Sunday, September 16, 2012

Chapter 40 - "WHY...?"



සමහර බැඳීම් ජීවිතය අවුල් කරන කොට තව සමහරක් ඒ අවුල් ලිහනවා. ආදරය හිතකින් හිතකට දැනෙන විදිහ වෙනස්. ඒ වෙනස හින්දමයි කාටවත් කවදාවත් ආදරයක් එහෙම පිටින්ම තේරුම් ගන්න බැරි. 

එදා රෑ කෑමෙන් පස්සේ අයියලා කට්ටිය ගෙදර ඉතුරු සැරසිලි කරන්න පටන් ගත්තා. අපි පාන්දර තුන විතර වෙනකම් වැඩ කලා. සචී අයියා නම් පේන්න හිටියේ නැහැ. මම වැඩ කරන අතරේ එයාගේ රූම් එකට ගිහින් බැලුවා. කොට්ටියකුත් තුරුල් කරගෙන අනිත් පැත්ත හැරිල නිදි. ඒ දිහා ටික වෙලාවක් බලන් හිටපු මම ආපහු ඇවිත් වැඩ වලට එකතු වුණා.

වැඩ ඉවරවෙලා කට්ටිය යන්න ලැහැස්ති වුනා. මාමා කිව්වේ අයියලට ඉඳලා යන්න කියලා. ඒත් වෙඩින් එකට කලින් එහෙම නවතින එක සිරිත නෙවෙයි කියලා උදාර අයියම කිව්වා. ඉතුරු වැඩ ටික ඉවර කරන්න උදේට එන්නම් කියලා අයියලා ගියා.

" ගිහින් එන්නම් සඳ " මණිල්ක අයියා මගේ ගාවට ඇවිත් ඔලුව පැත්තකට හරවලා හිමීට කිව්වා.

" Good night aiye.."

" දැන් Good morning " එයා එහෙම කියලා ආපහු හැරුනා.

හවස ඉඳන් හොල්මන් වෙලා හිටපු මට බෙඩ් එකට වැටුන ගමන් නින්ද ගියා. උදේ ඇහැරුනේ කවුරු හරි මගේ ඔලුව අත ගානවා දැනිලා. මම ඇස් ඇරියේ නැහැ, ඒත් සුවඳින් මට තේරුණා ළඟ ඉන්නේ සචී අයියා කියලා. මොන වැරැද්ද කලත්, ඒ හිතට වෛර කරන්න මට පුළුවන්කමක් තිබුනේ නැහැ. මම එහෙන්මම තද කරලා ඇස් දෙක පියා ගත්තා. ටිකක් වෙලා ඉඳල සචී අයියා ගියා. මම එයා ගිහින් ටික වෙලාවකට පස්සේ නැගිටලා වොෂ් රූම් එකට ගිහින් නා ගත්තා. හිත පුරාවටම තිබුනේ පුදුමාකාර කාලකණ්නි කමක්. ඒ කාලකණ්නිකම සේදිලා යන්නත් එක්ක මම ගොඩක් වෙලා නෑවා. උදේ කෑමට තිබුනේ කිරිබත්. මම ආසම කෑමක්. කිරිබත් මේසේ දැක්ක ගමන් මම මෙලෝ සිහියක් නැතිව වාඩිවෙලා පිඟානකට කිරිබත් කෑලි තුනක්ම දාගත්තේ ලොකු ලුණු මිරිස් තලියකුත් එක්ක.

" මල්ලි හිමින් කාපන් බන්.." අයියා කොහේදෝ ඉඳන් ඇවිත් මගේ උරහිසට අතක් තියලා කියනවා.

" ම්ම්... ම්ම්.. මේ උඹ කෑවද ? "

" අපි දෙන්නම තවම කෑවේ නැහැ.." අයියා කිව්වේ සචී අයියා ගැන කියලා මට තේරුණා .

" එහෙනම් කාපන්, තව බලන් ඉන්නේ මොකද ? මේක ඉවර වෙයි.."

" ඔව් ඔව් මම දන්නවනේ මලයන්ඩිගේ හැටි. හිටපන් මම සචියට කතා කරගෙන එන්නම්.."

අයියා ගිහින් සචී අයියවත් එක්ක ඇවිත් කෑම මේසෙට වාඩි වුණා. සචී අයියා මගේ ඉස්සරහම වාඩි වුණේ මගේ මුහුණ දිහා බලාගෙනමයි. ඒ අහිංසක මුහුණ දකිද්දී මගේ පපුව රිදෙනවා. මම ඔයාට කොයි තරම් ආදරෙයිද සචී අයියේ.. අපි තුන් දෙනාම සද්ද නැතුව කෑම කෑවා. මම ඉක්මනට කාලා කෑම මේසේන් නැගිට්ටා.

" ඔය උඹ කාලා ඉවරද ? " අයියා අහනවා

" ම්ම්.. ඇති.." මම එහෙම කියලා කිචන් එක පැත්තට ගියා. අම්මලා බරටම වැඩ. කිරි අම්මත් පැත්තක ඉඳන් කට්ටියට උපදෙස් දෙනවා.

" පුතේ ඔයාලා කෑම කෑවද ? බලන්නත් බැරි වුනා " වාසනා නන්දා මාව දැක්ක ගමන් ඇහුවා.

" ඔව් නැන්දේ.. කිරිබත් රසයි.." මම කිව්වා.

" අපි ඒත් කතා වුනා චූටි පුතාට කිරිබත් තියෙනවා නම් වෙන මොකුත් ඕන නැහැ කියලා.."

ශ්‍රීමතී ආන්ටි හිනා වෙවී කිව්වම එතැන හිටපු අනිත් ගැහැණු අයත් මගේ දිහා බලලා හිනා උනා. මට පෙරලෙන්නෙම මේ වගේ බාල්දි තමයි. මාව රතු වුනා..

" නැන්දේ මොනවා හරි වැඩක් තියෙනවා නම් කියන්න " මම ඒ කතාව මඟ හරින්නත් එක්ක නැන්දට කිව්වා.

" මොකුත් වැඩක් නැහැ පුතේ, ඉස්සරහ සැරසිලි වැඩ ටිකට උදව් වෙන්නකෝ. අයියලා කට්ටිය ඔයාව ඇහුවත් එක්ක.." නැන්දා කියද්දි මම ඔළුව වනලා සාලේ පැත්තට ගියා.

මණිල්ක අයියා පෝරුවේ අන්තිම සැරසිලි ටික කරනවා. කළු ටී ෂර්ට් එකයි, බ්‍රවුන් පාට ත්‍රී ක්වාටර් ශොර්ට් එකකුයි ඇඳලා පොඩි එකෙක් වගේ. මම ටිකක් වෙලා බලන් හිටියා එයාගේ වැඩ වල හුරුබුහුටි කම. හරිම නීට්. ඒත් එක්කම මට මතක් උනා සචී අයියා කෝච්චර නීට්ද කියලා. පිළිවෙල කියන එක මම ඉගෙන ගත්තේ එයාගෙන්. ඒත් අද.. පිළිවෙලට ලස්සනට හදපු මගේ ජීවිතයම අවුල් කරලා දාලා එයා යන්න ගිහින්. 

" හෙලෝ සඳ.. මොකෝ බර කල්පනාවක.." මණිල්ක අයියා මගෙ ලඟට ඇවිත් කතා කරනකම් මම දැක්කේ නැහැ.

" ම්ම්.. මුකුත් නැහැ. Good morning.."

" එසේම වෙන්ට ඕනි.." එයාට හැම එකම විහිලු

" පෝරුවේ වැඩ ඉවරද ? "

" මල් වැල් ගෙනත් එල්ලන්න විතරයි තියෙන්නේ. ඒව හෙට උදේට තමයි. නැත්නම් මල් පරවෙනවනේ.."

" මල් නැතුවත් හොඳයි.." මම පෝරුව දිහා බලාගෙන කිව්වා.

" මල් නැති වුනාම පාලුයි වගේ.."

" මට තේරුමක් නැහැ ඔයානේ ඉතින් ඕව දන්නේ.." මම එයාගේ මුහුණ දිහා බලාගෙනම කිව්වා

" සඳටත් ඕව තේරෙයි පෝරුවට නග්ග ගන්න කෙනෙක් හොයා ගත්ත කාලෙක "

" මට නම් එහෙම ඕනේ නැති වෙයි. ඔයා නම් හොයාගෙන ඇති නේද දැන් ? "

" තවම නම් නැහැ, අනික පෝරුවේ නගියිද, ඔයා ඊයේ සුදු අක්කට කිව්වා වගේ පැනලා යන්න වෙයිද දන්නේ නැහැනේ.."

එයා ඇහැක් ගහලා කිව්ව විදිහට මට හිනා නොවී ඉන්න බැරි වුණා. එදා දවස ඇතුලත අපිට කරන්න මහ ගොඩක් වැඩ තිබුනේ නැහැ. සචී අයියා නම් පේන්න වත් හිටියේ නැති තරම්. මමත් කාමරයට ගිහින් තනි වෙන්න හැදුවත් ඒකට ඉඩක් ලැබුනේ නැහැ. අම්මා ඇවිත් කෑ ගැහුවා නිදාගෙන ඉන්නේ නැතිව එලියට ගිහින් පොඩ්ඩක් වැඩක් පලක් කරන්න උදව් වෙන්න කියලා. අපේ අයියට නම් කොල්ලෝ ගැන්සිය එලටම ෆිට් වෙලා. අපේ අයියා කොහොමත් ඉක්මනටම ඕන කෙනෙක් එක්ක යාලු වෙන හිත හොඳ කොල්ලෙක්.

" චූටි මල්ලි එන්නකෝ, අපි මේ බැලුවා ඔයා කොයි කියලා.." උදාර අයියා කියනවා

" අනේ මල්ලි පැටියෝ, මුළුතැන් ගෙයි පැත්තට ගිහින් බලලා එන්නකෝ කන්න බොන්න දෙයක් නැද්ද කියලා. දවල්ට කෑවට පස්සේ තවම කෑවේ නැහැ.."

මණිල්ක අයියගේ, අයියා තේනුක අයියා මට කියනවා.

" ඉන්න චුට්ටක්. මම හොයන් එන්නම්.." මම එහෙම කියලා කිචන් එක පැත්තට ගියා. කිරි අම්මා කට්ලට් බදිනවා.

" කිරි අම්මේ, අයියලා කන්න මොකුත් ඉල්ලනවා.. බඩගිනියිලු.." මම කිව්වේ වට්ටියේ තිබුන කට්ලට් එකක් අරන් කන ගමන්.

" මේ හවසට තේ බොන්න තමයි මයේ පුතේ හදන්නේ.. මේ ටික එහෙනම් පීරිසියකට දාගෙන යන්නකෝ, මම තේ හදලා එවන්නම්.." කිරි අම්මා මට කිව්වා

" ළමයි කී දෙනෙක් ඉන්නවද මයේ පුතේ.." නැන්දා අහනවා

" වත්තේ සැරසිලි කරන අයද නැන්දේ ? "

" නැහැ උදාර පුතාගේ යාලුවෝ, අනිත් අයට මම වෙනම තේ එවන්නම් "

" උදාර අයියගේ යාලුවෝ හතර දෙනයි " මම කට්ලට් පිගානකුත් අරන් එලියේ වැඩ කරන අයියලා ගාවට ගියා.

" අනේ මල්ලියෝ නිවන් ගියා වගේ, මම ඒකනේ මල්ලියව යැව්වේ. අපේ උදාරයව යැව්වා නම් උස්සගෙන එයි අග්ගලා, වැලි තලප වගේ පැණි රස කෑමක්. යකෝ මේන් බලපන් පොඩි එකත් දන්නවා අපිට හරියන්නේ මේවා කියලා. උඹ නන් පැණි රස ගුලි ගිලලා හදාගන්නව දියවැඩියාව "තේනුක අයියා උදාර අයියව බයිට් කරනවා

" අනේ පල ඩෝ යන්න.. අපි හොඳට ගමේ බත් කාලා හැදෙන කොල්ලෝ. අපිට එහෙම ලෙඩ නෑ හරිද.."

මම හැමෝටම කටලට් බෙදුවා. අන්තිමට ගියේ මණිල්ක අයියා ගාවට. එයා හිනා වෙලා කට්ලට් එකක් අරන් කටේ දා ගත්තා. ඒ හිනාව හරිම අහිංසකයි. මමත් මොනවද මේ හිතන්නේ...

එදා දවසම වැඩ කටයුතු විහිළු තහළු එක්ක ගෙවිලා ගියේ අපිටත් නොදැනීම. මණිල්ක අයියයි මමයි මොබයිල් නම්බර්ස් හුව මාරු කරගන්න තරමට අපි දෙන්නා අතරේ හිතවත්කමක් ගොඩ නැගුණා. එයාගේ ජීවිතයේ ගොඩක් දේවල් එයා මාත් එක්ක කිව්වා. මමත් සචී අයියා ගැන හැරෙන්න මගේ ජීවිතයේ ගොඩක් දේවල් එයත් එක්ක කතා කලා. ඒත් සචී අයියා කියන්නේ මගේ ජීවිතයේ වැදගත්ම දේ. ඒ දේ ගැන කතා නොකර මගේ ජීවිතය ගැන කතා කරනවා කියන්නේ විහිලුවක්

------------------------------------------------------------------

පහුවදා උදේ නමය කුත් ගානට තිබුන සුබ මොහොතින් සුදු අක්කා පුංචි මනමාලියක් වුණා. උදාර අයියත් එක්ක ඒ දෙන්නා පෝරුවට නැගලා ඉද්දි මට පෙනුනේ පොඩි කාලේ අපි සුරංගනා කතන්දර පොත් වල කියවපු චරිත. ඒ හැම කතාවක්ම ඉවර වුණේ හොඳ අවසානයකින්. ඒත් ඒවා සුරංගනා කතා වලට විතරක් සීමා වුන දේවල්ම නෙවෙයි කියලා මට හිතුණේ උදාර අයියයි, සුදු අක්කයි දිහා බලද්දි.

වෙඩින් එක ගොඩක් ලස්සනට කෙරුනා. හැමෝම සැරසිලි ඒ වගේම පෝරුව ගැන වර්ණනා කලා. හැමෝම මණිල්ක අයියට හොඳ කිව්වා. එයා ඒ හැම කෙනෙක්ගෙම ප්‍රශංසා බාර ගත්තේ ගොඩක් නිහතමානි විදිහට.
එදා හවස සුදු අක්කා පිටත් වෙලා යද්දී අපි හැමෝටම දුක හිතුනා. එයා අපි හැමෝමව බදාගෙන ඇඬුවා. කෙල්ලෙක් ඉන්න හැම අම්මා තාත්තා කෙනෙක්ටම වැඩියෙන් දුක දැනෙනවා ඇති. ඇයි ඉතින් කවදා හරි පිටට දෙන්න වෙනවනේ. මම ඔය වගේ එක එක දේවල් කල්පනා කර කර හිටියා.

" එහෙනම් මල්ලි අපිත් ගිහින් එන්නම්.. ඔයාලා හැමෝම හෝම් කමින් එකට එනවද ? "
මණිල්ක අයියා මගේ ලඟට ඇවිත් මගේ උරහිසට තට්ටුවක් දාලා කතා කලා.

" අපි හෙට ගෙදර යනවා අයියේ, හෝම් කමින් එකට එහෙන් එනවා.. ඔයා එනවද ? "

" අනිවා එනවා. එහෙනම් ලබන සතියේ හම්බ වෙමු.. ගිහින් එන්නම් සඳ.."

" පරිස්සමෙන් ගිහින් එන්න අයියේ.." මම එයාට සමු දුන්නා.

අන්තිමට ගෙදරින් පිටත් වුනේ උදාර අයියගේ යාළුවෝ කට්ටිය. ගෙදර අස් කරන වැඩ වලට පහුවදා එන්නම් කියලයි ඒ අය ගියේ. ඒත් මානිල්ක අයියා එන එකක් නැහැ කියලා එයාගේ කතාවෙන් තේරුණා. මම අහන්න ගියෙත් නැහැ.

පහුවදා උදේ අපි ආපහු කොළඹ එන්න පිටත් වුනේ පාන්දරින්ම. අම්මට එදා ඉම්පෝටන්ට් මීටින් එකක් තියෙන නිසා අපිට උදෙන්ම එන්න සිද්ධ වුණා. මග දිගට වුණත් සචී අයියගෙයි මගෙයි අතරේ වැඩි කතාබහක් සිද්ධ වුණේ නැහැ. මම අයියත් එක්ක වෑන් එකේ ඉස්සරහා සීට් එකේ ආවා. සචී අයියා පිටි පස්සේ සීට් එකට වෙලා නිදා ගත්තා. අම්මලා දෙන්නා මැද සීට් එකේ.

මොහොතකට මට මතක් උනා මීට මාසකට කලින් අපි කොයි තරම් සතුටින් හිටියද කියලා. ඒත් මේ දේවල් මෙච්චර ඉක්මනට වෙනස් වෙයි කියලා කවුද හිතුවේ. මේවා කොහොම වුනාද වුණාද කවද වුනාද කියලා මට තවමත් හිතාගන්න බැහැ. හරියට හීනයක් දැක්කා වගේ.

" සුභ ගමන් ලබන සතියේ meet වෙමු සඳ.. BS. TC "
මණිල්ක අයියා SMS එකක් එවලා තිබුනා. මට රිප්ලයි කරන්න තරම් හිතක් නැහැ. මම අතරමං වෙලා හිටියේ සචී අයියගෙයි මගෙයි අතීත ලෝකයේ. මම ටිකක් වෙලා කල්පනා කරලා පොඩි ටෙක්ස්ට් මැසේජ් එකක් දැම්මා.

" Thanks aiye. See u. Tc "

------------------------------------------------------------------


එදා අපි ගෙදර ආව ගමන් අම්මා ආපහු ඔෆිස් ගියා. මම ඇඳුම් මාරු කරලා වොෂ් එකක් දාගෙන ඇඳට වැටුනේ ටිකක් නිදාගන්න. ඒත් ෆෝන් එක රිං වෙන්න ගත්තා එක දිගටම. " සචී අයියා "

" හෙලෝ.."

" මට තමුසෙත් එක්ක විසඳ ගන්න ලොකු අවුලක් තියෙනවා. දැන්ම එනවා අපේ ගෙදරට " සචී අයියා කවදාවත් මේ තරම් සැරෙන් මට කතා කරලා නැහැ.

" මොකක්ද වෙලා තියෙන්නේ ? "

" මම පහුගිය දවස් තුන ඉවසගෙන හිටියේ ආපහු එනකම්. දැන්ම අපේ ගෙදට්ට එනවා හොඳ හිතින්.."

" ඔයා මට තර්ජනය කරනවද ? " මට ආවේ තරහක්. කිසිම වරදක් නොකර එක පාරටම මේ මනුස්සයා මගෙ ඇඟට කඩන් පනින කොට 

" තමුසෙට ඕන විදිහක් හිතා ගෙන දැන්ම එනවා "

" මට බෑ ! කියන්න තියෙන්නෙ දෙයක් ෆෝන් එකෙන් කියන්න. නැත්තම් ඔයා මෙහෙට එන්න.."

" ලහිරු.. ලහිරු.. මම මේ හොඳින් කියන්නේ.. ඔයා දැන් මෙහෙ එන්නම ඕන ! "

" ආවේ නැත්නම් ? "

" ආවේ නැත්නම් මම දන්නවා ගෙන්න ගන්න ඕන හැටි "

" එහෙනම් ගෙන්න ගෙන බලමු.." මම එහෙම කියලා ෆෝන් එක කට් කලා. 

සචී අයියා ආපහු දිගින් දිගටම කෝල් කරද්දි මම ෆෝන් එක ඕෆ් කරල දැම්මා. ඊට පස්සේ ගෙදර ෆෝන් එක වදින්න පටන් ගත්තා. ගොඩක් වෙලා රින්ස් ගියත් අයියා ෆෝන් එක ආන්සර් කලේ නැත්තේ නිදි නිසා වෙන්න ඇති. මම ඕන එකක් කියලා ෆෝන් එකට ගියා.

" හෙලෝ.."

" ලහිරු...! ! මගේ මාරයා අවුස්සන්නේ නැතිව එනවද ? මේක ෆෝන් එකෙන් කතා කරලා විසඳගන්න පුළුවන් දෙයක් වුනා නම් මම කියනවා.. ප්ලීස්.. දැන්ම එන්න "

" හරි මම එන්නම්. ඒත් මට ඔයත් එක්ක රණ්ඩු වෙන්න බැහැ, මට රණ්ඩු වෙන්න ඕනෙත් නැහැ, ඒක නිසා ප්ලීස්, දෙයියන්ගේ නාමෙට මාත් එක්ක රණ්ඩුවක් අල්ලන්න හිතන් ඉන්නව නම් කරුණාකරලා දැන්ම කියන්න මම නෑවිත් ඉන්නම් " මම බොහොම තදින් ඒ ටික කිව්වා

" නැහැ මට රණ්ඩු වෙන්න දෙයක් නැහැ, ඔයා එන්න.. එනවද ? "

" OK මම එන්නම්.."

මොකක් වෙන්න යනවද කියලා තේරෙන්නේ නැතුව, අවුල් වුන හිතින් මම ඇඳුමක් දාගන්න රූම් එකට ගියා.



"සීත සෘතුවකට වෙලා
මිය යන්න නම් එපා
පෙම් කවක් ලියන්න ආසයි මට තවත්
සෘතුවක් ඇතත් නැතත්
හුස්ම ලන මගේ සිතුම්
පණ ගසයි ඔබේ දෙපා මුල වැටී 




5 comments:

  1. Heart is broken
    Words are unspoken
    Tears are saying all that needs to be said
    Thought and feeing through your head
    How dare he do what he has done to you..???
    How can one guy cause all this misery…..????


    lahiru malliyo your story is really a nice one...!!!

    ReplyDelete
  2. Senna mahansi wenna una comment eka post karaganna Lahiru. Lassanai wenadata kiyanawa wagema mata adath kiyanna thiyenne api mehata wela parasakwala gehuwath ubata tharan haiya hithak matanan neamai.

    Kavinda

    ReplyDelete
  3. ammo meka gena kiyanna wachana na

    ReplyDelete
  4. LAHIRUTH \\MN WAGE [HIRU NE MN ] MAMATH KIRIBATH PERETHAYA

    ReplyDelete