Tuesday, September 11, 2012

Chapter 38 - "කඳුලු මගේ දැන් දුක නෑ..."

මේ ලෝකයේ හැමෝම ආදරයක් ප්‍රාර්ථනා කරනවා. අයිති කර ගන්න බැරි වුණත් හිතින් හරි ඒ ආදරය විඳින්න උත්සාහ කරනවා. ආදරයකට පුළුවන් ජීවිතයක් ජීවත් කරවන්න. ජීවිතයකට හීන ගෙනෙන ආදරයම ඒ හීන ආපහු ඉල්ලද්දී, හිතක් කොහොමද හීන දකින්නේ...? ජීවිතයට පාර පෙන්නපු ආදරය මුළු ජීවිතයම අතරමං කරලා දාලා යන්න යනවා නම් හිතක් කාගෙන් නම් පාර අහන්නද.. 


ඒ වගේම මගේ මුලු හිතම අතරමන් වෙලා. සිද්ද වෙන හැම දෙයක්ම මම දරා ගත්තේ ඉවසීමෙන්. හිත ඇතුලේ පත්තුවෙන ලොකු ගින්දරක් නොතිබුණා නෙවෙයි. ඒත් සචී අයියව මගේ ජීවිතෙන් ඈත් කරන්න මට පුළුවන් කමක් තිබුණේ නැහැ. එයා ආපහු ඉස්සර වගේම මට ආදරයෙන් කතා කරන්න පටන් ගත්තා. මගේ ගැන හොයලා බැලුවා, වෙනදටත් වඩා හොඳට. එයා ශාලිකාව මීට් වෙන්න යන හැම දවසකම මට කියලයි ගියේ. මම හිතින් සුබ පැතුවා, ඒ දෙන්නට හොඳින් ඉන්න ලැබෙන්න කියලා. මේ හැම දෙයක් දිහාම බලාගෙන තව කෙනෙක් හිටියා. ඒ මගේ අයියා සඳරු..

දවසක් මම ස්කූල් ගිහින් ඇවිත් ටීවී එක දාගෙන සූර පප්පා බලනවා. ඒ දවස් වල හවස 3.30 ට විතර තමයි ගියේ. මම බොරුවටත් එක්ක කෑ ගගහා හිනා වෙනවා ඒක බල බල. ඒ මම දුකින් ඉන්න වෙලාවට. ටික වෙලාවකින් අයියත් ඇවිත් මගේ ලඟින් වාඩි වුනා.

" මොකද බං බෙරිහන් දිදී හිනා වෙන්නේ ? "

" හිනා යනවනේ බන්, බලපන්කෝ.. සිරා කාටුන් එක, මම මේ බලන්නේ තුන්වෙනි සැරේට ද කොහෙද.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.. හි..හී..."

අයියා ලොකු හුස්මක් අරන් මගේ ඔලුවෙන් අත තිබ්බා. මම එහෙමම ටීවී එක දිහා බලන් හිටියා. අයියට තේරෙනවා ඇති සිද්ද වෙන හැම දෙයක්ම.

" උඹ දුකෙන් නේද ඉන්නේ ? " අයියා ඇහුවේ මගේ ඔලුව අත ගාන ගමන් 

" එහෙම දුකක් නැහැ බන්.. මම මොකට දුක් වෙන්නද ? " මම කිව්වේ බොරුවක් කියලා අපි දෙන්නම දන්නවා.

" ශාලිකා හොඳ කෙල්ලෙක් නෙමෙයි, මගේ කෙල්ලගේ හොඳම යාළුවෙක් උනත්. ශාලිකා කියන්නේ සචියට මැච් වෙන එකියක් නෙවේ. ඒකි නිලාන් එක්ක යාළු වෙලා හිටියා. ඊට පස්සේ සචියා එක්ක යාලු උනා. ආයෙත් නිලාන් එක්ක ටිකක් දවස් රෝන්දේ ගහලා දැන් ආයෙත් සචියගේ කරේ එල්ලිලා. සචියා රැවටිලා ඉන්නේ. අපිට මුකුත් ඇඩ්වයිස් එකක් දෙන්නත් බැහැනේ. සචියා අමුතු එකානේ ඉතින්. "

" ශාලිකාවත් සචී අයියවත් වැරදි නැහැ අයියේ. සිද්ද වෙන්න තියෙන දේවල් ඒ විදිහට සිද්ද වෙනවා.."

" උඹ ඔහොම දුකෙන් ඉද්දි මට බලන් ඉන්න බැහැ බං.."

" අයියේ.."

" මට කියන්න දීපන්.. උඹට මේ වැරැද්ද සිද්ද වෙන්න මමත් හවුල් කාරයෙක් කියලා වෙලාවකට මට හිතෙනවා... මමයි සචින්තව උඹට යාළු කරලා දුන්නේ ආපහු. ඒ විදිහටම එදා ඒව ඉවර වෙන්න දුන්න නම් අද මෙහෙම වෙන්නේ නැහැ.."

" අයියේ... උඹේ වරදක් නැහැ.. උඹවත්, මම වත්, සචී වත් අපි කවුරුත් වැරදි නැහැ. මේවා වෙන්න තියෙන දේවල් වෙන්න ඇති. මම ඉස්සෙල්ලත් කිව්වනේ..මේකට උඹ හිත අප්සෙට් කරගන්න ඕන නැහැ. මේ මම වගේ ෆන් එකේ හිටපන්.." මම අයියගේ කොණ්ඩ ගස් අවුල් කරලා හිනා වුනා.

" මොනවා වුනත් ශ්‍රීමතී ආන්ටි ශාලිකා වගේ කෙල්ලෙක්ට කවදාවත් කැමති වෙන්නේ නැහැ. ඒක මම දන්නවා. එකිගේ පිට ලස්සන විතරනේ තියෙන්නේ.." අයියා කියවගෙන යනවා 

" ඒවා ඒගොල්ලෝ බලා ගනියි අයියේ.. උඹ ඕව ට මොකුත් කියන්න යන්න එපා.. අනූ එක්කවත් සචී අයියා එක්කවත්. අපි තුන් දෙනා ඉස්සර හිටියා වගේ ඉමු. උඹයි මමයි අම්මයි.."

මම එහෙම කියද්දි මතක් උනේ අයියා තව ටික දවසකින් අපව දාලා රට යනවා කියලා. අයියා මගේ දිහා දුකෙන් වගේ බලන් ඉන්නවා.

" ඔහොම බලන්න එපා බන්.... මට අමතක උනා උඹ යනවා කියලා. ඒත්අ ටික කාලෙකටනෙ.අවුලක් නැහැ උඹ ගියාම අම්මයි මමයි ජොලියේ ඉන්නවා 😆😆😆 "

" පුළුවන්නම් මම උඹවයි අම්මවයිත් අරන් යන්නේ. මම උඹයි අම්මයි නැතුව ඉන්නේ කොහොමද ? "

" අනේ පල පල.. පුළුවන්නම් උඹ අනුව එක්ක යයි.. හි.. හී... "

" පුළුවන් නං ඒකිවත් අරන් යනවා තමයි ඩෝ.." අයියා එහෙම කියලා හිනා වෙනවා.

මම ටීවී එකත් ඕෆ් කරලා හිනා වෙවී රූම් එකට ආවා. සචී අයියා කෝල් කරලා. මම මොකද බලන්න ආපහු ගත්තා.

" හිරූ..."

" ආ.. සචී අයියේ.. ඔයා කෝල් කලාද ? "

" ඔව් පැටියෝ.. දැනුයි ආවේ.."

" ශාලිකාව මීට් වෙන්න ගියාද ? " මම හිතට එකඟව නොවුණත් ඇහුවා. අහන්න එක මගේ යුතුකම නිසා. 

" ඔව්.. දන්නවද මම අද ඇඳන් ගියේ ඔයා මට අරන් දීපු පින්ක් කලර් ෂර්ට් එක. ශාලි කියනවා ඒක සෑහෙන්න ලස්සනයිලු. මට ඉතින් කියන්න හිතුනා මගේ පැටියා තමයි අරන් දුන්නේ කියලා.."

මගෙ පපුව කීරි ගැහිලා ගියා. මම මොකුත් නොකියා බිම වාඩිවෙලා බෙඩ් එකට හේත්තු වුණා.

" පැටියෝ මොකද අද කලේ ? " සචී අයියා අහනවා.

" ස්කුල් ගිහින් අවිත් ටීවි බැලුවා. දැන් තමයි උඩට ආවේ. තාම යුනිෆෝම් එක පිටින්.. "
මම අමාරුවෙන් වචන ගලප ගත්තා.

" ආහ්.. ඒ මොකද ? වොෂ් එකක් දා ගන්නේ නැද්ද ? ඌරු පැටියා වගේ ඇති... හි.. හී... ඔයා කෑවද ? "
සචී අයියා ඉන්නේ අමුතුම සතුටකින්, මට ඒ සතුට ගැන ඉරිසියාවක් නැහැ. එයා සතුටින් ඉන්නව නම් ඒක මගෙත් සතුට. 

" ඔව් ඔයා කෑවද ? "

" ඔව්.. අපි අද ඩයිනමෝර් ගියා. ශාලිට යන්න ආසයි කිව්වා.."

" OK සචී අයියේ.. මම තියන්නම් එහෙනම්, වොෂ් එකක් දාගෙන පාඩම් කරන්න ඕන.." මම හැඟීමක් නැතිව කිව්වා 

" හරි පැටියෝ.. මම එහෙනම් රෑ වෙලා කතා කරන්නම්.. බායි "

" OK සචී අයියේ.. බායි.."

එයා තව මොන මොනවදෝ කියද්දි මම ෆෝන් එක කට් කරලා ඔලූව දණහිස් උඩින් තියා ගත්තා.
ටික වෙලාවකින් SMS එකක් ආවා..
" පැටී... ඔයා මට උම්මා එකක් වත් දුන්නේ නැහැනේ "
මම රිප්ලයි කලා

" Sorry.. "

මගේ ජීවිතේ මොන පැත්තකට යනවද කියලා වත් මට හිතාගන්න බැරිව මම හරිම හිස් විදිහට ජීවත් වුණා ටික දවසක්. මට හිත හදාගන්න කල් ඕන වුණා. ඒත් මම සචී අයියට වෙනසක් පෙන්නුවේ නැහැ. මම එයාට වෙච්ච පොරොන්දු තිබුණා.. කොලේක ලියලා පොරොන්දු වුණු දේවල් තිබුණා, අදටත් මම අදහන්නේ ඒ කොලේ ලියල තිබුණු පොරොන්දු..

" කවදාවත් කිසිම හේතුවක් නිසාවත් ඔයාව මම අතහරින්නේ නැහැ " එදා අපි දෙන්නට දෙන්නා පොරොන්දු වුණ හැටි මට මතක් උනා.

මම වොෂ් එකක් දාගෙන ඇවිත් බෙඩ් එක උඩට වැටුණා. ඇඟටම පණක් නැහැ. මම එහෙමම ඇස් දෙක පියා ගත්තා. දන්නෙම නැතිව නින්ද ගියා. ඇහැරුනේ අම්මා ඇවිත් කතා කරන කොට.

" චූටි පුතා, මොකද මේ නිදි ? නැගිටින්න.. දවල්ට කෑවේ නැද්ද ? "

" බඩගින්නක් නැහැ අම්මා.. මම ස්කූල් එකේදී එක එක ඒවා කාලා ආවේ.." මම ඕනාවට එපාවට කිව්වා.

" දැන් වෙනම ලෙඩක් හදා ගන්නවා නොකා නොබී ඉඳලා.." අම්මා මගේ බෙඩ් එකේ කොනක වාඩි වෙලා මගේ ඔළුව අත ගානවා.

" එක වේලක් කෑවේ නැහැ කියලා ලෙඩ වෙනවද අම්මා ? " මමත් ටිකක් අම්මත් එක්ක හුරතල් වුණා.

" ඔයා මේ දවස් ටිකේම දවල්ට කාලා නැහැනේ චූටි, රෑට කන්නෙත් ටිකයි. මොකක් හරි අසනීපයක් නම් අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යමු.." අම්මා කියද්දී මං හිතුවේ අම්මා අපි ගැන කොයිතරම් විමසිල්ලෙන් ඉන්නවද කියලා.

" මට ඇති අසනීපයක් නැහැ අම්මා.. මේ දවස් ටිකේ මහන්සියි. ඒක නිසා වෙන්න ඇති.."

" තේ එකක් හදන් එන්නද ? "
අම්මා ආයෙත් අහනවා.

" හ්ම්.. හා.. නෙස්කැෆේ එකක්.."

" කිරි දාලා..? " අම්මා අහද්දි මට දුක හිතුනා.

" ඔව්... අම්මා හදන්න අයිටටත් එක්ක, මම පහලට එන්නම්.."

මම නැගිටලා බාත් රූම් එකට ගියේ මුහුණ සෝද ගන්න. කණ්ණාඩියෙන් මුහුන දිහා බලාගෙන මම ටිකක් වෙලා කල්පනා කලා.. මොකක්ද මේ ජීවිතයේ තේරුම.. තව කොච්චර කාලයක් නම් මේ විදිහට දුක් විදින්නද ? මම දුක් විඳින්නේ තේරුමක් ඇතුව නෙවේ නේද.. මොනව වුනත් අම්මටයි අයියටයි පේන්නවත් හිනා වෙලා ඉන්න ඕන. නැත්නම් තව ප්‍රශ්නයක් ඇති වෙයි. මම කැමති නැහැ මගේ දිහා බලලා ඒ දෙන්නා දුක් වෙනවට. මම එහෙම හිතාගත්තා.

---------------------------------------------------------------------------------


ටික දවසක් මේ විදිහට ගතවුණා.අයියා ලංකාවෙන් යන්න ලං වන දිනයත් එන්න එන්නම ලං වුණා. ඒක මගේ හිතට ගෙනාවේ බයක්. අයියත් ගියාම අම්මයි මමයි මේ ගෙදර තනිවෙනවා නේද කියලා මට හිතුණා. ශ්‍රීමති ආන්ටි වුණත් එයාලගේ අලුත් ගෙදර දාලා ආපහු අපේ ගෙදර පදිංචියට එයි කියලා හිතන්න අමාරු වුණා. මොකද ශ්‍රීමතී ආන්ටි නිතරම කිව්වේ අපි එයාලා නිසා ගොඩක් කරදර වුණා කියලා. සචී අයියා ආපහු අපේ ගෙදර නවතින්න එනවා නම් මම කොච්චර සතුටකින්ද හිටියේ, ඒත් දැන් මගේ හිතේ ඒ සතුට නැහැ. ඒ වෙනුවට තියෙන්නේ කිසිම හැඟීමක් දැනීමක් නැති හිස් බවක්.

දවසක් අම්මා ඔෆිස් එකේ ඉඳන් ආවේ හිනා කටක් පුරවගෙන. ශ්‍රීමතී ආන්ටි කැමති වුනාලු අයියා රට ගියාට පස්සේ ඇවිත් අපේ ගෙදර නවතින්න. මට ඒක ගැන ලොකු උනන්දුවක් නැති වුනත් මම වෙනසක් පෙන්නුවේ නැතුව අම්මත් එක්ක සතුට බෙදා ගත්තා. එදා සචී අයියා නායකත්ව පුහුණුව අවසන් වෙලා ගෙදර ආව දවස. කට්ටියට මතක ඇතිනේ ගිය අවුරුද්දේ යුනිවර්සිටි සිලෙක් වුනු අයට " නායකත්ව පුහුණුව " කියලා ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. සචී අයියටත් ඒකට යන්න වුණා.

" පැටියෝ ඔයාට අම්මා කිව්වද ? අපි ආපහු එනවා ඔයාලගේ ගෙදර නවතින්න ඉක්මනටම.. "
සචී අයියා කතා කරන්නේ මොන ලෝකෙක ඉදන්ද කියලා මට ඒ වෙලේ හිතාගන්න බැරි වුණා.

" ඉතින් කොහොමද නායකත්ව පුහුණුව..? "
මම කතාව මාරු කලා.

" අපෝ.. එපා වෙලා හිටියේ මල්ලියෝ.. ඔයාට හම්බ උනාම විස්තර කියන්නම්කෝ.. ඉතින් ඔයා මොනවද කලේ මේ ටිකේ ? ස්කූල් ගියාද ? "

" ඔව්.. ලඟදිම කැම්පස් පටන් ගනී නේද ? "

" හ්ම්..ඉක්මනට පටන් ගත්තොත් හොඳයි.. එතකොට ඉතින් නිදහස්නේ.."

දැනටමත් නිදහස්නේ.. තව මොනවා නිදහස් වෙන්නද..... මම එහෙම කියන්නත් හදලා නිකන් හිටියා. මොනව උනත් මගේ හිත කොනක පුංචි තරහකුත් තියෙන්න ඇති. එදා රෑ කෑම කන්න අපි තුන්දෙනා එකතු වුන වෙලාවේ අම්මා මතක් කලා මාමගේ දුවගේ වෙඩින් එකට ලබන සතියේ කුරුණෑගල යන්න ඕන කියලා.

" ශ්‍රීමති ආන්ටිලත් යනවද ? " අයියා එහෙම ඇහුවා.

" ඔව් ශ්‍රීමතීලට ඉන්විටේශන් නොදී කොහොමද.. මාමයි, මමයි, ශ්‍රීමතී ආන්ටියි අපි තුන් දෙනාම ඒ කාලේ එකටමයි හිටියේ. අපි තුන් දෙනා හොඳ යාළුවෝ. ජයේ මැරි කලාට පස්සේ ශ්‍රීමතී අපෙන් දුරස් වුණා.."
අම්මා ඒ කාලේ ගැන කතා කරන්නේ ගොඩක් සතුටින්.

" අපිට වෙඩින් එකට දවස් දෙකකට කලින් එන්න කිව්වා "

" වෙඩින් එක ගන්නේ ගෙදරමලු නේද ? " අයියා අම්මගෙන් ඇහුවා.

" ඔව්.. බඳින්න ඉන්න බෝයි කිව්වලු ගෙදර ලොකු නිසා, වත්තත් ඕන තරම් ඉඩ තියෙන නිසා, ගෙදරම ගමු කියලා.."

මම අයියගෙයි, අම්මගෙයි කතාවට ඇහුම්කන් දීගෙන කෑම කෑවා. ඇත්තම කියනවා නම් මේ සිද්ද වෙන කිසිම දේකින් මට බලපෑමක් වෙන්නේ නැහැ වගේ මම ජීවත් වුණා.
තවත් කොටසකින් හමු වෙමු...


" නොමියෙන මල් මතක පෙතේ එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත රැඳුනේ නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ 
මේ කඳුලු මගෙ දැන් දුක නෑ...."



4 comments:

  1. monawa kiyantada lahiyo.. hitha thada karaganin kiyanawa arenta wena deyak hithata ennema ne. uba hitha hoda wedida kiyala mata welawakata hithenawa. uben katawath wereddak wela nanewa. oralosuwe katu kerakenne nikan newei...loketa penta hari hina wela inna eka mata hari sathutak kollo.. hina welama inta balapan..

    ReplyDelete
  2. Hi.... Lahiru malli, onna mamath oyage blog eka beluwa. harima lassana wedak. ALL THE BEST !

    -WOOFY-

    ReplyDelete
    Replies
    1. Thank you so much Woofi aiye.. oyage encouragement eka mata godak watinawa. :D

      Delete