Saturday, March 31, 2012

Chapter 35 - "බයිට් එක..."



මම ඇන්ඩෲට කෝල් කරලා කිව්වේ මම පොලිසියේ ඇන්ට්‍රි එකක් දැම්මා කියලා. " කාර් එක හප්පලා පැනලා ගියා කියලා.." ඇන්ඩෲ ට ඒකට හොඳටම මල පැනලා මාව හොයාගෙන අපේ ඔෆිස් එකට ආවා.

" ළහිරු..! ! "

" ආහ්..? "

" තමුන්ට මොලේ අමාරුවක් තියෙනවා නම් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ට්‍රීට්මන්ට් ගන්න "
ඇන්ඩෲ කඩාගෙන බිඳගෙන මගේ කැබින් එකට ඇවිත් බෙරිහන් දෙනවා. වෙලාවට අම්මයි ශ්‍රීමති ආන්ටියි එලියට ගිහින්.

" මෙහෙම පිස්සු වැඩ කරලා මිනිස්සුන්ව අමාරුවෙ දාන්නේ නැතිව.. මොකක්ද ඒ කරපු වැඩේ ? "
ඇන්ඩෲ අඬන්නන වගේ කියනවා.

" මෙහෙන් වාඩි වෙන්නකෝ ඇන්ඩෲ, වාඩි වෙලාම බනින්නකෝ.. ටේක් අ සිට්.."
මම පොර මට බනින එක ගැන ගණන් ගන්නේ නැතුව කිව්වා.

මූ ආපහු පුටුවකින් වාඩි වෙලා කියවනවා.

" බ්‍රේක් ලයිට් හදලා දෙන එක මට මහ ලොකු වියදමක් නෙවෙයි, තමුන්ට කාර් එකක් අරන් දෙන්න වුණත් මට පුළුවන්.. මට දැනගන්න ඕන ඇයි මෙහෙම බොරු ඇන්ට්‍රි එකක් දැම්මේ කියලා "

" මේකයි මිස්ටර් ඇන්ඩෲ, බ්‍රෙක් ලයිට් එක නම් මට මාර විදිහට වටිනවා මිස්ටර් ඇන්ඩෲ.. මොකද මාසේ පඩිය අරන් එදා වේල කාලා ඉන්න අපිට ඒක මහ ලොකු වියදමක් තමයි.. හයියෝ... සල්ලී.. "
මං මුහුණේ අත ගහගෙන දුකෙන් වගේ කිව්වා.

" අපරාදේ.."

මං ආයෙත් කිව්වම ඇන්ඩෲ මගේ මුහුණ දිහා බලලා අහනවා..

" ඇයි ? මොනවද අපරාදේ ? "

" ඔය කතාව ඔයා එදා කිව්වා නම් මම එදා කාර් එක පල්ලමෙන් පහළට පෙරළනවානේ.. එතකොට ඇන්ඩෲ අලුතින්ම කාර් එකක් මට අරන් දෙයි නේද ? අරන් දෙයි නේද ? "

මම කිව්වම ඇන්ඩෲට තවත් මල

" මේ යකාට නම් තනිකර පිස්සු.."
පොර පුටුවත් පස්සට කරගෙන මලෙන්ම නැගිටලා යන්න ගියා.

" හි.. හී.. හයියෝ... "

මට තනියෙන්ම හිනා, ටිකක් වෙලා යද්දි දැක්කේ උගේ හයිබ්‍රිඩ් එකේ යතුර මගේ ටේබල් එක උඩ දාල ගිහින්. මම ඉතින් ඒකටත් වැඩක් දෙන්නම් කියලා ගත්තා යතුර. මිස්ටර් ලී මෝල ආපහු එන්නේ නැතැයි යතුර හොයාගෙන.

" එක්ස්කියුස් මී ! " තවම පුපුරනවා

" කමින් " මම සත පහකට ගණන් ගන්නේ නැතුව කිව්වා.

" මගේ කී එක ? "

" ඉතින් ? කී එක... මොකද ?" මම මොකුත් දන්නේ නැහැ වගේ ඇහුවා

" ටේබල් එක උඩ තිබුණා. කෝ දැන් ? "

" තිබුණ නං ඉතින් තියෙන්න ඒපැයි.."

" ලහිරූ ! මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා. please. Give me the key !! "

" ඕහ්.. මෙයා මේ මගුලක් කතා කරනවා නේ.."

" ළහිරු.. ! ! දෙනවා මගේ යතුර.."

හත් ඉලව්වයි.. පොරට තව යකා නැගලා

" මම දන්නේ නැහැ හලෝ.."

" ගිල්ලද ? "

" ඔව් ගිල්ලා.. දැන් ඉතින් හවස් වෙනකන් ඉන්න වෙයි ගන්න.. ඇයි යකෝ.."
මමත් මලෙන්ම කියලා දැම්මා

කොහොම හරි එදා ඇන්ඩෲට කාරෙක ඔෆිස් එක ඉස්සරහ තියෙද්දිම ගෙදර යන්න වුනේ ත්‍රීවීල් එකක. මම ඌට කිව්වා යතුර හොයලා තියන්නම් කියලා. අන්තිමේදී හොයලා හොයලා බැරිම තැන පොර යන්න ගියා.
හවස් වෙද්දී ඉරෝෂයා ආවා ඔෆිස් එකට

" උඹ දන්නවද මේ මොකක්ද කියලා.. හයිබ්‍රිඩ් කාර් එකක යතුරක්. "

මං ඉරෝෂයට යතුර පෙන්නලා කිව්වා. ඉරෝෂයා කට ඇරගෙන බලන් ඉන්නවා.

" අයිති කොල්ලත් හයිබ්‍රිඩ්, ඒ වගේම මචෝ මම ඌට දුන්නා ගේමක් ඒකත් හයිබ්‍රිඩ්.."
මම ඉරෝෂයට මුල ඉදන්ම කතාව කියාගෙන ගියා.

" පව් ලහිරුවා.. කැත වැඩක්නේ උඹ කරලා තියෙන්නේ.."
ඌත් හිනාව අතරින්ම කියනවා.

" කැතම කැත වැඩේ කියන්නේ.. හයිබ්‍රිඩ් කාර් එකේ ආපු මහත්තයා අවසාන වශයෙන් ගෙදර ගියේ මීටර් නැති ටැක්සි එකක.. හි.. හී.. "

ඉරෝෂයා බඩ අල්ලගෙන හිනා වෙනවා

" ඇයි යතුර දුන්නේ නැත්තේ ? කෝ දැන් කාර් එක ? "

" කාර් එක ඔෆිස් එක ඉස්සරහා. කී එක ලහිරුගේ අතේ.. මිස්ටර් ඇන්ඩෲට හෙටත් ඔෆිස් එන්න වෙනවා. කතාවේ ඉතුරු ටික හෙට. මතු සම්බන්දයි..."

" හි.. හී... පිස්සා,, යකෝ සචී අයියා දන්නවා නම් උඹව මරයි.."

" එයා දන්නේ කොහොමද ? එයා එන්නේ තව සතියකින්.. හික්.. හික්.."

" උඹ නම් මොනවා කර ගනීද මන්දා... ඔහොම ගිහින් ඇන්ඩෲ එක්කත් පැටලුනොත් "

" පල.. පල.. මම එහෙම කොහෙවත් යන මෝල් කාරයොත් එක්ක යාලු වෙන්නේ නැහැ, මගේ කොල්ලව මට ඇති, මම ඇන්ඩෲට උගන්නනවා හොද පාඩමක් ආපහු මගේ පස්සෙන් නොඑන්න.."

-------------------------------------------------------------------------------------

පහුවදා උදෙන්ම මම ඇහැරුනේ සචී අයියගේ කෝල් එකකින්.

" චූටි බබා තවම දොයිද ? අදත් ස්කූල් යන්නේ නැද්ද ? "

සචී අයියගේ ආදරණීය කටහඬ ඇහෙද්දි ඉන්න බැහැ වගේ.

" ම්ම්ම්... අද ඔෆිස් යනවා, ස්කූල් යන්න කම්මැලියි.."

" මොකද ඔෆිස් එක හිතට අල්ලලා, ලස්සන කොල්ලෙක් වත් කැරකෙනවා ද අහල පහල ? "
එයා හිනාවෙවි අහනවා

" ඔව් එනවනේ.. එකක් නෙවේ ගොඩක්... මෝඩයා "

" හි.. හී.. මගේ පැටියට තරහ ගියාද ? මං විහිළුවක්නේ කලේ.."

" ඕන නැහැ ඔයාගේ විහිලු.. මන් තියෙනවා.."

" තියන්නේ එහෙම නැහැ.. දෙනවා ගුටියක්.. කෝ දැන් ඉතින් නැගිටින්නකෝ පැටියෝ.."

" උම්මා එකක් දුන්නොත් නැගිටිනවා.."
මමත් හුරතල් වුනා..

" ම්ම්ම්... ඔන්න එහෙනම්.. උම්මා... උම්මා... උම්මා... "

" ම්ම්ම්... උම්මා... ඔයාලා අද කොහෙද යන්නේ ?

" අද අපි මෙහෙන් පිටත් වෙනවා සීගිරියේ, ඊට පස්සේ දඹුල්ලේ.."

" පරිස්සමෙන් අයියේ.. I Love you.."

" I Love you too patiyo.."

ෆෝන් එක තියල මම ගිහින් වොශ් එකක් දාගත්තා. ඇවිත් අහපු බලද්දි ඇන්ඩෲ ගෙන් මිස් කෝල්ස් හතරයි.. හි.. හී... එකසිය ගානට කෝල් කරලා. කෝල් එකක් දීලා බලමුකෝ.. මම ඌට ඩයල් කලා.

" හෙලෝ.. ලහිරු ? "

මම හෙලෝ කියන්නත් කලින් බුවා කතාව

" සුභ උදෑසනක් ඇන්ඩෲ.."

" Good morning.."

" මේ මිස්ටර් ඇන්ඩෲ ගෙන් මිස් කෝල්ස් තිබිච්ච නිසයි ගත්ත.."

" ලහිරු.. ප්ලීස්.. මගේ කී එක කොහෙද කියන්න.."

" ආහ්.. මාර වැඩේනේ වෙලා තියෙන්නේ ඇන්ඩෲ.."

" ඇයි ? "

" අර සුමනා ඉන්නව නේද ? "

" කවුද ? "

" ඇයි බන් සුමනා.. අර අපේ ඔෆිස් එක අතු ගාන්නේ.."

" ඔව්.."

" අන්න හරි.. ගෑනිට හම්බවෙලානේ ඇන්ඩෲ ගේ කාර් කී එකේ යතුර.."

" Thank god, කෝ දැන් ඒක ? " පොරට හෙන හැපි

" දැන් ඒ යතුර බිමනේ තිබුනේ, ගෑනි ඒක අතුගාලා ඩස්බින් එකට දාලා.."

" What ? කී එක කොහෙද ලහිරු ? " පොර නාහෙන් අඬනවා

" දැන් ඉතින් ඩස්බින් එක හවසට නගර සභාවේ කුණු ලොරියට පටවනවනේ.."
මටත් කොහෙන් කටට එන එව්වා ද මන්දා, කියලා දානවා, පොරත් ලණුව ගිලිනවා

" My goddd.."

" මේ එක්ස්ට්‍රා කී එකක්වත් නැද්ද ඇන්ඩෲ ගාව ? "

" නැහැනේ.. එක්ස්ට්‍රා කී එක තියෙන්නේ කුරුණෑගල අපේ ගෙදර. මට එහේ යන්න විදිහක් නැහැ නේ දැන් "

" මලා.. දැන් ඉතින් මොකද කරන්නේ ? "

" හ්ම්.. අනේ මොනව හරි කරන්න ලහිරු.."

" මන් කියන්ද ? දැන් ඉතින් කරන්න තියෙන්නේ දෙන්නත් එක්කම ගිහින්, අර කුණු කන්ද හාරන එක තමයි.. මාර කේස් එක හැබැයි.."

" අනේ ප්ලීස් ලහිරු.. "

පොර අඬන්නේ නැති ටික විතරයි

" ම්ම්ම්.. හරි.. හරි.. හරි.., ඔයා දොළහට විතර අපේ ඔෆිස් එකට එන්නකෝ. අපි කී එක හොයා ගන්න ට්‍රයි කරමු. ඔන්න අඬනවා එහෙම නෙවේ, හරි ? මම තියනවා, අඬන්න එපා හරිද ? Hello ? Right, Ok bye.."

මම සීරියස් පිටම කියලා ෆෝන් එක කට් කලා

කිව්වත් වගේ පොර 11.59 වෙද්දී අපේ ඔෆිස් එකේ. මගේ කැබින් එක පැත්තට එනවා දැකලා මම ලොකු වැඩක් වගේ ෆයිල් එකක් පෙරල ගත්තා.

" Excuse me.." පොර උගේ බ්‍ර්ටිශ් ඇක්සන්ට් එකත් දාගෙන කැබින් එකට ආවා.

" ආහ්.. කම්.. කම්.. ඇන්ඩෲ "

" Good afternoon Lahiru.."

" අනේ එසේම වේවා ! වාඩිවෙන්නකෝ ඉතින්, මොකද මේ හිටගෙන.. වාඩි වෙන්නකෝ.."

" මන් ආවේ කාර් එක ගෙනියන්න.."

" ට්‍රක් එකක් ගෙනාව ද පටවගෙන යන්න ? "
මමත් සීරියස්ලිම ඇහුවා. පොර තරහෙන් පුපුර පුපුර මගේ ඉස්සරහා පුටුවෙන් වාඩි වුණා

" ප්ලීස් ලහිරු.. දැන්වත් මගේ කී එක දෙන්න. ඔයා දන්නේ නැහැ කාර් එක නැතුව මගේ වැඩ කොච්චර පාඩු වුණා ද කියලා.. දෙන්නකෝ අනේ.."

" සිද්ද වෙච්ච දේ මං ඔයාට කිව්වනේ කොල්ලෝ.. කිව්වනේ "

" ඒ බොරුනේ ලහිරු.."

" හරි ඇන්ඩෲ.. කී එක නම් දෙන්නම්.. හැබැයි එක පොරොන්දුවක් පිට "

" පොරොන්දුවක් ඒ මොකක්ද ? "

" ඔයයි මමයි දෙන්නම දන්නවනේ, ඔයා අර මොකද්ද වගේ මගේ පස්සෙන් එනවා කියලා. ඒත් සොරි.. මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා. ඒක නිසා, මීට පස්සේ ඔයා මට කෝල් කරන්න බැහැ, අපේ ඔෆිස් එක පැත්ත පලාතේ එන්නත් බැහැ.. හරිද ? බැරිද ? එහෙනම් මම කී එක දෙන්නේ නැහැ.."

" හරි.. හරි.. මම කියන විදිහට කරන්නම්, කී එක දෙන්නකෝ.."

" ආ.. මෙන්න "

මම සාක්කුවෙන් කී එක අරන් මේසේ උඩින් තිබ්බා.

" තෑන්ක්ස් ලහිරු.. අපි පස්සේ වෙලාවක හම්බ වෙමුකෝ.."

" නැහැ නැහැ ආයෙත් හම්බ වෙන්න ඕනේ නැහැ, මේ අවසාන හමු වීම.. දැන් යන්න.. good bye.. good bye, tata bye.... hm out out.."

මම ගාණකට ගන්නේ නැතුව පොරට කියලා දැම්මා.

හැබැයි ඉතින් එදා එහෙම ගියත්, ඇන්ඩෲ මගේ පස්සෙන් එන එක නතර වුණේ නම් නැහැ.. ලැජ්ජ නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියලා කතාවකුත් තියෙනවනේ...

ඊළඟ කොටසින් හමුවෙමු....




1 comment: