවා අයියේ. ෆොටෝස් එහෙම දැකලා තියෙනවා ෆේස්බුක් එකේ "
අයියයි මමයි උදාර අයියා එක්ක ඉක්මනට යාළු වුණා.

" අනේ ඔයා ආවද ? " සුදු අක්කා එහෙම අහගෙන ඉස්සරහට ආවා. අක්කගෙත් යාලුවෝ දෙන්නෙක් ඇවිත්. උන් දෙන්නම මම දැක්කේ දැන්

" ඔන්න සුදු අද ඔයාලට නිදා ගන්න බැහැ, පෝරුව ගහන්න රෑ එළිවෙනකම් ඇහැරිලා ඉන්න වෙනවා.. පැයෙන් පැයටට මුන්ට කන්න බොන්න දෙන්න වෙයි. නැත්නම් මුන් බෑ කියලා ගෙදර යයි.."

උදාර අයියා එහෙම කිව්වම අපිත් හැරිලා බැලුවා. පෝරුව ගහන්න ඇවිල්ල හිටියේ උදාර අයියගේ යාළුවො තුන් දෙනෙක්.

ඒ තුන් දෙනා අතර දෙපාරක් බලන්න හිතෙන විශේෂ මුහුණක් තිබුණා. කොහේදී හරි දැකල පුරුදු ඒත් හිතා ගන්න බැරි මුහුණ.. කවුද ඒ..? මම බලද්දි ඒ ඇස් තිබුනේ මගේ දිහාවේ. මම ඉක්මනට බිම බලාගත්තා. ආයෙත් බලන්න හිතුනත් මම ඒ ඇස් දෙක මගහැරියා. ඒ ඇයි කියලා මම වත් දන්නේ නැහැ. අවුරුදු 20- 21 විතර ඇති. තලෙලුයි. මගේ උස මහත වගේ. හිනාවෙන ඇස් දෙකක් තිබුනේ.

" ඔන්න මල්ලි ඔයාලා ගෙනුත් සප් එකක් ඕන " උදාර අයියා අපි දෙන්නට කිව්වා.

" අක්කා ඇහැරිලා ඉන්නවද අක්කේ ? " මම සුදු අක්කගෙන් ඇහුවා

" පිස්සුද මල්ලි, මෙන්න මෙයාලට කන්න බොන්න ටික තියලා අපි ගිහින් නිදා ගමු " අක්කත් මගේ කරට අත දාගෙන කියනවා

" ඔන්න එහෙනම් ඔය නිදාගත්තොත් සුදු, ඔයාට පෝරුවක් නැහැ කසාද බඳින්න "

" මටනම් පෝරුවක් ඕන නැහැ.." සුදු අක්කා කියද්දී මට බකස් ගාලා හිනා ගියා.

" තමුසේ මොකද ? " අක්කා මට ඇඟිල්ලෙන් අනිනවා

" පෝරුව නැත්නම් තමුසෙලා දෙන්නා පැනලා යන්න ද හිටියේ ? "

මම ඇහුවම කොල්ලො කට්ටියටම හිනා. අක්කා මට ගහන්න පස්සෙන් එලෙව්වා. මම දුවලා ගියා කිරි අම්මා ළඟට..

" මොකද මොකද මේ.." කිරි අම්මා අහනවා

" අනේ කිරි අම්මේ මේ බලන්න මේ සුදු අක්කා "

" බලන්න කිරි අම්මේ, මූ මාව කොල්ලෝ කට්ටිය ඉස්සරහා පල් කලා.."
සුදු අක්කා මට ගහන්න එහාට පනිනවා මෙහාට පනිනවා, මම කිරි අම්මා පිටිපස්සේ..

" මයේ කොල්ලට ඉන්න දීපන්, හෙට අනිද්දා කසාදෙක යන්න ඉන්න ලමිස්සියක් මෙහෙම දඟලනවද කොල්ලොත් එක්ක.." කිරි අම්මා මාව බේර ගත්තා

" තමුසේ අහුවෙනවකෝ මට.." අක්කා එහෙම කියලා යන්න ගියා

මේ හැම දෙයක්ම සිද්ද වෙද්දි සචීඅයියා කාමරයට වෙලා හිටියෙ නිකන් අමුත්‍තෙක් වගේ, ෆෝන් එක ඔබ ඔබ එයාගෙම ලෝකේ. මම කිරි අම්මා එක්ක කුස්සියට ගියා. අම්මයි ශ්‍රීමති ආන්ටි දෙන්නා බරටම වැඩ

" පුතේ උදාර අයියලා ඇවිල්ලද ? " වාසනා නැන්දා ඇහුවේ මගෙන්

" ඔව් නැද්දේ තව යාළුවෝ හතර 4- 5 දෙනෙකුත් ඇවිල්ලා පෝරුව හදන්න.

" පුතේ මේ බීම ටික ගිහින් අල්ලනවද අයියලට, මේ කෙල්ලෝ හිටියට කිසි වැඩක් නැහැ. ඔයාලා තුන් දෙනාටත් එක්ක තියෙනවා."

" ආහ්.. කමක් නැහැ නැද්දේ, කෝ දෙන්න "
මම බීම වීදුරු තියපු ට්‍රේ එකත් අරන් සාලෙට යද්දී කට්ටිය පෝරුව ගහන්න ඕන කරන දේවල් ගේ ඇතුලට අරන් එනවා. කෙල්ලෝ තුන් දෙනත් කොල්ලෝ ටිකත් එක්ක වැඩ.

මම බීම අල්ලනකොට ඒ ඇස් ආපහු වගේ ඇස් වලට හමු වුණා. මම බිම බලා ගත්තා. අමුතු හැඟීමක් මගේ හිතට ඇවිල්ලා. මම ඔක්කෝටම බීම අල්ලලා ඉතුරු වීදුරු දෙකත් අරන් සචී අයියා ඉන්න රූම් එකට ගියා.
එයා බෙඩ් එක උඩට වෙලා ෆෝන් එකෙන් බර කතාවක්. මම මූහුණවත් නොබලා බීම වීදුරුවක් ටේබල් එක උඩ තිබ්බා. සචී අයියා ෆෝන් එක පැත්තකට කරලා මට කතා කලා.

" ලහිරු, ටිකක් ඉන්න.. බබා මම තව චුට්ටකින් ඔයාට ගන්නම් හොඳද.." මම නැවතිලා එයාගේ පැත්තට හැරුනා

" ඇයි මාව මග අරින්නේ ? " එයා මගේ අත් දෙකෙන් අල්ල ගත්තා.

" මම ඔයාව මග හැරියේ නැහැ සචී අයියේ, ඔයානේ ආපු වෙලාවේ ඉඳන් අපිව මග ඇරලා ඉන්නේ. එලියේ කට්ටිය වැඩ, පොඩ්ඩක් ඇවිත් උදව් වෙන්න. මේක පිට තැනක් නෙවෙයිනේ " මම ඒ අත් දෙකෙන් මගේ අත් ගලවලා ගන්න ගමන් කිව්වා.

" ඒ උනාට මට නිකන් මොකක්ද වගේ, කාවවත් අඳුරන්නේ නැහැනේ.."

" අදුරන්නේ නැත්තේ මොකද ? මේ අපේ පවුල. ඔයාගේ අම්මා පොඩි කාලේ ඉඳන් ආව ගිය තැනක් "

" ඔයා කොහොමද දන්නේ ? "

" අපේ අම්මා තමයි කිව්වේ. ඒකෙන් වැඩක් නැහැ, බීම එක බීලා ඇවිත් පොඩ්ඩක් කට්ටියත් එක්ක මූව් වෙලා වැඩ කරන්න උදව් වෙන්න. මේ මිනිස්සු හරිම හොඳයි " 




" හරි මල්ලි, චුට්ටක් ලඟට එන්නකෝ.." සචී අයියා මාව ලඟට ඇදලා මගේ මූහුණට කිස් එකක් දෙන්න හැදුවත් මම එයාව වැලැක්වූවා.

" මට වැඩ තියෙනවා අයියේ, අනික කවුරු හරි ආවොත්.." මම එහෙම කියලා මගේ බීම එකත් අරන් ආපහු සාලෙට ආවා.

" ලහිරු මලේ, මේ වීදුරු ටික ගෙනියනවද තරහ නැතිව.."
උදාර අයියා කියනවා

" දෙන්න අයියේ "

මම හැමෝගෙම වීදුරු ටික එකතු කලා. අරයා තවම බිම වාඩිවෙලා බීම එක බොනවා, පොඩි එකෙක් වගේ. මම එයා දිහා බැලුවම මගේ දිහාවට වීදුරුව දික් කරලා හිනා වුනා. හිනා වෙද්දි කම්මුල් වල ගැහෙනවා.

" බීලා ඉවර වෙලා දෙන්න අයියේ.." මම හිමීට කිව්වා

" ඇති මල්ලි.."
" මොකද බන් මණිල්​ක..? උඹට ඩයබිටික් ද ? " උදාර අයියා එයාට විහිලුවක් කලා.

මණිල්​ක.... අමුතු නමක්. මටත් මේ මොන විකාරයක් හිතෙනවද ? මම එහෙමම එයාගේ බාගෙට බීලා තිබුණ බීම වීදුරුවත් අරන් ආපහු කිචන් එක පැත්තට ගියා. සචී අයියත් කාමරයේ ඉදන් එළියට ආවේ එතකොට.

" සාලේ අයියා ඉන්නවා.. යන්න.." මම එහෙම කියලා කිචන් එකට ගියා.

මම ආපහු එද්දි සචී අයියා සාලේ පුටුවක් උඩ වාඩි වෙලා මහත්තයා වගේ ෆෝන් එක ඔබනවා. අනිත් කට්ටිය බරටම වැඩ. අපේ අයියයි උදාර අයියයි පෝරුවේ කොටස් එකතු කරනවා. මණිල්​ක අයියා තමයි උපදෙස් දෙන්නේ. මෙහෙම කරන්න, මේක මෙතනට, එහෙම කිය කිය. එයා තමයි පෝරුවේ ඩිසයිනර් කියලා මට තේරුනේ සුදු අක්කා කියපු කතාවකින්.

" මණිල්​ක මල්ලිගේ අයිඩියාස් නරකම නැහැ නේද ? මට මැවිලා පේනවා අනිද්දා උදේට මම මේ පෝරුවේ නැගලා ඉන්නවා.." සුදු අක්කා ආසාවෙන් කියනවා 

" ඔයා විතරද පෝරුවට නඟින්නේ ? හි..හී.." මම ආපහු සුදු අක්කව බයිට් කරන්න ගත්තා.

" අනේ මේ මම තමුසෙට කියන්නේ නැහැ " සුදු අක්කා කියද්දිම උදාර අයියා කතා කලා

" සුදූ, ලහිරු මල්ලී, වෑන් එකේ මැටි කල ටිකක් ඇති අරන් එන්න දෙන්නම. උදාර අයියා අපිට කියනවා

" ඉන්න මල්ලි ඔයාලට තනියෙන් ගේන්න බැහැ.." එහෙම කියලා මණිල්​ක අයියත් අපිත් එක්ක එළියට ආවා.

" ආ.. මේ දෙක ඔයා ගෙනියන්න සුදු අක්කේ, මල්ලියි මමයි ඉතුරු ටික අරන් එන්නම් " මණිල්​ක අයියා සුදු අක්කට මැටි කළ දෙකක් දීලා කිව්වා. සුදු අක්කා ඒ දෙකත් අරන් පැද්දි පැද්දි යනවා අපි දෙන්නා බලන් හිටියා. එක පාරටම මණිල්​ක අයියා මගේ මූහුණ දිහා බලලා හිනා උනා. මම හිනාවෙලා බිම බලාගත්තා ඉක්මනට

" මල්ලි Weights කරනවද ? " මණිල්​ක අයියා මගෙන් අහනවා

" නැහැ අයියේ.." මම එක පාරටම එයාගේ මුහුණ දිහා බැලුවා

" එහෙම නම් මෙච්චර ඉදිමිලා තියෙන්නේ මොකද ? "

" මොනවද ? "

" ඔයාගේ අත පය තමයි, හි.. හී.."

මගේ ඇඳන් හිටපු ටී ෂර්ට් එක ටිකක් හිරයි කියලා මට තේරුනේ එතකොට

" හි.. හී.. ෆුට්බෝල් ප්ලේ කරනවා ස්කූල් එකේ.."

" ආ... ඒක තමයි. දැන් කීය වසරෙද ? "

" 12, 2012 A/L "

" ම්ම්ම් මම 2010 A/L " මම හිතුවා හරි, වැඩි වයසක් නැහැ

" ඔයා මොනවද කරන්නේ කොමස් ද ? "

" නැහැ මැත්ස්.. අයියා නං ආට්ස් වෙන්න ඇතිනේ ? "

" නැහැ මම කලේ කොමර්ස්.. ඇයි එහෙම ඇහුවේ ? "

" නිකන් ඔයා මේ පෝරු හදන බිස්නස් එකක් කරන නිසා "

" හා..හා.. මම බිස්නස් එකට නෙමේ කරන්නේ, ආසාවට. උදාර අයියා අපේ අයියගේ හොඳම යාලුවා ඒකයි "

" කවුද අයියා ? "

" අර නිල් ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ, අන්න එයා "
මණිල්​ක අයියා පොඩි එකෙක් වගේ අත දික් කරලා පෙන්නනවා

මම එයාගේ අයියා දිහා බලලා ආපහු මණිල්​ක අයියා දිහා බැලුවා. දෙන්න හරිම වෙනස්

" ඔයයි ඔයාගෙ අයියයි වගේ නැහැ නේද ? අපි දෙන්නා දෙවිදියක් "

" හැමෝම එක වගේ වෙන්නේ නැහැනේ, අයියා දැන් ජොබ් එකක් කරනවද ? "

" නැහැ මල්ලි මම බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරනවා "

අපි දෙන්නා කතා කර ගේ ඇතුළට ආවා ඉතුරු බඩු ටිකත් අරන්. සචී අයියා මගේ දිහා ඔරවගෙන ඉන්නවා මම ඈතදීම දැක්කා. මම ගණන් ගන්නේ නැතිව මගේ පාඩුවේ හිටියා. ටිකකින් එනවා SMS එකක්.

" මොනවද අරුත් එක්ක ඔච්චර කතාව.." ඒක දැක්කම මට මාරයා වැහුණා

" මොකක් උනාම ඔයාට මොකද ? " මම රිප්ලයි කලා

" මම කැමති නැහැ "

" ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි ! ! ! "

මම රිප්ලයි කරලා ෆෝන් එක සාක්කුවේ දාගත්තා. මම සචී අයියගේ පැත්තවත් බැලුවේ නැහැ. ටික ටික රෑ වුනා. සචී අයියා වැඩිපුර එළියට ආවේ නැහැ. අයියත් සැරින් සැරේ ගිහින් එයාට කතා කලත් එයා ආවේ නැහැ. ඒක නිසා අපි එයාට කරදර කරන්න ගියේ නැහැ. මණිල්​ක අයියා දිහා තමයි හැමෝම බලන්නේ. හරිම පිළිවෙලට වැඩ. එයා හිමීට හිමීට තීන්ත ගානවා පෝරුවේ.

" ඔයාට වැඩක් දෙන්නද ? " එක පාරටම මණිල්​ක අයියා මගෙන් ඇහුවා. මාව ගැස්සුනේ මම එයා දිහාම බලාගෙන ලොකු කල්පනාවක හිටපු නිසා. මම හිනා වෙලා ඔලුව වැනුවා.

" තීන්ත ගාන්න දන්නවද ? " මණිල්​ක අයියා අහද්දි අපේ අයියත් මගේ දිහා බලලා හිනාවුණා.

" පොඩි කාලේ වෝටර් කලර්ස් වලින් නම් ගාලා තියෙනවා " මම කිව්වා.

" මෙන්න මේ පින්සලෙන් මේ මුට්ටි වල ගෝල්ඩ් කලර් එක ගාන්න. හදිස්සියක් නැහැ හිමින් කරන්න "
එයා මට මුට්ටි ටික පෙන්නලා කිව්වා. මම එයා ගාවින්ම බිම වාඩි වෙලා තීන්ත ගාන්න පටන් ගත්තා. අපේ අයියත් ලීයක පේන්ට් කරනවා. අනිත් කොල්ලෝ කට්ටිය වෙන වෙන වැඩ. ටික වෙලාවකින් සචී අයියා එතැනට ඇවිත් පුටුවක වාඩි වුණා.

" මචං මොකද කියන්නේ ගාමුද තීන්ත ? " අපේ අයියා සචී අයියගෙන් ඇහුවේ ඇහැක් ගහලා

" උඹට මහන්සි නම් දීපන් මම ගාන්නම් ටිකක් "

" ටිකක් ගාලා හරි යන්නේ නැහැ බන්, ඔක්කොම ගාන්න ඕන " අයියා එහෙම කියලා දිගටම පේන්ට් එක ගානවා.

" මල්ලි බිම වාඩි වෙලා ගාන්න අමාරුද ? " මණිල්​ක අයියා අහනවා

" නැහැ අයියේ, අවුලක් නැහැ.."

" අමාරු නම් තියන්න හොඳද, මම මේක ඉවර වෙලා ගාන්නම්.." එයාගෙ හිනාව නම් කතා කරද්දිත් ඒ විදිහමයි. පැයකින් විතර සේරම පාට කරන වැඩ ටික ඉවර වුනා.

" ඉස්සෙල්ලා ඇහුවා නේද පෝරුව හදන්න කල් වැඩි නැද්ද කියලා, මේ තීන්ත ටික වේලෙන්න හෙට උදේවත් වෙනවා. ඉතින් කොහොමද හෙට පෝරුව හදන්න තියා ගත්තා නම් ? ම්ම් ? " මණිල්​ක අයියා මගේ දිහා බලන් කියද්දි මම හිනා වෙවී අහන් හිටියා. 

මම නැගිටලා එලියේ තියන ටැප් එක ගාවට ගියා අත් සෝදා ගන්න. වත්ත පුරාම බල්බ් වැල් එල්ලලා, හරිම ලස්සනයි. වෙසක් දවසක් වගේ හිතට පුදුමාකාර හැඟීමක් දැනෙන්න පටන් අරන්. මම ටැප් එක ළඟ තිබුණු බේසමකට වතුර එකක් පුරවලා ඒක දිහා ටිකක් වෙලා බලන් හිටියා. සචී අයියා මේ තරම් වෙනස් වුනේ කොහොමද ? එයා හැසිරෙන්නේ හරියට අපිව අඳුරන්නේ නෑ වගේ. පිට මිනිස්සු වෙලත් උදාර අයියා, මානිල්ක අයියා, එයාලගේ යාලුවෝ අපිත් එක්ක කොච්චර එකතු වුනාද ? යාලු වුනාද ? ඇයි සචී අයියා මේ තරම් වෙනස් වෙලා ? 

" බේසමට තරු වැටිලා නේද ? "එහෙම අහගෙන එතැනට ආවේ මණිල්​ක අයියා

" මොන තරුද ? " මම ඇහුවා.

" අර තියෙන තරු.. අහසේ... හඳ මෙතන.." එයා අහසට ඇඟිල්ල දික් කරලා ආපහු මගේ දිහාවට දික් කලා. මම මොකුත් නොකියා බලන් හිටියා.

" මූණ හෝදන්නද ආවේ ? " මම ටිකකින් ඇහුවා

" ඔව් අත් වල තීන්ත.." එයා පොඩි එකෙක් වගේ අත් දෙක මට දික් කලා

" ඉන්න මම සබන් කෑල්ලක් අරන් එන්නම් " මම ආපහු ගේ ඇතුලට යන්න හැරුනා

" මේ සඳ.. ටවල් එකකුත් අරන් එන්න.." මණිල්​ක අයියා කියද්දි මම අමාරුවෙන් හිනාව තදකරගත්තා.

" සඳ මම නෙවේ, අපේ අයියා.. එයා සඳරු.."

" ඔයා ලහිරුනේ.. මට අමතක උනා, අවුලක් නැහැ, සඳ වගේද හිරු නේ ? " මේකාගේ කටට කොහෙන් එනවද මන්දා මේවා

මම ආපහු ගේ ඇතුලට ඇවිත් සබන් කෑල්ලයි, ටවල් එකයි අරගෙන ආපහු ටැප් එක ගාවට ආවා. මම සබන් කෑල්ල එයාගේ අතට දීලා ටවල් එක උරහිසට දාගත්ත.

" දැන් පෝරු කීයක් විතර හදලා තියෙනවද ? "

" වැඩිය නැහැ 7- 8ක් වගේ "

" කොහොමද පෝරු හදන්න ඉගෙන ගත්තේ ? "

" ඉස්සර ඉඳන්ම ආසයි ක්‍රියේටිව් වැඩ වලට. ඒක නිසා ටික ටික මේ පැත්තට ඒවුනා.."

" ම්ම්.. සංසාර පුරුද්ද වෙන්න ඇති.." මම කිව්වා නෙමේ කියවුනා

" හැමෝටම සංසාර පුරුදු තියෙනවද ? " මණිල්​ක අයියා මගේ ඇස් වලට එබුනේ සචින්ත අයියා ඉස්සර කරනවා වගේමයි.

" ඔව්.. තියනවා.." මම හිමීට වචන එකතු කලා

" සමහරවිට වෙන්න ඇති. සමහර අයට කෙනෙක්ව දැක්කම හරියට හුරු පුරුදු ගතියක් දැනෙනවා.. ගිය ආත්මයේ එකට හිටපු පුරුද්ද වෙන්න ඇති නේද ? " එයා මගේ දිහා බලාගෙන ඇහුවේ හරි කල්පනාවකින්

" ම්ම්ම්... වෙන්න පුළුවන්.."

" රාමයි, සීතයි වගේ.."

එයා එහෙම කියලා මගේ කරේ තිබුන ටවල් එක ගත්තේ අහන්නෙවත් නැතුව.
මමත් පහත් වෙලා මුහුණ සෝදන්න පටන් ගත්තා. ටික වෙලාවකින් අපේ අයියයි, අනිත් අයියලයිත් එතැනට ආවා. ඒයාලා ඇවිත් මුහුණ අතපය සෝද ගන්න පටන් ගත්තා. මණිල්​ක අයියා මගේ ටවල් එකත් අරන් ගෙදර පැත්තට ගියා. මම දුවලා එයාගේ පස්සෙන් ගියේ ටවල් එක ඉල්ල ගන්න.

" ටවල් එක දීලා යන්නේ පොලිසියෙන්ද ? " මම දුවලා ගිහින් මණිල්​ක අයියගේ අතින් ටවල් එක ගත්තා.

" ආහ්.. නොදී යන්න හැදුවේ, කාගෙද ටවල් එක ඔයාගේ නේ ? "

" ඔව් "

" මට හිතුනා.."

" ම්ම්ම්... ඒ කොහොමද? "

" මට ආවා බේබි කොලෝන් සුවඳක්.." එයා එහෙම කියලා හිනා වුණා.

මණිල්​ක අයියා මගේ හිතට බලෙන් ඇතුළු වෙන්න හදනවාදෝ කියලා මට හිතුනා. ඒත් මට එහෙම ඕන වුණේ නැහැ. හැබැයි අවංකවම මම ඒ අහිංසක කොල්ලට කැමතියි. කිසිම ආඩම්බර කමක් නැති බොරු විච්චූරණ නැති සරල අහිංසක කොල්ලෙක් නිසා. ඒත් සචී අයියට මම අදටත් ආදරෙයි. මැරෙනකන් ආදරය කරයි. එය බෙදුවා වගේ මගේ හිත තවත් කෙනෙක්ට නම් මම බෙදන්නේ නෑ... නෑමයි. මම එහෙම හිතාගෙන මණිල්​ක අයියගේ පස්සෙන් ගේ ඇතුලට ආවා.



"සඳක් වගේ ඔයා ඒ ටික කාලයේ 
සිහිලස මට පෙන්නුවා 
සැනෙකින් සැඟවී ගියා 
පණ මෙන් කල සෙනෙහේ සුවඳයි 
ජීවිතේ සමඟින් කෙරූ සරදම් කුරිරුයි.. 
දැන් පවා.. 

කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා 
වැඩි කාලයක් දුක් වින්දා 
ඒ කාලයේ ආදරේ කලේ 
මුලු හදවතින් නිසා විඳිමි වේදනා 
කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා.." 



Tuesday, September 11, 2012

Chapter 38 - "කඳුලු මගේ දැන් දුක නෑ..."

මේ ලෝකයේ හැමෝම ආදරයක් ප්‍රාර්ථනා කරනවා. අයිති කර ගන්න බැරි වුණත් හිතින් හරි ඒ ආදරය විඳින්න උත්සාහ කරනවා. ආදරයකට පුළුවන් ජීවිතයක් ජීවත් කරවන්න. ජීවිතයකට හීන ගෙනෙන ආදරයම ඒ හීන ආපහු ඉල්ලද්දී, හිතක් කොහොමද හීන දකින්නේ...? ජීවිතයට පාර පෙන්නපු ආදරය මුළු ජීවිතයම අතරමං කරලා දාලා යන්න යනවා නම් හිතක් කාගෙන් නම් පාර අහන්නද.. 


ඒ වගේම මගේ මුලු හිතම අතරමන් වෙලා. සිද්ද වෙන හැම දෙයක්ම මම දරා ගත්තේ ඉවසීමෙන්. හිත ඇතුලේ පත්තුවෙන ලොකු ගින්දරක් නොතිබුණා නෙවෙයි. ඒත් සචී අයියව මගේ ජීවිතෙන් ඈත් කරන්න මට පුළුවන් කමක් තිබුණේ නැහැ. එයා ආපහු ඉස්සර වගේම මට ආදරයෙන් කතා කරන්න පටන් ගත්තා. මගේ ගැන හොයලා බැලුවා, වෙනදටත් වඩා හොඳට. එයා ශාලිකාව මීට් වෙන්න යන හැම දවසකම මට කියලයි ගියේ. මම හිතින් සුබ පැතුවා, ඒ දෙන්නට හොඳින් ඉන්න ලැබෙන්න කියලා. මේ හැම දෙයක් දිහාම බලාගෙන තව කෙනෙක් හිටියා. ඒ මගේ අයියා සඳරු..

දවසක් මම ස්කූල් ගිහින් ඇවිත් ටීවී එක දාගෙන සූර පප්පා බලනවා. ඒ දවස් වල හවස 3.30 ට විතර තමයි ගියේ. මම බොරුවටත් එක්ක කෑ ගගහා හිනා වෙනවා ඒක බල බල. ඒ මම දුකින් ඉන්න වෙලාවට. ටික වෙලාවකින් අයියත් ඇවිත් මගේ ලඟින් වාඩි වුනා.

" මොකද බං බෙරිහන් දිදී හිනා වෙන්නේ ? "

" හිනා යනවනේ බන්, බලපන්කෝ.. සිරා කාටුන් එක, මම මේ බලන්නේ තුන්වෙනි සැරේට ද කොහෙද.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.. හි..හී..."

අයියා ලොකු හුස්මක් අරන් මගේ ඔලුවෙන් අත තිබ්බා. මම එහෙමම ටීවී එක දිහා බලන් හිටියා. අයියට තේරෙනවා ඇති සිද්ද වෙන හැම දෙයක්ම.

" උඹ දුකෙන් නේද ඉන්නේ ? " අයියා ඇහුවේ මගේ ඔලුව අත ගාන ගමන් 

" එහෙම දුකක් නැහැ බන්.. මම මොකට දුක් වෙන්නද ? " මම කිව්වේ බොරුවක් කියලා අපි දෙන්නම දන්නවා.

" ශාලිකා හොඳ කෙල්ලෙක් නෙමෙයි, මගේ කෙල්ලගේ හොඳම යාළුවෙක් උනත්. ශාලිකා කියන්නේ සචියට මැච් වෙන එකියක් නෙවේ. ඒකි නිලාන් එක්ක යාළු වෙලා හිටියා. ඊට පස්සේ සචියා එක්ක යාලු උනා. ආයෙත් නිලාන් එක්ක ටිකක් දවස් රෝන්දේ ගහලා දැන් ආයෙත් සචියගේ කරේ එල්ලිලා. සචියා රැවටිලා ඉන්නේ. අපිට මුකුත් ඇඩ්වයිස් එකක් දෙන්නත් බැහැනේ. සචියා අමුතු එකානේ ඉතින්. "

" ශාලිකාවත් සචී අයියවත් වැරදි නැහැ අයියේ. සිද්ද වෙන්න තියෙන දේවල් ඒ විදිහට සිද්ද වෙනවා.."

" උඹ ඔහොම දුකෙන් ඉද්දි මට බලන් ඉන්න බැහැ බං.."

" අයියේ.."

" මට කියන්න දීපන්.. උඹට මේ වැරැද්ද සිද්ද වෙන්න මමත් හවුල් කාරයෙක් කියලා වෙලාවකට මට හිතෙනවා... මමයි සචින්තව උඹට යාළු කරලා දුන්නේ ආපහු. ඒ විදිහටම එදා ඒව ඉවර වෙන්න දුන්න නම් අද මෙහෙම වෙන්නේ නැහැ.."

" අයියේ... උඹේ වරදක් නැහැ.. උඹවත්, මම වත්, සචී වත් අපි කවුරුත් වැරදි නැහැ. මේවා වෙන්න තියෙන දේවල් වෙන්න ඇති. මම ඉස්සෙල්ලත් කිව්වනේ..මේකට උඹ හිත අප්සෙට් කරගන්න ඕන නැහැ. මේ මම වගේ ෆන් එකේ හිටපන්.." මම අයියගේ කොණ්ඩ ගස් අවුල් කරලා හිනා වුනා.

" මොනවා වුනත් ශ්‍රීමතී ආන්ටි ශාලිකා වගේ කෙල්ලෙක්ට කවදාවත් කැමති වෙන්නේ නැහැ. ඒක මම දන්නවා. එකිගේ පිට ලස්සන විතරනේ තියෙන්නේ.." අයියා කියවගෙන යනවා 

" ඒවා ඒගොල්ලෝ බලා ගනියි අයියේ.. උඹ ඕව ට මොකුත් කියන්න යන්න එපා.. අනූ එක්කවත් සචී අයියා එක්කවත්. අපි තුන් දෙනා ඉස්සර හිටියා වගේ ඉමු. උඹයි මමයි අම්මයි.."

මම එහෙම කියද්දි මතක් උනේ අයියා තව ටික දවසකින් අපව දාලා රට යනවා කියලා. අයියා මගේ දිහා දුකෙන් වගේ බලන් ඉන්නවා.

" ඔහොම බලන්න එපා බන්.... මට අමතක උනා උඹ යනවා කියලා. ඒත්අ ටික කාලෙකටනෙ.අවුලක් නැහැ උඹ ගියාම අම්මයි මමයි ජොලියේ ඉන්නවා 😆😆😆 "

" පුළුවන්නම් මම උඹවයි අම්මවයිත් අරන් යන්නේ. මම උඹයි අම්මයි නැතුව ඉන්නේ කොහොමද ? "

" අනේ පල පල.. පුළුවන්නම් උඹ අනුව එක්ක යයි.. හි.. හී... "

" පුළුවන් නං ඒකිවත් අරන් යනවා තමයි ඩෝ.." අයියා එහෙම කියලා හිනා වෙනවා.

මම ටීවී එකත් ඕෆ් කරලා හිනා වෙවී රූම් එකට ආවා. සචී අයියා කෝල් කරලා. මම මොකද බලන්න ආපහු ගත්තා.

" හිරූ..."

" ආ.. සචී අයියේ.. ඔයා කෝල් කලාද ? "

" ඔව් පැටියෝ.. දැනුයි ආවේ.."

" ශාලිකාව මීට් වෙන්න ගියාද ? " මම හිතට එකඟව නොවුණත් ඇහුවා. අහන්න එක මගේ යුතුකම නිසා. 

" ඔව්.. දන්නවද මම අද ඇඳන් ගියේ ඔයා මට අරන් දීපු පින්ක් කලර් ෂර්ට් එක. ශාලි කියනවා ඒක සෑහෙන්න ලස්සනයිලු. මට ඉතින් කියන්න හිතුනා මගේ පැටියා තමයි අරන් දුන්නේ කියලා.."

මගෙ පපුව කීරි ගැහිලා ගියා. මම මොකුත් නොකියා බිම වාඩිවෙලා බෙඩ් එකට හේත්තු වුණා.

" පැටියෝ මොකද අද කලේ ? " සචී අයියා අහනවා.

" ස්කුල් ගිහින් අවිත් ටීවි බැලුවා. දැන් තමයි උඩට ආවේ. තාම යුනිෆෝම් එක පිටින්.. "
මම අමාරුවෙන් වචන ගලප ගත්තා.

" ආහ්.. ඒ මොකද ? වොෂ් එකක් දා ගන්නේ නැද්ද ? ඌරු පැටියා වගේ ඇති... හි.. හී... ඔයා කෑවද ? "
සචී අයියා ඉන්නේ අමුතුම සතුටකින්, මට ඒ සතුට ගැන ඉරිසියාවක් නැහැ. එයා සතුටින් ඉන්නව නම් ඒක මගෙත් සතුට. 

" ඔව් ඔයා කෑවද ? "

" ඔව්.. අපි අද ඩයිනමෝර් ගියා. ශාලිට යන්න ආසයි කිව්වා.."

" OK සචී අයියේ.. මම තියන්නම් එහෙනම්, වොෂ් එකක් දාගෙන පාඩම් කරන්න ඕන.." මම හැඟීමක් නැතිව කිව්වා 

" හරි පැටියෝ.. මම එහෙනම් රෑ වෙලා කතා කරන්නම්.. බායි "

" OK සචී අයියේ.. බායි.."

එයා තව මොන මොනවදෝ කියද්දි මම ෆෝන් එක කට් කරලා ඔලූව දණහිස් උඩින් තියා ගත්තා.
ටික වෙලාවකින් SMS එකක් ආවා..
" පැටී... ඔයා මට උම්මා එකක් වත් දුන්නේ නැහැනේ "
මම රිප්ලයි කලා

" Sorry.. "

මගේ ජීවිතේ මොන පැත්තකට යනවද කියලා වත් මට හිතාගන්න බැරිව මම හරිම හිස් විදිහට ජීවත් වුණා ටික දවසක්. මට හිත හදාගන්න කල් ඕන වුණා. ඒත් මම සචී අයියට වෙනසක් පෙන්නුවේ නැහැ. මම එයාට වෙච්ච පොරොන්දු තිබුණා.. කොලේක ලියලා පොරොන්දු වුණු දේවල් තිබුණා, අදටත් මම අදහන්නේ ඒ කොලේ ලියල තිබුණු පොරොන්දු..

" කවදාවත් කිසිම හේතුවක් නිසාවත් ඔයාව මම අතහරින්නේ නැහැ " එදා අපි දෙන්නට දෙන්නා පොරොන්දු වුණ හැටි මට මතක් උනා.

මම වොෂ් එකක් දාගෙන ඇවිත් බෙඩ් එක උඩට වැටුණා. ඇඟටම පණක් නැහැ. මම එහෙමම ඇස් දෙක පියා ගත්තා. දන්නෙම නැතිව නින්ද ගියා. ඇහැරුනේ අම්මා ඇවිත් කතා කරන කොට.

" චූටි පුතා, මොකද මේ නිදි ? නැගිටින්න.. දවල්ට කෑවේ නැද්ද ? "

" බඩගින්නක් නැහැ අම්මා.. මම ස්කූල් එකේදී එක එක ඒවා කාලා ආවේ.." මම ඕනාවට එපාවට කිව්වා.

" දැන් වෙනම ලෙඩක් හදා ගන්නවා නොකා නොබී ඉඳලා.." අම්මා මගේ බෙඩ් එකේ කොනක වාඩි වෙලා මගේ ඔළුව අත ගානවා.

" එක වේලක් කෑවේ නැහැ කියලා ලෙඩ වෙනවද අම්මා ? " මමත් ටිකක් අම්මත් එක්ක හුරතල් වුණා.

" ඔයා මේ දවස් ටිකේම දවල්ට කාලා නැහැනේ චූටි, රෑට කන්නෙත් ටිකයි. මොකක් හරි අසනීපයක් නම් අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යමු.." අම්මා කියද්දී මං හිතුවේ අම්මා අපි ගැන කොයිතරම් විමසිල්ලෙන් ඉන්නවද කියලා.

" මට ඇති අසනීපයක් නැහැ අම්මා.. මේ දවස් ටිකේ මහන්සියි. ඒක නිසා වෙන්න ඇති.."

" තේ එකක් හදන් එන්නද ? "
අම්මා ආයෙත් අහනවා.

" හ්ම්.. හා.. නෙස්කැෆේ එකක්.."

" කිරි දාලා..? " අම්මා අහද්දි මට දුක හිතුනා.

" ඔව්... අම්මා හදන්න අයිටටත් එක්ක, මම පහලට එන්නම්.."

මම නැගිටලා බාත් රූම් එකට ගියේ මුහුණ සෝද ගන්න. කණ්ණාඩියෙන් මුහුන දිහා බලාගෙන මම ටිකක් වෙලා කල්පනා කලා.. මොකක්ද මේ ජීවිතයේ තේරුම.. තව කොච්චර කාලයක් නම් මේ විදිහට දුක් විදින්නද ? මම දුක් විඳින්නේ තේරුමක් ඇතුව නෙවේ නේද.. මොනව වුනත් අම්මටයි අයියටයි පේන්නවත් හිනා වෙලා ඉන්න ඕන. නැත්නම් තව ප්‍රශ්නයක් ඇති වෙයි. මම කැමති නැහැ මගේ දිහා බලලා ඒ දෙන්නා දුක් වෙනවට. මම එහෙම හිතාගත්තා.

---------------------------------------------------------------------------------


ටික දවසක් මේ විදිහට ගතවුණා.අයියා ලංකාවෙන් යන්න ලං වන දිනයත් එන්න එන්නම ලං වුණා. ඒක මගේ හිතට ගෙනාවේ බයක්. අයියත් ගියාම අම්මයි මමයි මේ ගෙදර තනිවෙනවා නේද කියලා මට හිතුණා. ශ්‍රීමති ආන්ටි වුණත් එයාලගේ අලුත් ගෙදර දාලා ආපහු අපේ ගෙදර පදිංචියට එයි කියලා හිතන්න අමාරු වුණා. මොකද ශ්‍රීමතී ආන්ටි නිතරම කිව්වේ අපි එයාලා නිසා ගොඩක් කරදර වුණා කියලා. සචී අයියා ආපහු අපේ ගෙදර නවතින්න එනවා නම් මම කොච්චර සතුටකින්ද හිටියේ, ඒත් දැන් මගේ හිතේ ඒ සතුට නැහැ. ඒ වෙනුවට තියෙන්නේ කිසිම හැඟීමක් දැනීමක් නැති හිස් බවක්.

දවසක් අම්මා ඔෆිස් එකේ ඉඳන් ආවේ හිනා කටක් පුරවගෙන. ශ්‍රීමතී ආන්ටි කැමති වුනාලු අයියා රට ගියාට පස්සේ ඇවිත් අපේ ගෙදර නවතින්න. මට ඒක ගැන ලොකු උනන්දුවක් නැති වුනත් මම වෙනසක් පෙන්නුවේ නැතුව අම්මත් එක්ක සතුට බෙදා ගත්තා. එදා සචී අයියා නායකත්ව පුහුණුව අවසන් වෙලා ගෙදර ආව දවස. කට්ටියට මතක ඇතිනේ ගිය අවුරුද්දේ යුනිවර්සිටි සිලෙක් වුනු අයට " නායකත්ව පුහුණුව " කියලා ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. සචී අයියටත් ඒකට යන්න වුණා.

" පැටියෝ ඔයාට අම්මා කිව්වද ? අපි ආපහු එනවා ඔයාලගේ ගෙදර නවතින්න ඉක්මනටම.. "
සචී අයියා කතා කරන්නේ මොන ලෝකෙක ඉදන්ද කියලා මට ඒ වෙලේ හිතාගන්න බැරි වුණා.

" ඉතින් කොහොමද නායකත්ව පුහුණුව..? "
මම කතාව මාරු කලා.

" අපෝ.. එපා වෙලා හිටියේ මල්ලියෝ.. ඔයාට හම්බ උනාම විස්තර කියන්නම්කෝ.. ඉතින් ඔයා මොනවද කලේ මේ ටිකේ ? ස්කූල් ගියාද ? "

" ඔව්.. ලඟදිම කැම්පස් පටන් ගනී නේද ? "

" හ්ම්..ඉක්මනට පටන් ගත්තොත් හොඳයි.. එතකොට ඉතින් නිදහස්නේ.."

දැනටමත් නිදහස්නේ.. තව මොනවා නිදහස් වෙන්නද..... මම එහෙම කියන්නත් හදලා නිකන් හිටියා. මොනව උනත් මගේ හිත කොනක පුංචි තරහකුත් තියෙන්න ඇති. එදා රෑ කෑම කන්න අපි තුන්දෙනා එකතු වුන වෙලාවේ අම්මා මතක් කලා මාමගේ දුවගේ වෙඩින් එකට ලබන සතියේ කුරුණෑගල යන්න ඕන කියලා.

" ශ්‍රීමති ආන්ටිලත් යනවද ? " අයියා එහෙම ඇහුවා.

" ඔව් ශ්‍රීමතීලට ඉන්විටේශන් නොදී කොහොමද.. මාමයි, මමයි, ශ්‍රීමතී ආන්ටියි අපි තුන් දෙනාම ඒ කාලේ එකටමයි හිටියේ. අපි තුන් දෙනා හොඳ යාළුවෝ. ජයේ මැරි කලාට පස්සේ ශ්‍රීමතී අපෙන් දුරස් වුණා.."
අම්මා ඒ කාලේ ගැන කතා කරන්නේ ගොඩක් සතුටින්.

" අපිට වෙඩින් එකට දවස් දෙකකට කලින් එන්න කිව්වා "

" වෙඩින් එක ගන්නේ ගෙදරමලු නේද ? " අයියා අම්මගෙන් ඇහුවා.

" ඔව්.. බඳින්න ඉන්න බෝයි කිව්වලු ගෙදර ලොකු නිසා, වත්තත් ඕන තරම් ඉඩ තියෙන නිසා, ගෙදරම ගමු කියලා.."

මම අයියගෙයි, අම්මගෙයි කතාවට ඇහුම්කන් දීගෙන කෑම කෑවා. ඇත්තම කියනවා නම් මේ සිද්ද වෙන කිසිම දේකින් මට බලපෑමක් වෙන්නේ නැහැ වගේ මම ජීවත් වුණා.
තවත් කොටසකින් හමු වෙමු...


" නොමියෙන මල් මතක පෙතේ එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත රැඳුනේ නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ 
මේ කඳුලු මගෙ දැන් දුක නෑ...."