" හෙලෝ "
" හිරූ ! "
" කවුද ? "
" හිරූ මම "
" ස.. සචින්ත ? "
" ඔව් "
" මොකද කරන්නෙ ඉතින් ගෙදරට වෙලා.." මට අහන්න දෙයක් නැති තැන මම ඇහුවා
" ඇයි එහෙම අහන්නේ "
" ඔයාගේ පන්ති තහනම් කළා කිව්වේ "
" කවුද ? "
" අපේ අයියා "
" සඳරු කිව්වද ? මම එයාට කියන්න එපා කියලා කිව්වා.. " එයා ලොකු හුස්මක් හෙලන ගමන් කිව්වා.
" ඒ උනාට අපේ අයියා ඔයා වගේ නෙවෙයි, මට කිසිම දෙයක් හංගන්නෙ නැහැ "
" හ්ම්ම්..... මාත් ඔයාගෙන් කිසිම දෙයක් හැංගුවේ නැහැ හිරූ... "
" මාත් කාලයක් එහෙම හිතාගෙන හිටිය සචින්ත අයියේ, ඒත් ඒක කොයි තරම් බොරුවක්ද නේ ? "
" එහෙම කියන්න එපා හිරූ "
" සේරම ඉවරයි සචින්ත අයියේ ! දැන් ඇයි මට කතා කළේ "
මගේ හිතේ ආවේ දුකක් මුසුවුණු තරහක්. මම හිත තද කරගෙන ඇහුවා.
" හිරු මොකක්ද අපිට මේ වෙන්නේ? " එයාගේ කටහඬ ගොඩක් අසරණ වෙලා වගේ
" වෙන්න තියෙන හැම දුකක්ම, හැම කරදරයක්ම, අහස කඩන් වැටුනා වගේ පපුවට කඩං පාත් වෙනවා සචින්ත අයියේ "
මගේ ඇස් වලට කඳුළු පිරුණා... ඒත් මම හැඟීම්බර වෙනවා කියන්නේ ආපහු මම අසරණ වෙන එක
" හිරු මම තවම ඔයාට ආදරෙයි පැටියෝ ! "
" හ්ම්ම්.. ආදරේ ? ඊට වඩා තව බොරුවක් තියෙනවද සචින්ත අයියේ ? ආදරේ කියන්නෙ කොච්චර බොරුවක්ද ? නිකන් අතරමං වුනා විතරයි
" හිරූ ප්ලීස්.... මට එකම එක වතාවක් සමාව දෙන්න.
" ඔයා වැරැද්දක් කලේ නැහැ සචින්ත අයියේ.. ඔයා ඔයාගේ කැමැත්තට ඔයාගේ ජීවිතේ තීරණ ගත්තා. ඉතින් ඇයි සමාව ඉල්ලන්නේ ?මේ මගේ ජීවිතය. මගේ තීරණත් මම මට ඕන විදිහට ගන්නවා. එච්චරයි.... අපි කවුරුත් වැරදි නැහැ !! "
මම ඒ ටික කියාගත්තේ මගේ පපුව හිර වෙවී, ඇතුලෙන් ගිනි ගන්න ගමන්
" හිරූ !! ඔහොම කතා කරන්න කවුද ඔයාට ඉගැන්නුවේ ? "
" මමමයි මගේ ජීවිතෙන් මේ පාඩම් ඉගෙන ගත්තේ "
මම එහෙම කියලා ෆෝන් එක කට් කලා. මම හිත හදා ගන්න හදද්දිම ඇයි මෙයා ආපහු මගේ ජීවිතේට ඇවිත් මාව අවුල් කරන්න හදන්නේ, මම එදා රෑට කන්නේ වත් නැතිව එහෙම්මම නිදාගත්තා. රෑ එළිවෙනකම්ම හීනෙනුත් මමයි එයයි රණ්ඩු කලා. හීනේ පුරාවටම අපි ගොඩක් රණ්ඩු වුණා. නින්දත් නොනින්දත් අතරේ ගෙවුණු ඒ රෑ මගේ ජීවිතේ තවත් එක පීඩාකාරී රැයක්.
මම ඔෆිස් යන්න පටන් අරන් ටික දවසකින්ම ගොඩක් වැඩ අල්ල ගන්න මට පුළුවන් වුණා. ශ්‍රීමති ආන්ටිත් හිටපු නිසා පාළුවක් නම් තිබුනේ නැහැ, මම සචී අයියව බලන්න ආවේ නැති හේතුව ශ්‍රීමති ආන්ටිම හිතෙන් හදාගෙන තිබුණා. ආන්ටි හිතුවේ සචී අයියා රණ්ඩුවකට ගිය එක මම අනුමත නොකරන නිසා එයාව බලන්න ආවේ නැහැ කියලා. ඒක ගැන ආන්ටිගෙ හිතේ කිසිම තරහක් තිබුනේ නැහැ. නිතරම මට කිව්වේ සචි අයියා ගොඩක් නරක් වෙලා කියලා. මට ඒවා අහද්දි ගොඩක් දුක හිතුනා. ඒත් දෙයියනේ මම මොනව කරන්නද ? එයානේ මගේ ජීවිතයෙන් ඈත් වෙලා ශාලිකා ළඟට ගියේ.
මම කොයි තරම් සචි අයියව මගහරින්න හැදුවත්, එය දිගින් දිගටම මට කෝල් කලා. SMS එව්වා. ඒත් මම ඒවා ඒ එකකටවත් ආන්සර් කරන්න ගියේ නැහැ, රිප්ලයි කලෙත් නැහැ. ඕන දෙයක් කියලා මුරණ්ඩුකමට මම මගේ පාඩුවේ හිටියා. එයා එවන සමහර SMS මට බලන්න බැරි තරම් දුකයි. ඒත් මේවා ආපහු මුල ඉඳල පටන් ගන්නෙ කොහොමද ? දැන් ගොඩක් පරක්කුයි, මට හිතුනේ එහෙම. එයාගේ එක SMS එකක මෙහෙම තිබුණා
" අද කවුද හිරූ මට ඉන්නේ ? එදා අපි අපේ.. අද මන් කාගෙද ? ඔයා කාගෙද ? අපිට අපි අයිති නැහැ. අපි කාටවත් අයිති නැහැ. මන් වෙනුවෙන් ඔයාගේ හිතේවත්, ඔයා වෙනුවෙන් මගේ හිතේවත් ආදරයක්, කැක්කුමක්, තෙතමනයක්, නැහැ කියලා ඔයා පරසක්වල ගහනවා. ඔයා එන්න රත්තරන්.. ඔයාට ඕන තරම් කල් අරගෙන ඊට පස්සේ එන්න. මම ඔයාට පෙන්නන්නම් මේ පපුවේ ලේත් එක්ක කලවම් වෙලා ගලන මගේ ආදරේ කොයි තරම් ඝනකම් ද කියලා " ඒ දේවල් කියවලා මට වුණේ තවත් අසරණ වෙන්න
" ඇයි සචී අයියේ ඔයා මට බොරුවක් කලේ, මම මුලු ලෝකෙටම වඩා විශ්වාස කලේ ඔයාව, ඔයා මට එහෙම කළේ ඇයි ?.. ඇයි ?..
මට තනියම මේ දේවල් හිත හිත අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. ඒත් මේ හැම දෙයක්ම නිහඬව බලාගෙන කෙනෙක් හිටිය බව මම දැන දැනගත්තේ සෑහෙන දවසක් ගියාට පස්සේ..
" මේ ඇස් දිහා බලන් දැන්වත් කියන්න මගෙ රත්තරන්
ඔබ මගේද මම ඔබේද අපි අපේද කියලා..
දැන්වත් කියන්න මගේ රත්තරන්.."
No comments:
Post a Comment