Wednesday, March 14, 2012

Chapter 25 - "SURPRISE...!!!"





ආදරයක් හිතට දැනුනම,
මේ හුළං රැළි වල වෙනදා නැති සීතලක් දැනෙනවා....
මේ අහසේ වෙනදා නැති ලස්සනක් තියෙනවා කියලා හිතෙනවා....
හැම මොහොතකම ජීවත් වෙනවා කියලා හිතට දැනෙනවා...
මටත් ඒ හැම දෙයක්ම ඒ විදිහටම දැනුනා..

එදා සචී අයියගේ බර්ත් ඩේ එකට කලින් දවසේ රෑ.. මට ඕන වුණේ මගේ කොල්ලට සර්ප්‍රයිස් එකක් දීලා සතුටු කරවන්න. මම හරියටම 11.55 ට එයාගේ ෆෝන් එකට රිං කලා.

" හෙලෝ බබා..? 12 ට තව වෙලා තියෙනවනේ..."
සචී අයියා හිනා වෙවී කියනවා

" හ්ම්.. එහෙනම් 12 ට කලින් ඔයාලගේ ගෙදර තාප්පේ ළඟට එන්නකෝ.."
" මොකක් කිව්වා ? "

" හි.. හී... මෝඩයෝ මම ඔයාලගේ ගෙදර ඉස්සරහ ඉන්නේ.."

" මොනවා ? ඔයා ඔය බොරු කියන්නේ.."
සචී අයියගේ කටහඬත් අමුතු වෙලා

" බොරු නෙවේ, මේ හීන් පොදයකුත් වැටෙනවා ඉක්මනට එන්නකෝ.."

ඒත් එක්කම සචී අයියගේ රූම් එකේ ලෑම්ප්ශේඩ් එක පත්තු වුනා. එයා ජනේලේ හිමීට ඇරලා බෙල්ල එළියට දැම්මා. මම කොට තාප්පේ උඩට නැගල වාඩි වෙලා ඉන්නවා. එයා ආපහු ඇතුලට ගිහින් ලයිට් එක නිවලා ආපහු ජනේලේ ලඟට ඇවිත් ජනේලයෙන්ම එළියට පැන්නා. ඇඟිලි වලින් ඉස්සි ඉස්සි සද්දේ ඇහෙන්නේ නැති වෙන්න අඩියට දෙකට මගේ ලගට ආව සචී අයියට හිතා ගන්නවත් බැහැ මොකක්ද මේ වෙන්නේ කියලා. එයා නිදා ගන්න කොට අඳින ගල් ෂෝර්ට් එකයි, බ්ලැක් ස්කිනි එකයි ඇඳලා හිටියේ. කොල්ලව දැක්කම ආදරේ බැහැ.

" මොනවද මේ මහ රෑ කරන්නේ ? පිස්සු හැදිලද ? " 

එයා මගේ අතකින් අල්ලලා මාව තාප්පෙන් බිමට බස්ස ගත්තා. ඊට පස්සේ මගේ අතින් අල්ලගෙනම ඒ ළඟම තිබුනු සැතපිල්ලා ගහ යටට එක්ක ගියා තෙමෙන නිසා. ඒත් එක්කම මගේ ෆෝන් එක වයිබ්‍රේට් වුණා පොකට් එක ඇතුලෙන් මට දැනුනා. ඒක සචී අයියගේ බර්ත් ඩේ ඇලට් එක. 

" Happy Birth Day ! පන.. මම ඔයාට හැමදාම ගොඩක් ආදරේ කලා. අදත් හෙටත් මම මැරෙනකම් ඔයාට විතරමයි ආදරේ.."

මම සචී අයියව බදාගෙන එයාගෙ නළලට හාදුවක් දුන්නා. එච්චර වෙලා අතක් පිටිපස්සට කරලා හංගගෙන හිටපු පුංචි ගිෆ්ට් එකයි, බර්ත්ඩේ කාර්ඩ් එකයි තිබුණු කවරේ අරන් සචී අයියගේ අතින් තිබ්බා. එයාට මේ වෙන්නේ මොනවද කියලා හිතාගෙන බැරුව වගේ බලන් ඉන්නවා. 

" අනේ බබා.. ඔයා නම් හරිම කොල්ලෙක් තමයි.."

" ඔයාගේ බර්ත්ඩේ එකට ඉස්සෙල්ලම විෂ් කරන්න ඕන මම නේද අයියේ ? "

" ඒ වුනාට පැටියෝ කෝල් එකක් දෙන්න තිබුනනේ.."

" එහෙම කලාට මදි, මට ඕන වුනේ ඔයා ළඟටම ඇවිත් උම්මා එකක් දීලා විෂ් කරන්න.."

මම එහෙම කිව්වම සචී අයියා ආපහු මාව තුරුළු කරගත්තා. හීන් පොද වැස්සට අපි දෙන්නම ටිකක් විතර තෙමිලා. ඒ විදිහටම අපි දෙන්නා තුරුලු වෙලා හිටියා විනාඩි පහක් විතර. 

" දැන් මේ මහ රෑ තනියම ආවේ ? බය හිතුනේ නැද්ද ? ඒ මදිවට තාප්පෙන් පැනලා. කවුරු හරි දැක්කා නම් එහෙම හොරෙක් පැනලා කියලා අල්ල ගන්නවා තව පොඩ්ඩෙන්.."

එයා මගේ ඔලුව අත ගගා කියනවා

" හි.. හී.. මොනවට බය වෙන්නද ? දන්නවනේ මම යක්ෂ පැටියා කියලා.."

" ඔයාට නම් විහිලු.. දැන් මේ රෑ යන්නේ කොහොමද ? "

" ආපු විදිහටම යනවා "

" බබා ඔයා මගෙන් ගුටි කනවා දැන් ඔන්න... යමු මම ගිහින් දාන්නම්.."

" මම බයික් එකේ ආවේ, ඔයා ඉන්න. මට මෙතන ඉඳන් ගෙදරටට විනාඩි දහයයි නේ යන්නේ.."

" මේ කොටම කොට කලිසමකුත් ඇඳගෙන බයික් එකේ නැඟලා ආවනේ. මම කියලා තියනවා නේද පාරට බහිද්දි ඔච්චර කොට කලිසම් අදින්න එපා කියලා.."

එයා මට සැර දානවා. මම ඇඳගෙන ආවේ පැක්ට්‍රිස් කරන්න අඳින කොට කලිසමකුයි, ටී ෂර්ට් එකකුයි.. එයා පොඩ්ඩක්වත් කැමති නැහැ මම කොට කලිසම් ඇඳන් පාරේ යනවට.

" ඉතින් මේ මහ රෑ මොකා බලන්නද ? මගේ කොල්ලට විතරනේ පේන්නේ.."
මම සචී අයියත් එක්ක හුරතල් උනා.

" එන්න එපා බොරුවට හුරතල් වෙන්න.. දැන් කියනවා ගෙදරින් පැන්නේ කොහොමද ? "

" හි. හී.. මම රෑ නිදාගන්න කලින් අම්මටයි අයියටයි හොරෙන් ඉනිමග ගෙනත් මගේ රූම් එකේ බැල්කනි එක ලගින් හේතු කරලා තිබ්බා . ඒකෙන් බැහැලා, ගේට් එක ඇරගෙන ආවා. අපේ තාප්පෙන් පනින්න බැහැනේ උස වැඩීනේ.. හි.. හී.."

" හිනා වෙන හැටි, හ්ම්.. හ්ම්.. යමු මම එක්ක යන්නම් දැන්. ඔයාව මේ රෑ තනියම යවන්න බැහැ "
එයත් මාත් එක්ක එන්න ලැහැස්ති වුනා 

" නෑ.. නෑ.. මට තනියෙන් යන්න පුළුවන් පන.. මම තනියෙන් ආවේ..අනික ඔයා තෙමෙයි ආපහු එද්දී. මම ගිය ගමන් කෝල් කරන්නම්.."

මම බොහොම අමාරුවෙන් එයාව නතර කර ගත්තා.

" ඔයානම්.. මහා.. පුදුම කොල්ලෙක් හිරූ.."

සචී අයියා එකපාරටම පැනලා ආපහු මාව තුරුළු කරගත්තා.. මම පහලට වෙලා එයාගේ පපුව ඉම්බා. ඒ පපුව වේගෙන් ගැහෙනවා.

" බබා.. ඇයි ඔයා මට මේ තරම් ආදරේ කරන්නේ ? "
සචී අයියා හිමීට අහනවා. මම හිමිහිට ඔළුව උස්සලා එයාගේ මූහුණට මගේ මූහුණ ලං කරලා අපි දෙන්නගේ නහයවල් දෙක ගෑව්වා

" ඒ මට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ ඔයා නිසා.. "
මම හිමීට මිමිණුවා.

සචී අයියා හිමීට එයාගේ තොල්වලින් මගේ තොල් ලං කරගත්තා. විනාඩි 5 ක් 10 ක් 15 ක් ගෙවිලා ගියා අපි දෙන්නට නොදැනීම. එක පාරටම විදුලියක් කොටන කොට තමයි අපි දෙන්නා පියවි සිහියට ආවේ. ඒත් එක්කම වැස්ස ටික ටික වැඩි වුනා. සචී අයියව දාල යන්න ලෝබයි.

" පැටියෝ.. වැස්ස තද කරන්න කලින් යන්න රත්තරන්.. ගිය ගමන් මට කෝල් කරන්න.."

එයා මගේ නළල ඉඹලා කිව්වා. මම ආපහු එයාව බදා ගෙන එයාගේ තොල් වලට චූටි කිස් එකක් දීලා ආපහු හැරුනා. 

" රූම් එකට ගිහින් ඉක්මනට ඔලුව පිහද ගන්න.." 
මම කිව්වේ තාප්පේ ලඟට එන ගමන්. ආපහු විදුලියක් කොටලා ගොරවන්න පටන් ගත්තා. මම ඉක්මනට තාප්පෙන් පාරට පැනලා බයික් එකට නැග්ගා. සචී අයියා තාප්පෙන් එබිලා බලන් ඉන්නවා. 

" පන.. බර්ත්ඩේ කාර්ඩ් එක අරින්නේ බලාගෙන.. හි. හී.."

" අයියෝ ඔයානම් හි..හී.. හ්ම්.. යන්නකෝ පැට්ටෝ දැන්.. ගෙදර ගිය ගමන් කෝල් කරන්න.."

මම ඉක්මනට බයික් එක පෑගුවත් මගදී මහ වැස්සකට අහුවුණා. ගෙදරට කිට්ටු වෙනකොට මම හොඳටම තෙත බරියන් වෙලා. මම ඉක්මනට ගේට් එක ලොක් කරලා ඉනිමඟ දිගේම බැල්කනි එකට නැගලා රූම් එකට පැන ගත්තා. ඉස්සෙල්ලම කලේ ෆෝන් එක එලියට අරන් රෙදි කෑල්ලකින් හොඳට පිහ දාපු එක. යන්තම් වතුර ටිකක් විතරයි ගෑවිලා තිබුනේ. මම එහෙම්මම බාත්රූම් එකට පැනලා නා ගත්තා. එලියට එනකොට සචී අයියා කෝල් කරනවා. මම හීතලෙන් වෙව්ල වෙව්ල ෆෝන් එක ආන්සර් කලා. 

" කෝ බබා තවම ගියේ නැද්ද ? ඔයාව වැස්සට අහු වුණාද ? "
මම හෙලෝ කියන්නත් කලින් සචී අයියා අහනවා.

" ඇවිත් වොෂ් එකක් දාගත්තා අයියේ, වැස්සට හොඳටම තෙමුනා. ගිෆ්ට් එක බැලුවද ? "

" හ්ම් ඔව්.. එදා අපි දෙන්නා බලපු මැගසින් එකේ තිබුන පර්ෆියුම් එක නේද ඒ ? "

"ඔව්.. ඔයාට ඒක හොඳද ? "

" අනේ ඇයි බබා එච්චර වියදම් කලේ ? "

" මම ඔයාට දෙන්නේ නැතිව කාට දෙන්නද ? " 

" ඒ වුනාට බබා.."

" හා..හා.. දැන් ඇති. කාඩ් එක බැලුවද ? "

" ඔව්.. මම බාත්රූම් එකට අරන් ගිහින් දොරත් ලොක් කරලා ඇරලා බැලුවා.. හි.. හී "

" හි.. හී.. හොඳයිද ? "

" ම්ම් ශෝක්.. ලස්සන බනියෝ දෙන්නෙක්.. අපි දෙන්න වගේ නේ "

එයා කාඩ් එකේ තිබුන හාවෝ දෙන්නගේ ෆොටෝ එක ගැන කියන්නේ...

" උන් දෙන්නගේ වටේ තිබුණ රෝස මල් ටික..? "
මම ඇහුවා 

" ම්ම් මගේ බබා වගේ "

" අනේ.. අනේ.. මම මලක් වගේ නෙවේ හරිද ? "

" අනිත් අයට ඔයා ගලක් වගේ වුණාට, මට ඔයාව මලක් වගේනේ චූටි... උම්මා.."

" ම්ම්.. උම්මා.. උම්මා.."

අපි දෙන්නා එහෙම්ම ගොඩක් වෙලා කතා කර කර ඉඳලා නිදා ගන්නකොට පාන්දර 1 ත් පහු වෙලා. ඒත් මට උදෙන්ම නැගිටින්න වුණා. අම්මා ඇහැරෙන්න කලින් ඉණිමග තිබුන තැනින් ගිහින් තියන්න එපැයි.. අන්තිමේදී උදෙන්ම නැගිටලා, නිදිමරගාතේ ඉනිමග ගෙනිහිං තිබ්බ තැනින්ම තියලා ආපහු ඇවිත් නිදා ගත්තා. 

එදා දවල් සචී අයියගේ බර්ත් ඩේ ට්රීට් එකට ක්‍රෙස්කැට් ෆුඩ් කෝර්ට් යනවා කියලා හිතුවත් ඊට වඩා කොෆී බීන් එක නිදහස් තැනක් කියලා පස්සෙයි මට කල්පනා වුනේ. ඒක නිසා මම සචී අයියට කෝල් කරලා කිව්වා එතනට එන්න කියලා. මමයි අපේ අයියයි ඉරෝෂයයි 1.20 වෙද්දි එතනට ගියත් සචී අයියා එද්දි 1.45 යි. අපි තුන්දෙනා බඩගින්නේ වේලි වේලි හිටියා. සචී අයියා දුවගෙන වගේ ආවේ. එයා එන්න කලින් අයියයි ඉරෝෂයයි හැංඟුනා. මම සචී අයියට කිව්වේ නැහැ ඒ දෙන්නා එනවා කියලා.

" සොරි පොඩ්ඩක් ලේට් වුණා.. "
එයා දාඩිය පිහ දදා කියනවා. එයා ගාවින් මම අරන් දීපු පර්ෆියුම් එකේ සුවඳ එනවා. 

" සර්ප්‍රයිස් ! සර්ප්‍රයිස් ! "
අයියයි ඉරෝෂයයි එකපාරටම පිටිපස්සෙන් ඇවිත් කෑ ගැහුවා.

" Many Happy returns of the day ! මචන්.."
අපේ අයියා එන්ට්‍රන්ස් එකේදිම සචී අයියව බදාගෙන විෂ් කලා. 

" Happy Birth Day ! සචී අයියේ.. "
ඉරෝෂයත් සචී අයියට පොඩි හග් එකක් දුන්නා.

"ඕහ්.. Thanks.. Thanks.. උඹලා දෙන්නත් ආවද ? මට ඊයෙ රෑ ඉඳන් සර්ප්‍රයිස් ගොඩයි. හි.. හී.. "
සචී අයියා එහෙම කියලා හිනාවෙලා මගේ දිහා බැලුවා. 

" ඒ මොකෝ බන්.. "

" මල්ලි, උඹ විෂ් කරන්නේ නැද්ද ? "
අපේ අයියා මගේ දිහාවට හැරිලා අහනවා. මට බකස් ගාලා හිනා ගියා.

" මම විෂ් කලේ ඊයේ රෑම.. " මම කිව්වා 

" ඕහ්... ඒකත් එහෙමද ? "
අපේ අයියා ගොනා වගේ ඔලුව වැනුවා

" උඹ දන්නවද.. උඹේ මල්ලි පොඩ්ඩ ඊයේ රෑ දොළහට හිටියේ කොහෙද කියලා ? "
සචී අයියා එකපාරටම අපේ අයියට කිව්වම මම සචී අයියගේ අතක් කෙනිත්තුවා.

" කොහෙද ? "
අපේ අයියයි ඉරෝෂයයි පුදුමෙන් වගේ මගේ දිහා බැලුවා.

" හ්ම්.. අපේ ගෙදර තාප්පේ උඩ "
සචී අයියා කියද්දී මට හිනාව නවත්තගන්න බැරි වුනා. 

" මොකක් ? ඇත්තද බං මේ මූ කියන්නේ ? " අයියා මගෙන් අහනවා 

" කියන කෙනාගෙන්ම අහ ගනින්.. හි.. හී "
මම හිනා වෙවී සචී අයියා ළඟට වුනා.

සචී අයියා මම කලින් දවසේ රෑ කරපු වීර ක්‍රියාව රස කර කර ඉරෝෂයටයි අපි අයියටයි කිව්වා. උන් දෙන්නටත් හිනා, ඒ මදිවට පුදුමයි.

" මුව නම් පුතේ උඹට හදාගන්න බැරි වෙනවා ඔහොම ගියොත්. මූ නිසා උබට කවදා හරි ලොකු අමාරුවක වැටෙන්න වෙනවා.."
අපේ අයියා සචී අයියට කිව්වේ හිනා වෙවී

" උඹ නම් මාර ඩයල් එකක් බං. එළ කොල්ලෙක්නේ.." ඉරෝෂයා මගේ පිටට ගහලා කිව්වා.

අපි කෑම ඕඩර් කරලා උඩට ගියා. අපි වෙස්ටන් ටයිප් ලන්ච් එකක් ගත්තේ.
කාල බීල ඉවර උනාට පස්සේ මම ස්පෙෂල් රිකුවෙස්ට් එකක් දාලා තිබුණ කේක් එක අරගෙන ඒකෙ වැඩ කරන බෝයි කෙනෙක් ඇවිත් අපේ ටේබල් එකෙන් තිබ්බා. ඒකේ 19 කියලා කැන්ඩ්ල් එකකුත් පත්තු කරලා. පොඩි චොකලට් කේක් එකක්. සචී අයියගේ මුහුණේ සතුට උතුරනවා. අපි තුන් දෙනාම " Happy Birth Day " සෝන්ග් එක කියලා එයාට විෂ් කලා. එයා කැන්ඩ්ල් එක නිවලා කේක් ඒක කැපුවා. ඉස්සෙල්ලම කෑල්ල කැව්වේ මට. මම එයාට චූටි කිස් එකක් දුන්නා. ඊට පස්සේ අයියට, ඊට පස්සේ ඉරෝෂයට කේක් කැව්වා. 

" මේ තමයි මට තිබුණු හොඳම බර්ත්ඩේ එක. තෑන්ක්ස් හිරූ.."

සචී අයියා මගේ දිහා බලාගෙන කිව්වම එයාගෙ එහා පැත්තේ වාඩි වෙලා හිටිය අපේ අයියා එයාගේ පිටට තට්ටුවක් දැම්මා. 

එදා හවස අපි හතරදෙනාම ගංගාරාම පන්සලට යන්නත් අමතක කලේ නැහැ. මට ඕන වුණා බුදුහාමුදුරුවන්ට, දෙවියන්ට ස්තූති කරන්න... මට ලැබුන ආදරයට... මට ලැබුනු හැමදේටම..

හිතාගන්න බැරි හැඟීමකින්, ආදරේකින් හිත පිරුණම බුදු හාමුදුරුවෝ ඉස්සරහට ගිහින් කියන්න ගොඩක් දේවල් තියෙනවා. මගේ සචී අයියා දැන් මගේම වෙලා. පෙරුම් පුරන්න බලාපොරොත්තුවක් දැන් මගේ හිතේ තියෙනවා.
" සචී අයියා... ඒ තමයි මගේ එකම බලාපොරොත්තුව.. මගේ හීනේ.. මගේ හැමදේම සචී අයියා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් මගේ සචී අයියව පරිස්සන් කරන්න... හැමදාම.. මගේ සචී අයියව රැකගන්න "
මම ඇස් දෙකත් වහගෙන ගොඩක් වෙලා ප්‍රාර්ථනා කලා...



"ඔබ හීනයක් හීනයක් වී හිදින්න මාගේ නෙතු දැහැනේ...
මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ...
ජීවිතේ වේදනා සුළඟේ පාවුණා.. 
ආදරේ කදුලු ගංගා මල් වරුසාවක් උනා ..
ඔබ ආයේ ආයේ ආයේ ඇවිදින්...
සිහිනේ සැරසුවා.." 






No comments:

Post a Comment