Tuesday, September 11, 2012

Chapter 37 - "LOST AGAIN..."

එදා සචී අයියා ලග තුරුල් වෙලා හිටියට පස්සේ මට හැම ප්‍රශ්නයක්ම අමතක වුනා. අමතක කරන්න උත්සාහ කලා කිව්වොත් හරි. ඒ මට ශාලිකා ගැන සචී අයියගෙන් අහන්න බය හිතුන නිසා. ඒත් ඒක මගේ හිතේ නිතරම හොල්මන් කලා. මට පාඩම් වැඩක් වත් හරියට කරගන්න බැරි වුණා ඒ දවස් ටිකේ. අන්තිමට ඕන එකක් වෙද්දෙන් කියලා මම හිත හදාගන්න උත්සාහ කලා. ඒත් මට සචී අයියගේ හැසිරීම්වල වෙනසක් දැනුණා. එයාගේ කතාබහත් මාත් එක්ක අඩු වුණා. ඒ මට දැනුන විදිහ වෙන්න ඇති කියලා මං හිත හදාගන්න උත්සාහ කලා. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා දැණුනේ වෙනදට පැයෙන් පැය එන කෝල්ස්, SMS, අඩු වෙද්දී. අපි මීට් වෙන එක අඩුම වෙද්දි.




" ලහිරුවා... මොකද බං උඹට වෙලා තියෙන්නේ...? "

ඉරෝෂයා දවසක් ෆුට් බෝල් ප්‍රැක්ටිස් ඉවර වෙලා අපි ග්‍රවුන්ඩ් එකේ වාඩි වෙලා ඉද්දි මගෙන් ඇහුවා.

" ඇයි බන් ? "

මම ඇහුවේ කිසිම හැඟීමක් නැතුව කියලා ඉරෝෂයට තේරෙන්න ඇති.

" උඹ ඇයි බං හූල්ල හූල්ල ඉන්නේ..? මොකක් හරි ප්‍රශ්නයක් නේද ? කියපන්... සචින්තයා එක්ක තරහ වුනාද ? "

" නැහැ ඉරෝෂයා.. මන් දන්නේ නැහැ මට මොනවා වෙලාද, මොනවා වෙන්න යනවද කියලා.."

" ඉතින් මොකක්ද වුනේ කියපන්කෝ..? "

" මට හිතේ ප්‍රශ්නයක් තියෙනවා බන්, සචී අයියගෙන් අහන්නත් බැහැ, එයා ඒක ගැන මුකුත් කතා කරන්නෙත් නැහැ.."

මම සචී අයියා ට්‍රිප් එක ගිය වෙලාවේ ශාලිකාලා ඇවිත් හිටපු කතන්දරේ සේරම කිව්වා.

" ඕන එකක් වෙන්න කියලා සචින්තගෙන් මේ ගැන අහපන් "
මගේ කතාව උවමනාවෙන් අහගෙන හිටපු ඉරෝෂයා කිව්වේ මගේ උරහිස මිරිකන ගමන්.

" මම එයාව තනි කර ගන්න පුළුවන් වෙලාවක් බලලා මේ ගැන අහන්නම්. දැන් ඉස්සර වගේ මාව බලන්න එන්නෙත් නැහැ බන්, අඩු තරමේ කෑවද බිව්වද කියලා වත් අහන්නේ නැහැ.."

" හැමදාම එකම විදිහට බලාපොරොත්තු වෙන්න එපා ලහිරුවා.. මිනිස්සු කාලයත් එක්ක වෙනස් වෙනවා "

" මම වෙනස් වෙලා නැහැනේ ඉරෝෂයා.... එහෙනම් ඇයි එයා වෙනස් වෙලා ? ? "
මම අහපු දේට දෙන්න උත්තරයක් නැතිව ඉරෝෂයා මගේ දිහා ටිකක් වෙලා බලන් හිටියා. හිමීට ලොකු හුස්මක් ගත්ත ඉරෝෂයා නැගිටලා මටත් නැගිටින්න අත දික් කරන ගමන් කිව්වා,

" ඒ උඹ ලහිරු නිසා.. එකම එක ලහිරුවා නිසා "

--------------------------------------------------------------------------------

​ඒ වෙද්දි සචී අයියගෙයි ශාලිකාගෙයි එෆෙයාර් එක ආපහු පටන් අරන් කියලා මටයි ඉරෝෂයටයි නිල නොවන ආරංචි මාර්ග වලින් දැන ගන්න ලැබිලා තිබුණා. ඒත් ඒවා ඇත්ත කියල විශ්වාස කරන්න මගේ බොළඳ හිත කැමති වුණේ නැහැ. අන්තිමේදී සචී අයියත් එක්ක කතා කරලා හිතේ තියෙන හැම දෙයක්ම කියලා හිත නිදහස් කරගන්න මට ඕන වුණා. මම ඒක නිසා එයාව හම්බ වෙන්න ඔෆිස් එකට ගියා. සචී අයියා මම යද්දි ඔෆිස් ෆෝන් එකෙන් කාත් එක්කද කතාවක්.

" හරි එහෙනම් මම තියන්නම්, පස්සේ කෝල් එකක් දෙන්නම්.."
එයා මාව දැක්ක ගමන් එහෙම කියලා ෆෝන් එක තිබ්බා.

" අපිට මතක් වෙන්නේ වත් නැහැනේ ? "

මම හිමිහිට එහෙම අහගෙන එයා ඉස්සරහ තිබුන පුටුවක වාඩි වුණා.

" එහෙම එකක් නැහැ බබා.. පොඩ්ඩක් බිසී මේ දවස් වල.. ඇයි හදිස්සියේම මෙහෙ ආවේ ? "

" නිකන්... ඔයත් එක්ක කතා කරන්න හිතුනා ටිකක්.. ඒකයි.."

" ඉතින් කෝල් එකක් දුන්නනම් හරිනේ.."

" මම ආපු එක කරදරයක්ද සචී අයියේ ? "
මම කවදාවත් කොල්ලෙක් ඉස්සරහා තියා කිසිම කෙනෙක් ඉස්සරහ මෙච්චර බැගෑපත් වෙලා නැහැ මේ තරම්.

" අයියෝ මම එහෙම එකක් කිව්වේ නැහැ ලහිරු... පොඩ්ඩක් ඉන්න.."
සචී අයියා එහෙම කියලා ෆයිල් එකක් දිග ඇරගෙන වැඩක් කරන්න ගත්තා. මම මෝඩයෙක් වගේ එයා දිහාම බලාගෙන හිටියා. ටිකකින් එයා ඒ වැඩේ ඉවර කරලා ෆයිල් එක වහලා පැත්තකින් තිබ්බා.

" පොඩි වැඩක් කරලා ඉවර කරන්න තිබුන එකක්.. ඉතින් ලහිරු.. කියන්න.."
දැන් සචී අයියා දිගින් දිගටම මට ලහිරු කියලම කතා කරනවා. මේ වෙනස ට්‍රිප් එක ගිහින් ආවට පස්සේ. මට හිතෙන දේවල් වැරදියි කියලා හිත රවට්ට ගන්න මම ගොඩක් උත්සහ කලා. මම ඒ සුදු මූහුණ දිහාම බලාගෙන හිටියා.

" ඇයි කතා කරන්නේ නැත්තේ ? කියන්න.."
" මට කියන්න කියන්නේ... ඔයාට කියන්න දෙයක් නැති නිසාද ? "
මම සංසුන් විදිහට ඇහුවා. ඇත්තටම මට දැන් ඉස්සර වගේ තරහ එන්නෙත් නැහැ. දුක හිතෙන්නෙත් නැහැ.."

" කොහෙද ගියේ ? "
සචී අයියා අහන්න ඇත්තේ අහන්නම දෙයක් නැති නිසා වෙන්න ඇති.

" ෆුට්බෝල් ප්‍රැක්ටිස් ගියා.."

" ඒක තමයි කළු වෙලා වගේ, මහන්සි නම් ගෙදර යන්න ලහිරු.."

" මට කතා කරන්න ඕන.."

ටිකක් වෙලා කතා නොකර හිටපු මම කිව්වා. ඒක කරන්නම ඕන දෙයක් කියලා මට මතක් උනා. අපි යන්නේ කොහෙටද, කරන්නේ මොනවද කියලා අපි දැනගෙන ඉන්න ඕන කියන එක...
මට ඉරෝෂයා කිව්ව දෙයක් මතක් වුනා.

" කොල්ලෙක් විදිහට... පිස්සෙක් වගේ ආදරය කරන්න බැහැ. ආදරය කරනවා කියලා මෙච්චර හිතින් දුක් විඳින්නත් බැහැ. දුක් විඳින එක එකක්. ආදරයක් පස්සේ ගිහින් නාස්ති වෙන එක තවත් එකක්.."

" මොකද ගහ ගන්න වගේ ?" සචී අයියට ඒ වෙලාවේ තරහා ආවා

" මම එච්චර චන්ඩි නැහැ, පුළුවන්ද බැරිද කියලා විතරක් කියනවද ? "
අපි අපෙන් ඈතට යනවා කියන එක මට ටික ටික තේරුනා. ඒත් ඒකට හේතුව මොකක්ද කියලා මට දැනගන්න ඕන වුණා.

" කීයට ද ? "
සචී අයියා ඇහුවේ උවමනාවට එපාවට වගේ

" මම දැන් ගෙදර යන්නේ.. ගෙදර එන්න.."

" එහේ කතා කරන්න බැහැ.."
සචින්ත අයියා ගත් කටටම කිව්වේ පොල්ලෙන් ගහන්න වගේ.

" අපි හම්බ උනේ ඒ ගෙදරදි, ජීවත් වුණේ... ආදරය කලේ...ඒ ගෙදරදි.. අනිත් හැම දෙයක්ම සිද්ධ වුනෙතේ ගෙදරදි.. ඇයි දැන් බැරි ? "

මම කෙලින්ම සචී අයියගෙන් ඇහුවා. එයා උත්තරයක් නොදී අතේ තිබුන මොබයිල් ෆෝන් එක ඔබ ඔබ හිටියා.

" මම කැමති නැහැ.. එච්චරයි.."
සචී අයියා හෙමින් ඒත් තදින් කිව්වා.

" ඔයා දැන් හරි ගණන් නේද ? වචනයක් ඔයා එක කතා කරන්න බැහැ, හරි.. කමක් නැහැ.. මට කොහෙටද එන්න කියන්නේ ? "

" KFC එකට එන්න. 5.30 ට "

KFC එකත් අපේ ගෙදර අතර දුරත් කිලෝමීටර් එකට වඩා අඩුයි. සචී අයියගේ මේ වෙනස මට හිතාගන්නවත් බැහැ.

" Ok මම 5.30 ට එන්නම් "

--------------------------------------------------------------------------------

හවස 5.30 වෙද්දී මම KFC එකට ගියා. සචී අයියා ආවේ ඊට විනාඩි 15 ක් විතර පරක්කු වෙලා. කෙලවරක තිබුණ මේසෙක අපි දෙන්නා වාඩි උනා මුහුණට මුහුණ බලාගෙන. මම කතා කරන්නත් කලින් සචී අයියා කතාව පටන් ගත්තා.

" මම ඔයත් එක්ක කතා කරන්න හිතාගෙන හිටියේ ලහිරු.. ඒත් මට ඒකට වෙලාවක්.. ඇත්තම කියනවා නම් මට මේ දේ ගැන කතා කරන්න බයයි.."
සචී අයියා බරපතල විදිහට කියද්දී මගේ හිත හිරි වැටිලා ගියා.

" කමක් නැහැ.. මට කියන්න බැරි දෙයක් ඔයාට නැහැනේ සචී අයියේ... කියන්න.. මම අහගෙන ඉන්නම්.."

" මම දන්නේ නැහැ ලහිරු මේක කොහෙන් පටන් ගන්න ද කියලා.. මට පොරොන්දුවක් වෙන්න.. මාත් එක්ක කවදාවත් තරහ වෙන්නෙත් නැහැ.. මාව දාලා යන්නෙත් නැහැ කියලා.."
සචී අයියා මේසේ උඩ තිබුන මගේ අතක් අල්ලගෙන මගේ ඇස් දිහා බලාගෙනම කියනවා.

" මම.. මම ඔයත් එක්ක තරහ වෙලා ඉන්නේ කොහොමද.. ඔයාව.. දාලා යන්න.. මොනවද මේ කියන්නේ ? "

" මට බයයි, ඔයා කලින් සැරේ වගේ මගෙන් ඈත් වෙයි කියලා.."

" කලින් සැරේ වගේ ආපහු වෙන්නේ නැහැ සචී අයියේ.. මොකක්ද ප්‍රශ්නය කියලා කියන්න.. මම තරහා වෙන්නේ නැහැ.."
හිත තදකරගෙන එහෙම කිව්වත් ඊළඟට වෙන්න යන දේ මට හිතාගන්න පුළුවන් උනා.

" ඔයා දන්නවනේ මල්ලි.. මට ඉන්නේ අම්මා විතරයි.."

" එතකොට මම..?" මට ඒක වචන වලට පෙරලගන්න බැරි වුණා.මම හිතුවා විතරයි.

" අපේ අම්මා කවදහරි මට මැරි කරන්න කියයි, ඔයාටත් කවදහරි ගර්ල් කෙනෙක්ව මැරි කරන්න සිද්ද වෙනවා.."
එයා එහෙම කියලා මගේ දිහා බලන් ඉන්නවා.

" කියන්න සචී අයියේ.. මම අහගෙන ඉන්නේ.."
මම අත් දෙක බැඳගෙන එයා දිහා බලන් ඉන්නවා.

" අම්මට දුකක් දෙන්න මම කැමති නැහැ, අම්මා මගේ ගැන ගොඩක් හෝප්ස් තියාගෙන ඉන්නවා මල්ලි.. මම එයාට සතුටක් දෙන්න ඕන. මම හොඳට ඉගෙන ගන්න ඕන.. හොඳ ජොබ් එකක් කරලා අම්මව බලාගන්න ඕන..එයා කවදා හරි මගෙන් හොඳ ලේලි කෙනෙකුත් බලාපොරොත්තු වෙනවා.. ඒක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.."

" හිතනවද ශාලිකා ඔයාට හොඳ වයිෆ් කෙනෙක් වෙයි කියලා ? ශ්‍රීමතී ආන්ටිට හොඳ ලේලි කෙනෙක් ? "
මම කෙලින්ම ඇහුව විදිහට සචී අයියගේ මුහුණ රතු වුණා.

" ශා.. ලිකා.. ආ..ආ.. ඔයා කොහොමද ? "
සචී අයියාගේ වචන පැටලෙනවා.

" සචින්ත.. ඔයා ගැන මට වඩා හොඳට ඔයා ගැන කවුරුත් දන්නේ නැහැ..ඔයාගේ එක මූමන්ට් එකකින් මට හැම දෙයක්ම කියන්න පුළුවන්.. මටත් අද කතා කරන්න ඕන උනේ මේක ගැන තමයි සචී අයියේ.. ඔයා කියන්න හදන්නේ ඔයයි ශාලිකයි ආපහු යාලුයි කියල නේ ? ඒකට මම බාධාවක්.. හරි නේද..? "

මම කෙලින්ම සචී අයියගේ ඇස් දිහා බලාගෙන කතා කරද්දි එයාගේ මුහුණ පහතට හැරුනා.. එයා හිමිහිට ලේන්සුව අරන් මුහුණේ මතුවෙච්ච දාඩිය පිහදා ගත්තා.

" මම එහෙම ඔයා බාධාවක් කියල කිව්වේ නැහැ මල්ලි.. මට මේක හොරෙන් කරන්න බැහැ.. මම දන්නේ නැහැ මම ශාලිකාට කැමති ඇයි කියලා.. එත් මෙතෙක් කාලයකට මගේ හිත තේරුම් ගත්ත එකම කෙල්ල ශාලිකා කියලා මට හිතෙනවා. එයා අනිත් කෙල්ලන්ට වඩා වෙනස්.. ඔයා වගේ.."
මම මුකුත් නොකියා අහගෙන හිටියා.

" මම දන්නේ නැහැ අනාගතයේ කොහොම වෙයිද කියලා.. ඒත් මම හිතනවා ශාලිකටයි මටයි ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.. ඒත් මට ඔයාවත් ඕන මල්ලි.. මට ඔයාව නැති කර ගන්න බැහැ.. ප්ලීස් මාත් එක්ක තරහ වෙන්න එපා. මට කියන්න මම මොකක්ද කරන්න ඕන කියලා ? "

" ඔයාට හොදයි කියලා හිතෙන තීරණයක් අරගෙන ඇතිනේ සචී අයියේ.. මම දන්නවා අපි දෙන්නට අනාගතයක් නැහැ කියලා.. මම ඒක තේරුම් ගත්තේ මීට ටික දවසකට කලින්. මම හිටියා වගේම ඉන්නම්. ඒත් ඔයා වෙන කෙනෙක්ට ආදරය කරද්දි මම කොහොමද හිත හදාගන්නේ කියලා මට හිතාගන්න බැහැ.. ඔයා ශාලිකට 
ආදරෙයිද... ? "

" මම දන්නේ නැහැ ලහිරු.. මම ශාලිකට කැමතියි.. එයා මටත් කැමතියි.. අපි දෙන්නට අනාගතයක් තියෙනවා කියලා මට හිතෙනවා.."

සචී අයියා ඒ දේවල් කිව්වේ කොහොමද කියලා වත් මට හිතාගන්න බැහැ.. ඒ තරම් හිතකට වෙනස් වෙන්න පුළුවන්ද ?

" මම ඔයාගෙන් එකම එක දෙයක් ඉල්ලන්නම් සචී අයියේ.. මට කිසිම කෙනෙක් වැදගත් නැහැ මේ ලෝකේ ඔයා ඇරෙන්න.. ඔයා සතුටින් ඉන්න පුළුවන් තීරණයක් නම් මේ අරන් තියෙන්නේ මම ඔයත් එක්ක ඉන්නවා ඕනම දේකට, මම ඕනම දේකට හෙල්ප් කරනම්.. ඔයා සතුටින් ඉන්න ඕන.. මම එච්චරයි ඉල්ලන්නේ.."

" මාත් එක්ක තරහා වෙන්නේ නැහැ නේද ? කවදාවත්ම ? "
සචී අයියා ආපහු මගේ අතින් අල්ලගෙන අහනවා.

" නැහැ කවදාවත් නැහැ සචී අයියේ.."
මම ඇස් වලට එන කඳුළු අමාරුවෙන් නවත්තගෙන කිව්වා.

" මාව තේරුම් ගත්තට තැන්ක්ස් කොල්ලෝ.. මම උඹට ගොඩක් ආදරෙයි.."
සචී අයියා කියද්දී මම ඒවා අහගෙන හිටියේ හරිම හිස් හැගීමකින්..

" ඕනම උදව්වක් කරන්නම්, ඔයා වෙනුවෙන්.. ඔය දෙන්නා හොඳින් ඉන්න.."

" ඒත් මට ඔයාවත් ඕන මල්ලි.."

" මම නැති වෙන්නේ නැහැනේ සචී අයියේ.. මමත් ඉන්නවා ඔයාට.."
මම ඉතුරු ටික කියාගන්න බැරිව බිම බලා ගත්තා.

--------------------------------------------------------------------------------

එදා සචී අයියගෙන් වෙන් වුනාට පස්සේ මම ගෙදර යන්නේ නැතුව ගාලු පාරේ ඔහේ ඇවිදගෙන ගියා.. මට ගෙදර යන්න හිතුනේ නැහැ.. මම කල්පනා කර කර පාර දිගේ ඇවිදගෙන ගියා. මගේ කල්පනාව මොහොතකට නැවතුනේ ෆෝන් එක රින් වෙද්දි. කතා කලේ ඉරෝෂයා...

" හෙලෝ ලහිරුවා..? "

" කියපන් මචන්.."

" සචින්තව මීට් වුනාද ? "

" හ්ම්.. ඔව්.."

" මොකද වුනේ.. ලහිරුවා..? "

" කලින් සැරේ නොකියා මාව දාලා ගියා, මේ සැරේ.. කියලා ගියා.."
මට ඇත්තටම ඒක කියද්දී ඇඬුණා.

" මොනා..? උඹ කොහෙද ඉන්නේ ? මම දැන් එන්නම්.." ඉරෝෂයා සෑහෙන්න කලබල වුණා.

" නෑ බං.. ඕන නෑ.. මම දැන් මේ ගෙදර යන ගමන්.."

" නෑ.. නෑ.. උඹ ඔය බොරු කියන්නේ.. උඹ ගෙදර යන්නේ නැතුව පාර දිගේ ඇවිදිනවා ඇති.. මම උඹ ගැන දන්නවනේ.. කියපං මට උඹ කොහෙද ඉන්නේ..? මම එනවා දැන්.."

" එපා බන්, උඹ ආව කියලා වෙන්න තියෙන දේවල් වෙනස් වෙන්නේ නැහැනේ බන්.."

" පණ්ඩිතයා නොවී ඉන්න තැනක් කියපන් මම දැන් එනවා.."

" ආර්පිකෝ එක ගාව.."

" හ්ම්ම්... විනාඩි 10 ක් ඔහොම හිටපන් මම එන්නම්.."

" එපා බන්, මම උඹලගේ ගෙදර එන්නම්.."

" හරි වරෙන්, ඒක හොඳයි.."

මම ඉරෝෂයගේ ගෙදර යද්දි ඌ ගේට් එක ලඟ බලන් ඉන්නවා. අපි දෙන්නා කෙලින්ම ගියේ උගේ රූම් එකට. මම උගේ බෙඩ් එකේ හාන්සි වුනා. ඉරෝෂයා මගේ ලඟට ඇවිත් මගේ කර වටේ අත දාගෙන මාව තද කර ගත්තේ ඌටත් දුක හිතුන හින්දා වෙන්න ඇති.

එකපාරටම කොහෙදෝ හැංගිලා තිබුණු කඳුළු වැලක් මගේ ඇස් වලින් කඩන් වැටෙද්දී මම ඉරෝෂයගේ උරහිසේ ඔලුව තියාගත්තා. මම ඇති වෙනකන් ඇඬුවා... ඒ දුකටද... තරහටද...
නැත්නම් වෙන හේතුවකටද කියලා මම දන්නේ නැහැ. මම අඬනකම් ඉරෝෂයා මාව ලං කරගෙන හිටපු එකයි කලේ...




" මගේ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ.....
සිත් මානයේ දැවටෙන්නට මගේ උණුසුම මදිවීදෝ...
ආදරේ මට නම් ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්..." 

6 comments:

  1. Jeevithe hemadema sadakaalika nane Lihiyo. uba eka dannawane. Kaath kauruwth nethi minissu kochcharanan innawada me loke. a athin beluwama ubata amma innawa aiya innawa ona dekata ottu yaluwek innawa. adare karanta ona papuwen thama a unata moleth pavichchi karanta ona me welawata. adare karanakota kepa karanta wena dewal ananthai appramanai newa. hitha hadaganin maye kollo. duk wenta epa...

    ReplyDelete
    Replies
    1. Aththa Kavi.. Sadakalika nathi me jeewithe sadakalika adarayak ipadunama, hithata danena bara wadiyi.. mama me kathawa liyanna hithuwe sachi aiyawa deveni sareta mata nathi wunata passe. eyath dannawa mama ape kathawa liyanawa kiyala. eyath meka balanawa. mama hithuwa meka kiyawaddi wath eyata apita thibuna lassana atheethaya mathak wei kiyala. me kathawa liyana eken mama eya pahu mage lagata eyi kiyala balaporoththu wune na. wenneth na. me adare harima pudumakarayi..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. ane maye kollo uba ohoma kiyanakota mata dukai. mamath kollekuta pana arala love karanawa. adareta serama yatai kiyalath mama dannawa. papuwa pelenakan adare karanakota anith ekagen dasameka hari wenaskamak unoth eka daranta hari amarui kiyalath dannawa. monawa karantada kollo api ekekuta adare karata apita adare karana godak un innawanewa. ubata amma aiya gena balanta thiyenawa. uba gena balaganta thiyenawa. api me jeewathwena aurudu 60ta 70ta apita keedeneknan maga erenawada. api keedenkwa maga arinawada neda. adare karana ekek maga arenakota hithata dukai thamai Lahiyo. ube Sachi aiyawa ubata mageruna kiyala hitha kadaganta epa kollo. api hitha hadagammu. amma gena hithapan nethiwechcha thaththa gena hithapan raththarane. a dennata dukak nodenenta weda karanta hithata ganin. ube hithe gindara nivila yanta aluthen jeevithe patan ganta a pinama athi...

    p.s mama ubata mail ekak demma. lebunada?

    ReplyDelete
    Replies
    1. ube mail ekata uththara yawwe ada dawal ban, hamba wune nadda? :O

      Delete
  3. Liyamana lebuna lahiya. reply ekakuth demma. deweni mail ekath balala ekata uththareth palaweni mail ekatama amunala ewapan

    ReplyDelete