Thursday, September 13, 2012

Chapter 39 - "මායා පෑ නෙත්..."


ඊලග සතිය අපේ ගෙදරට උදාවුනේ වැඩ ගොඩක් එක්ක. වෙඩින් එකට කුරුණෑගල යන්න තියෙන නිසා අපේ අම්මයි ශ්‍රීමතී ආන්ටියි දෙන්නා අපි තුන් දෙනාව අරගෙන ෂොපින් ගියා. ඒක මට මහා වදයක් උනත් මම මොකුත් නොකියා හිටියේ අම්මගෙයි අයියගෙයි සතුට වෙනුවෙන්. අපිත් එක්ක ශොපින් ආවත් සචී අයියා නම් නිතරම කලේ Phone එක ඔබ ඔබ ශාලිකා එක්ක text කරපු එක. එයාට අවට ලෝකය ගැන සිහියක් තිබුණේ නැති තරම්.

වෙඩින් එකට දවස් දෙකකට කලින් අපි කුරුණෑගල අම්මලාගේ මහ ගෙදරට ආවා. දැන් එහෙ ජීවත් වෙන්නේ මාමයි, නැන්දයි, සුදු අක්කයි, අපේ කිරි අම්මයි, ඒ කියන්නේ අම්මගේ අම්මා. අපි පොඩි කාලෙ ඉඳන් එයාට කතා කලේ කිරි අම්මා කියලා. 

කුරුණෑගල ආවේ අවුරුදු තුනකින් විතර. මාමලා අපිව බලන්න කොළඹ ආවත් අපිට එහෙ යන්න වෙලාවක් තිබුනෙ නැති තරම්. අම්මා නිතරම හිටියේ බිස්නස් එකත් එක්ක හැප්පි හැප්පි. ඒක නිසා එයා වැඩිය කුරුණෑගල ගියේ නැහැ. ඉතින් අයියයි මමයි යැවුනෙත් නැහැ. ඒත් ඒ මිනිස්සු අපිට හරිම ආදරෙයි.

වෑන් එකෙන් බහිද්දිම කිරි අම්මා ඉස්සරහට දුවගෙන ඇවිත් අයියවයි මාවයි බදාගෙන මූහුණ ඉම්බා. කිරි අම්මා එදා වගේමයි. තවමත් ලස්සනයි. බෝරිච්චි අත් තියෙන හැට්ටයක් ඇඳලා. කපු රෙද්දෙන් මහපු ඔසරිය ඇඳලා. කොණ්ඩ ගුලිය වගේ ගැට ගහලා, කිරි අම්මලා ළඟින් එන්නේ එදා ආපු ඒ ආදරණීය සුවඳමයි. මම ටිකක් වෙලා ඒ උණුහුමට තුරුලුවෙලාම හිටියේ ඒ ආදරයේ සුවඳ විඳගන්න.

" මයේ කොල්ලෝ දෙන්නා උස් මහත් වෙලා දැන්, තාත්තගේ ආරෙට කොල්ලෝ දෙන්නම ගිහින් තියෙන්නේ.."
කිරි අම්මා අයියවයි, මාවයි දෙපැත්තෙන් තුරුළු කරගෙන කියනවා.

" ඔව් ඉතින් මුන් දෙන්නා කවද්ද මගේ ආරෙට ගියේ.." අම්මා එහෙම කියලා අපිට හින්ට් එකක් ගැහුවා.

" එහෙම කියන්න එපා මයේ කොල්ලෝ දෙන්නට.. අම්මා වගේ හිතුවක්කාර උනානම් යසට හිටී.."
කිරි අම්මත් අනිත් පැත්තට කියනවා. එයා නිතරම කිව්වේ අපේ අම්මා හිතුවක්කාරයි කියලා. අම්මා කියනවා මට මතකයි... කිරි අම්මා, මාමටයි අම්මටයි වඩා අපේ තාත්තට ආදරෙයිලු.

වාසනා නැන්දයි, සුදු අක්කියි දෙන්නම දුවගෙන ඇවිත් අපේ සද්දේ ඇහිලා. සුදු අක්කා තමයි මාමගේ එකම දුව. අපි ආවේ එයාගේ වෙඩින් එකට. ඒ දෙන්නත් අම්මවයි, මාවයි, අයියවයි බදාගෙන. හැමෝටම ගොඩක් සතුටුයි
ශ්‍රීමති ආන්ටියි, සචින්ත අයියයි වෑන් එකෙන් බැස්සේ අන්තිමට

" අනේ ශ්‍රීමතී කෙල්ල.. දැක්ක කලක්.. මයේ පුතේ කොහොමද ඉතින්.."
කිරිඅම්මා සචින්ත අයියව දැකලා පුදුමවෙලා. හැමෝගෙම ඇස් වල සතුටු කඳුලු. සචී අයියගේ ඔලුව අත ගාලා එයාගෙත් මුහුණ ඉම්බා. සචි අයියා ඉන්නේ නිකන් අකමැත්තෙන් වගේ. මට තරහත් ගියා.

" අම්මා නම් ඉස්සර වගේමයි, තවම ලස්සනයි.."
මම කියන්න හිත හිත හිටපු දේ ශ්‍රීමති ආන්ටි කිව්වා.

" වයසක මගේ මොන ලස්සනද පුතේ.. එන්නකෝ ගෙට ඉතින්... ඕවා පස්සේ ගන්න බැරියැයි.."

" කෝ නංගි, අපේ මල්ලි පේන්න නැත්තේ ? " අම්මා ඇහුවේ වාසනා නැන්දගෙන්

" එයා ගියා අක්කේ පෝරුව හදන ළමයින්ව එක්ක එන්න. එන්නකෝ ඉතින් ගෙට.. මහන්සිත් ඇතිනේ "

වාසනා නැන්දයි සුදු අක්කයි අපේ අම්මගේ දෙපැත්තෙන් කරට අත දාගෙන. පවුලේ හැමෝම එකතු වෙලා ඉද්දි කොයි තරම් ලස්සනද.. අනේ තාත්තත් හිටියනම් කියලා මට හිතුණා. සචී අයියට කෝල් එකක් ඇවිත් එළියට ගියා. මමයි අයියයි එක ලඟ පුටු දෙකක වාඩි වුණා.

" මොකද බං අරූට වෙලා තියෙන්නේ ? ඕන වෙලාවක බැලුවොත් ෆෝන් එකේමයි. අම්මත් ඇහුවා මොකද කියලා.." අයියා අහනවා

" උන්ගේ අම්මට අවුලක් නැත්නම් අපිට මොකද බන්.." මම හිනා වෙලා එහෙම කිව්වම අයියා බලන් ඉන්නවා මගේ දිහා.

" ඒකත් ඇත්ත. උඹට මම ඉන්නවනේ ඌ නැති වුණාට.." අයියා මගේ ඔළුව අතගාලා කිව්වම මගේ පපුව ඇතුලෙන් ලොකු වේදනාවක් එක්ක ඇස් වලට කඳුළු බිංදුවක් ඉනුවා.

අපි වොශ් එකක් දාගෙන ඇඳුම් මාරුකරලත් ඉවර උනාට පස්සේ තමයි සචී අයියා ෆෝන් කෝල් එක ඉවරවෙලා ආවේ. අයියයි අම්මයි දෙන්නට දීලා තිබුනේ එක රූම් එකක්. සචී අයියට ශ්‍රීමති ආන්ටි එක්ක වෙනම රූම් එකක්. සචී අයියගේ නම් මුහුණ අප්සට් වෙච්ච වැඩේට. ඒත් ඒක ගැන මම සතුටු වුණා හිතේ යටින්. මට සචී අයියත් එක්ක තනි වෙන්න උවමනාවක් තිබුනේ නැහැ. මම ඒකට බය උනා. ඒ ඇයි කියලා මම දන්නේ නැහැ..

අයියයි, මමයි ගෙදරින් පිටට ඇවිත් වත්තේ ටිකක් ඇවිද්දා. අපි දෙන්නගේ වයසේ කවුරුත් හිටියේ නැහැ. තවම ගෙදරට වැඩිය නෑදෑයෝ ඇවිත් නැහැ. හෙට තමයි ගොඩක් අය එන්න ඉන්නේ. මමයි අයියයි වත්තේ ඇවිදිනකොට සචී අයියගෙන් SMS එකක් ආවා.

" මොකද මාව මග හරින්නේ ? මාව එපා වෙලාද ? "
මම ඒ මැසේජ් එක ඩිලීට් කරලා නිකන් හිටියා. රිප්ලයි කරන්නවත් දෙයක් හිතට එන්නේ නැහැ. ටිකකින් ආපහු මැසේජ් එකක්.

" දැන් රිප්ලයි කරන්නත් බැහැ නේද ? කමක් නැහැ " කමක් නැහැ කියලා මම දන්නවා සචී අයියේ.. මම හිතුවට ඒක කිව්වේ නැහැ. මගේ ඇඟට නිකන් අසනීප ගතියක් දැනෙන්න වුණා. කොච්චර හිත තද කරගෙන ඉන්න හැදුවත් ඒක කරන්න ඉඩ දෙන්නේ නැත්තේ ඇයි...

මාමා ආවේ හවස පහට විතර. මාමා ජීප් එකෙන් බැස්සේ හිනා වීගෙනමයි.

" පුතාලා ඇවිත් හුග වෙලාද ? මම ගියා පුතේ පෝරුව හදන්න කට්ටිය එක්ක එන්න.."

මාමා අපි දෙන්නගේ කරට අත දාගෙන ලං කර ගත්තා. මාමට පුත්තු නැති නිසා අයියටයි මටයි ඉස්සර ඉඳන්ම හරිම ආදරෙයි. මාමත් එක්ක පිටිපස්සෙන් ආපු වෑන් එකේ කට්ටිය බැහැලා, පෝරුව හදන්න ගෙනාපු බඩු බිමට බාන්න පටන් ගත්තා. එතැන හිටපු සුදු පිරිමි ළමයෙක් අපි ළඟට ආවා.

" මේ ඉන්නේ උදාර. සුදු අක්කා මැරි කරන්නේ මෙයාව තමයි. පුතේ මේ ඉන්නේ මගේ අක්කගේ පුතාලා දෙන්නා. මීට කලින් හම්බ වෙලා එහෙම නැහැනේ

" හෙලෝ මල්ලිලා... කොහොමද ? සුදු අක්කා මට ඔයාලා ගැන කියලා තියෙනවා.."

" අපිත් අයියා ගැන අහල තියෙනවා අයියේ. ෆොටෝස් එහෙම දැකලා තියෙනවා ෆේස්බුක් එකේ "
අයියයි මමයි උදාර අයියා එක්ක ඉක්මනට යාළු වුණා.

" අනේ ඔයා ආවද ? " සුදු අක්කා එහෙම අහගෙන ඉස්සරහට ආවා. අක්කගෙත් යාලුවෝ දෙන්නෙක් ඇවිත්. උන් දෙන්නම මම දැක්කේ දැන්

" ඔන්න සුදු අද ඔයාලට නිදා ගන්න බැහැ, පෝරුව ගහන්න රෑ එළිවෙනකම් ඇහැරිලා ඉන්න වෙනවා.. පැයෙන් පැයටට මුන්ට කන්න බොන්න දෙන්න වෙයි. නැත්නම් මුන් බෑ කියලා ගෙදර යයි.."

උදාර අයියා එහෙම කිව්වම අපිත් හැරිලා බැලුවා. පෝරුව ගහන්න ඇවිල්ල හිටියේ උදාර අයියගේ යාළුවො තුන් දෙනෙක්.

ඒ තුන් දෙනා අතර දෙපාරක් බලන්න හිතෙන විශේෂ මුහුණක් තිබුණා. කොහේදී හරි දැකල පුරුදු ඒත් හිතා ගන්න බැරි මුහුණ.. කවුද ඒ..? මම බලද්දි ඒ ඇස් තිබුනේ මගේ දිහාවේ. මම ඉක්මනට බිම බලාගත්තා. ආයෙත් බලන්න හිතුනත් මම ඒ ඇස් දෙක මගහැරියා. ඒ ඇයි කියලා මම වත් දන්නේ නැහැ. අවුරුදු 20- 21 විතර ඇති. තලෙලුයි. මගේ උස මහත වගේ. හිනාවෙන ඇස් දෙකක් තිබුනේ.

" ඔන්න මල්ලි ඔයාලා ගෙනුත් සප් එකක් ඕන " උදාර අයියා අපි දෙන්නට කිව්වා.

" අක්කා ඇහැරිලා ඉන්නවද අක්කේ ? " මම සුදු අක්කගෙන් ඇහුවා

" පිස්සුද මල්ලි, මෙන්න මෙයාලට කන්න බොන්න ටික තියලා අපි ගිහින් නිදා ගමු " අක්කත් මගේ කරට අත දාගෙන කියනවා

" ඔන්න එහෙනම් ඔය නිදාගත්තොත් සුදු, ඔයාට පෝරුවක් නැහැ කසාද බඳින්න "

" මටනම් පෝරුවක් ඕන නැහැ.." සුදු අක්කා කියද්දී මට බකස් ගාලා හිනා ගියා.

" තමුසේ මොකද ? " අක්කා මට ඇඟිල්ලෙන් අනිනවා

" පෝරුව නැත්නම් තමුසෙලා දෙන්නා පැනලා යන්න ද හිටියේ ? "

මම ඇහුවම කොල්ලො කට්ටියටම හිනා. අක්කා මට ගහන්න පස්සෙන් එලෙව්වා. මම දුවලා ගියා කිරි අම්මා ළඟට..

" මොකද මොකද මේ.." කිරි අම්මා අහනවා

" අනේ කිරි අම්මේ මේ බලන්න මේ සුදු අක්කා "

" බලන්න කිරි අම්මේ, මූ මාව කොල්ලෝ කට්ටිය ඉස්සරහා පල් කලා.."
සුදු අක්කා මට ගහන්න එහාට පනිනවා මෙහාට පනිනවා, මම කිරි අම්මා පිටිපස්සේ..

" මයේ කොල්ලට ඉන්න දීපන්, හෙට අනිද්දා කසාදෙක යන්න ඉන්න ලමිස්සියක් මෙහෙම දඟලනවද කොල්ලොත් එක්ක.." කිරි අම්මා මාව බේර ගත්තා

" තමුසේ අහුවෙනවකෝ මට.." අක්කා එහෙම කියලා යන්න ගියා

මේ හැම දෙයක්ම සිද්ද වෙද්දි සචීඅයියා කාමරයට වෙලා හිටියෙ නිකන් අමුත්‍තෙක් වගේ, ෆෝන් එක ඔබ ඔබ එයාගෙම ලෝකේ. මම කිරි අම්මා එක්ක කුස්සියට ගියා. අම්මයි ශ්‍රීමති ආන්ටි දෙන්නා බරටම වැඩ

" පුතේ උදාර අයියලා ඇවිල්ලද ? " වාසනා නැන්දා ඇහුවේ මගෙන්

" ඔව් නැද්දේ තව යාළුවෝ හතර 4- 5 දෙනෙකුත් ඇවිල්ලා පෝරුව හදන්න.

" පුතේ මේ බීම ටික ගිහින් අල්ලනවද අයියලට, මේ කෙල්ලෝ හිටියට කිසි වැඩක් නැහැ. ඔයාලා තුන් දෙනාටත් එක්ක තියෙනවා."

" ආහ්.. කමක් නැහැ නැද්දේ, කෝ දෙන්න "
මම බීම වීදුරු තියපු ට්‍රේ එකත් අරන් සාලෙට යද්දී කට්ටිය පෝරුව ගහන්න ඕන කරන දේවල් ගේ ඇතුලට අරන් එනවා. කෙල්ලෝ තුන් දෙනත් කොල්ලෝ ටිකත් එක්ක වැඩ.

මම බීම අල්ලනකොට ඒ ඇස් ආපහු වගේ ඇස් වලට හමු වුණා. මම බිම බලා ගත්තා. අමුතු හැඟීමක් මගේ හිතට ඇවිල්ලා. මම ඔක්කෝටම බීම අල්ලලා ඉතුරු වීදුරු දෙකත් අරන් සචී අයියා ඉන්න රූම් එකට ගියා.
එයා බෙඩ් එක උඩට වෙලා ෆෝන් එකෙන් බර කතාවක්. මම මූහුණවත් නොබලා බීම වීදුරුවක් ටේබල් එක උඩ තිබ්බා. සචී අයියා ෆෝන් එක පැත්තකට කරලා මට කතා කලා.

" ලහිරු, ටිකක් ඉන්න.. බබා මම තව චුට්ටකින් ඔයාට ගන්නම් හොඳද.." මම නැවතිලා එයාගේ පැත්තට හැරුනා

" ඇයි මාව මග අරින්නේ ? " එයා මගේ අත් දෙකෙන් අල්ල ගත්තා.

" මම ඔයාව මග හැරියේ නැහැ සචී අයියේ, ඔයානේ ආපු වෙලාවේ ඉඳන් අපිව මග ඇරලා ඉන්නේ. එලියේ කට්ටිය වැඩ, පොඩ්ඩක් ඇවිත් උදව් වෙන්න. මේක පිට තැනක් නෙවෙයිනේ " මම ඒ අත් දෙකෙන් මගේ අත් ගලවලා ගන්න ගමන් කිව්වා.

" ඒ උනාට මට නිකන් මොකක්ද වගේ, කාවවත් අඳුරන්නේ නැහැනේ.."

" අදුරන්නේ නැත්තේ මොකද ? මේ අපේ පවුල. ඔයාගේ අම්මා පොඩි කාලේ ඉඳන් ආව ගිය තැනක් "

" ඔයා කොහොමද දන්නේ ? "

" අපේ අම්මා තමයි කිව්වේ. ඒකෙන් වැඩක් නැහැ, බීම එක බීලා ඇවිත් පොඩ්ඩක් කට්ටියත් එක්ක මූව් වෙලා වැඩ කරන්න උදව් වෙන්න. මේ මිනිස්සු හරිම හොඳයි " 




" හරි මල්ලි, චුට්ටක් ලඟට එන්නකෝ.." සචී අයියා මාව ලඟට ඇදලා මගේ මූහුණට කිස් එකක් දෙන්න හැදුවත් මම එයාව වැලැක්වූවා.

" මට වැඩ තියෙනවා අයියේ, අනික කවුරු හරි ආවොත්.." මම එහෙම කියලා මගේ බීම එකත් අරන් ආපහු සාලෙට ආවා.

" ලහිරු මලේ, මේ වීදුරු ටික ගෙනියනවද තරහ නැතිව.."
උදාර අයියා කියනවා

" දෙන්න අයියේ "

මම හැමෝගෙම වීදුරු ටික එකතු කලා. අරයා තවම බිම වාඩිවෙලා බීම එක බොනවා, පොඩි එකෙක් වගේ. මම එයා දිහා බැලුවම මගේ දිහාවට වීදුරුව දික් කරලා හිනා වුනා. හිනා වෙද්දි කම්මුල් වල ගැහෙනවා.

" බීලා ඉවර වෙලා දෙන්න අයියේ.." මම හිමීට කිව්වා

" ඇති මල්ලි.."
" මොකද බන් මණිල්​ක..? උඹට ඩයබිටික් ද ? " උදාර අයියා එයාට විහිලුවක් කලා.

මණිල්​ක.... අමුතු නමක්. මටත් මේ මොන විකාරයක් හිතෙනවද ? මම එහෙමම එයාගේ බාගෙට බීලා තිබුණ බීම වීදුරුවත් අරන් ආපහු කිචන් එක පැත්තට ගියා. සචී අයියත් කාමරයේ ඉදන් එළියට ආවේ එතකොට.

" සාලේ අයියා ඉන්නවා.. යන්න.." මම එහෙම කියලා කිචන් එකට ගියා.

මම ආපහු එද්දි සචී අයියා සාලේ පුටුවක් උඩ වාඩි වෙලා මහත්තයා වගේ ෆෝන් එක ඔබනවා. අනිත් කට්ටිය බරටම වැඩ. අපේ අයියයි උදාර අයියයි පෝරුවේ කොටස් එකතු කරනවා. මණිල්​ක අයියා තමයි උපදෙස් දෙන්නේ. මෙහෙම කරන්න, මේක මෙතනට, එහෙම කිය කිය. එයා තමයි පෝරුවේ ඩිසයිනර් කියලා මට තේරුනේ සුදු අක්කා කියපු කතාවකින්.

" මණිල්​ක මල්ලිගේ අයිඩියාස් නරකම නැහැ නේද ? මට මැවිලා පේනවා අනිද්දා උදේට මම මේ පෝරුවේ නැගලා ඉන්නවා.." සුදු අක්කා ආසාවෙන් කියනවා 

" ඔයා විතරද පෝරුවට නඟින්නේ ? හි..හී.." මම ආපහු සුදු අක්කව බයිට් කරන්න ගත්තා.

" අනේ මේ මම තමුසෙට කියන්නේ නැහැ " සුදු අක්කා කියද්දිම උදාර අයියා කතා කලා

" සුදූ, ලහිරු මල්ලී, වෑන් එකේ මැටි කල ටිකක් ඇති අරන් එන්න දෙන්නම. උදාර අයියා අපිට කියනවා

" ඉන්න මල්ලි ඔයාලට තනියෙන් ගේන්න බැහැ.." එහෙම කියලා මණිල්​ක අයියත් අපිත් එක්ක එළියට ආවා.

" ආ.. මේ දෙක ඔයා ගෙනියන්න සුදු අක්කේ, මල්ලියි මමයි ඉතුරු ටික අරන් එන්නම් " මණිල්​ක අයියා සුදු අක්කට මැටි කළ දෙකක් දීලා කිව්වා. සුදු අක්කා ඒ දෙකත් අරන් පැද්දි පැද්දි යනවා අපි දෙන්නා බලන් හිටියා. එක පාරටම මණිල්​ක අයියා මගේ මූහුණ දිහා බලලා හිනා උනා. මම හිනාවෙලා බිම බලාගත්තා ඉක්මනට

" මල්ලි Weights කරනවද ? " මණිල්​ක අයියා මගෙන් අහනවා

" නැහැ අයියේ.." මම එක පාරටම එයාගේ මුහුණ දිහා බැලුවා

" එහෙම නම් මෙච්චර ඉදිමිලා තියෙන්නේ මොකද ? "

" මොනවද ? "

" ඔයාගේ අත පය තමයි, හි.. හී.."

මගේ ඇඳන් හිටපු ටී ෂර්ට් එක ටිකක් හිරයි කියලා මට තේරුනේ එතකොට

" හි.. හී.. ෆුට්බෝල් ප්ලේ කරනවා ස්කූල් එකේ.."

" ආ... ඒක තමයි. දැන් කීය වසරෙද ? "

" 12, 2012 A/L "

" ම්ම්ම් මම 2010 A/L " මම හිතුවා හරි, වැඩි වයසක් නැහැ

" ඔයා මොනවද කරන්නේ කොමස් ද ? "

" නැහැ මැත්ස්.. අයියා නං ආට්ස් වෙන්න ඇතිනේ ? "

" නැහැ මම කලේ කොමර්ස්.. ඇයි එහෙම ඇහුවේ ? "

" නිකන් ඔයා මේ පෝරු හදන බිස්නස් එකක් කරන නිසා "

" හා..හා.. මම බිස්නස් එකට නෙමේ කරන්නේ, ආසාවට. උදාර අයියා අපේ අයියගේ හොඳම යාලුවා ඒකයි "

" කවුද අයියා ? "

" අර නිල් ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ, අන්න එයා "
මණිල්​ක අයියා පොඩි එකෙක් වගේ අත දික් කරලා පෙන්නනවා

මම එයාගේ අයියා දිහා බලලා ආපහු මණිල්​ක අයියා දිහා බැලුවා. දෙන්න හරිම වෙනස්

" ඔයයි ඔයාගෙ අයියයි වගේ නැහැ නේද ? අපි දෙන්නා දෙවිදියක් "

" හැමෝම එක වගේ වෙන්නේ නැහැනේ, අයියා දැන් ජොබ් එකක් කරනවද ? "

" නැහැ මල්ලි මම බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරනවා "

අපි දෙන්නා කතා කර ගේ ඇතුළට ආවා ඉතුරු බඩු ටිකත් අරන්. සචී අයියා මගේ දිහා ඔරවගෙන ඉන්නවා මම ඈතදීම දැක්කා. මම ගණන් ගන්නේ නැතිව මගේ පාඩුවේ හිටියා. ටිකකින් එනවා SMS එකක්.

" මොනවද අරුත් එක්ක ඔච්චර කතාව.." ඒක දැක්කම මට මාරයා වැහුණා

" මොකක් උනාම ඔයාට මොකද ? " මම රිප්ලයි කලා

" මම කැමති නැහැ "

" ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි ! ! ! "

මම රිප්ලයි කරලා ෆෝන් එක සාක්කුවේ දාගත්තා. මම සචී අයියගේ පැත්තවත් බැලුවේ නැහැ. ටික ටික රෑ වුනා. සචී අයියා වැඩිපුර එළියට ආවේ නැහැ. අයියත් සැරින් සැරේ ගිහින් එයාට කතා කලත් එයා ආවේ නැහැ. ඒක නිසා අපි එයාට කරදර කරන්න ගියේ නැහැ. මණිල්​ක අයියා දිහා තමයි හැමෝම බලන්නේ. හරිම පිළිවෙලට වැඩ. එයා හිමීට හිමීට තීන්ත ගානවා පෝරුවේ.

" ඔයාට වැඩක් දෙන්නද ? " එක පාරටම මණිල්​ක අයියා මගෙන් ඇහුවා. මාව ගැස්සුනේ මම එයා දිහාම බලාගෙන ලොකු කල්පනාවක හිටපු නිසා. මම හිනා වෙලා ඔලුව වැනුවා.

" තීන්ත ගාන්න දන්නවද ? " මණිල්​ක අයියා අහද්දි අපේ අයියත් මගේ දිහා බලලා හිනාවුණා.

" පොඩි කාලේ වෝටර් කලර්ස් වලින් නම් ගාලා තියෙනවා " මම කිව්වා.

" මෙන්න මේ පින්සලෙන් මේ මුට්ටි වල ගෝල්ඩ් කලර් එක ගාන්න. හදිස්සියක් නැහැ හිමින් කරන්න "
එයා මට මුට්ටි ටික පෙන්නලා කිව්වා. මම එයා ගාවින්ම බිම වාඩි වෙලා තීන්ත ගාන්න පටන් ගත්තා. අපේ අයියත් ලීයක පේන්ට් කරනවා. අනිත් කොල්ලෝ කට්ටිය වෙන වෙන වැඩ. ටික වෙලාවකින් සචී අයියා එතැනට ඇවිත් පුටුවක වාඩි වුණා.

" මචං මොකද කියන්නේ ගාමුද තීන්ත ? " අපේ අයියා සචී අයියගෙන් ඇහුවේ ඇහැක් ගහලා

" උඹට මහන්සි නම් දීපන් මම ගාන්නම් ටිකක් "

" ටිකක් ගාලා හරි යන්නේ නැහැ බන්, ඔක්කොම ගාන්න ඕන " අයියා එහෙම කියලා දිගටම පේන්ට් එක ගානවා.

" මල්ලි බිම වාඩි වෙලා ගාන්න අමාරුද ? " මණිල්​ක අයියා අහනවා

" නැහැ අයියේ, අවුලක් නැහැ.."

" අමාරු නම් තියන්න හොඳද, මම මේක ඉවර වෙලා ගාන්නම්.." එයාගෙ හිනාව නම් කතා කරද්දිත් ඒ විදිහමයි. පැයකින් විතර සේරම පාට කරන වැඩ ටික ඉවර වුනා.

" ඉස්සෙල්ලා ඇහුවා නේද පෝරුව හදන්න කල් වැඩි නැද්ද කියලා, මේ තීන්ත ටික වේලෙන්න හෙට උදේවත් වෙනවා. ඉතින් කොහොමද හෙට පෝරුව හදන්න තියා ගත්තා නම් ? ම්ම් ? " මණිල්​ක අයියා මගේ දිහා බලන් කියද්දි මම හිනා වෙවී අහන් හිටියා. 

මම නැගිටලා එලියේ තියන ටැප් එක ගාවට ගියා අත් සෝදා ගන්න. වත්ත පුරාම බල්බ් වැල් එල්ලලා, හරිම ලස්සනයි. වෙසක් දවසක් වගේ හිතට පුදුමාකාර හැඟීමක් දැනෙන්න පටන් අරන්. මම ටැප් එක ළඟ තිබුණු බේසමකට වතුර එකක් පුරවලා ඒක දිහා ටිකක් වෙලා බලන් හිටියා. සචී අයියා මේ තරම් වෙනස් වුනේ කොහොමද ? එයා හැසිරෙන්නේ හරියට අපිව අඳුරන්නේ නෑ වගේ. පිට මිනිස්සු වෙලත් උදාර අයියා, මානිල්ක අයියා, එයාලගේ යාලුවෝ අපිත් එක්ක කොච්චර එකතු වුනාද ? යාලු වුනාද ? ඇයි සචී අයියා මේ තරම් වෙනස් වෙලා ? 

" බේසමට තරු වැටිලා නේද ? "එහෙම අහගෙන එතැනට ආවේ මණිල්​ක අයියා

" මොන තරුද ? " මම ඇහුවා.

" අර තියෙන තරු.. අහසේ... හඳ මෙතන.." එයා අහසට ඇඟිල්ල දික් කරලා ආපහු මගේ දිහාවට දික් කලා. මම මොකුත් නොකියා බලන් හිටියා.

" මූණ හෝදන්නද ආවේ ? " මම ටිකකින් ඇහුවා

" ඔව් අත් වල තීන්ත.." එයා පොඩි එකෙක් වගේ අත් දෙක මට දික් කලා

" ඉන්න මම සබන් කෑල්ලක් අරන් එන්නම් " මම ආපහු ගේ ඇතුලට යන්න හැරුනා

" මේ සඳ.. ටවල් එකකුත් අරන් එන්න.." මණිල්​ක අයියා කියද්දි මම අමාරුවෙන් හිනාව තදකරගත්තා.

" සඳ මම නෙවේ, අපේ අයියා.. එයා සඳරු.."

" ඔයා ලහිරුනේ.. මට අමතක උනා, අවුලක් නැහැ, සඳ වගේද හිරු නේ ? " මේකාගේ කටට කොහෙන් එනවද මන්දා මේවා

මම ආපහු ගේ ඇතුලට ඇවිත් සබන් කෑල්ලයි, ටවල් එකයි අරගෙන ආපහු ටැප් එක ගාවට ආවා. මම සබන් කෑල්ල එයාගේ අතට දීලා ටවල් එක උරහිසට දාගත්ත.

" දැන් පෝරු කීයක් විතර හදලා තියෙනවද ? "

" වැඩිය නැහැ 7- 8ක් වගේ "

" කොහොමද පෝරු හදන්න ඉගෙන ගත්තේ ? "

" ඉස්සර ඉඳන්ම ආසයි ක්‍රියේටිව් වැඩ වලට. ඒක නිසා ටික ටික මේ පැත්තට ඒවුනා.."

" ම්ම්.. සංසාර පුරුද්ද වෙන්න ඇති.." මම කිව්වා නෙමේ කියවුනා

" හැමෝටම සංසාර පුරුදු තියෙනවද ? " මණිල්​ක අයියා මගේ ඇස් වලට එබුනේ සචින්ත අයියා ඉස්සර කරනවා වගේමයි.

" ඔව්.. තියනවා.." මම හිමීට වචන එකතු කලා

" සමහරවිට වෙන්න ඇති. සමහර අයට කෙනෙක්ව දැක්කම හරියට හුරු පුරුදු ගතියක් දැනෙනවා.. ගිය ආත්මයේ එකට හිටපු පුරුද්ද වෙන්න ඇති නේද ? " එයා මගේ දිහා බලාගෙන ඇහුවේ හරි කල්පනාවකින්

" ම්ම්ම්... වෙන්න පුළුවන්.."

" රාමයි, සීතයි වගේ.."

එයා එහෙම කියලා මගේ කරේ තිබුන ටවල් එක ගත්තේ අහන්නෙවත් නැතුව.
මමත් පහත් වෙලා මුහුණ සෝදන්න පටන් ගත්තා. ටික වෙලාවකින් අපේ අයියයි, අනිත් අයියලයිත් එතැනට ආවා. ඒයාලා ඇවිත් මුහුණ අතපය සෝද ගන්න පටන් ගත්තා. මණිල්​ක අයියා මගේ ටවල් එකත් අරන් ගෙදර පැත්තට ගියා. මම දුවලා එයාගේ පස්සෙන් ගියේ ටවල් එක ඉල්ල ගන්න.

" ටවල් එක දීලා යන්නේ පොලිසියෙන්ද ? " මම දුවලා ගිහින් මණිල්​ක අයියගේ අතින් ටවල් එක ගත්තා.

" ආහ්.. නොදී යන්න හැදුවේ, කාගෙද ටවල් එක ඔයාගේ නේ ? "

" ඔව් "

" මට හිතුනා.."

" ම්ම්ම්... ඒ කොහොමද? "

" මට ආවා බේබි කොලෝන් සුවඳක්.." එයා එහෙම කියලා හිනා වුණා.

මණිල්​ක අයියා මගේ හිතට බලෙන් ඇතුළු වෙන්න හදනවාදෝ කියලා මට හිතුනා. ඒත් මට එහෙම ඕන වුණේ නැහැ. හැබැයි අවංකවම මම ඒ අහිංසක කොල්ලට කැමතියි. කිසිම ආඩම්බර කමක් නැති බොරු විච්චූරණ නැති සරල අහිංසක කොල්ලෙක් නිසා. ඒත් සචී අයියට මම අදටත් ආදරෙයි. මැරෙනකන් ආදරය කරයි. එය බෙදුවා වගේ මගේ හිත තවත් කෙනෙක්ට නම් මම බෙදන්නේ නෑ... නෑමයි. මම එහෙම හිතාගෙන මණිල්​ක අයියගේ පස්සෙන් ගේ ඇතුලට ආවා.



"සඳක් වගේ ඔයා ඒ ටික කාලයේ 
සිහිලස මට පෙන්නුවා 
සැනෙකින් සැඟවී ගියා 
පණ මෙන් කල සෙනෙහේ සුවඳයි 
ජීවිතේ සමඟින් කෙරූ සරදම් කුරිරුයි.. 
දැන් පවා.. 

කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා 
වැඩි කාලයක් දුක් වින්දා 
ඒ කාලයේ ආදරේ කලේ 
මුලු හදවතින් නිසා විඳිමි වේදනා 
කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා.." 



No comments:

Post a Comment