Wednesday, March 14, 2012

Chapter 21 - "NEW LIFE, NEW FRIENDS...??"

A/L පටන් ගත්ත අලුතම වගේ මගේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගත්තා. ඒක සිද්ද වුනේ මම ෆුට්බෝල් ටීම් එකට ආපහු ජොයින් වුන නිසා කියලා හිතුවොත් ඒක හරි. ඉරෝෂයා හැරෙන්න මම කලින් ආශ්‍රය කරපු නැති අලුත් යාළුවෝ කිහිප දෙනෙක් එක්ක ගොඩක්ම ෆිට් වුණා. රමිත්, සුරාජ්, උදාර උන් තුන් දෙනා තමයි මගේ ගැන් එකේ අලුත්ම උන් තුන් දෙනා වුනේ. රමිත්, සුරාජ් සීනියර්ස්ලා. ඒ කියන්නේ 13 වසරේ අයියලා. උදාර මගේ වයසේ, අපේ ක්ලාස් එකේමයි. ප්‍රැක්ටිස් වලදි වගේම අනිත් දේවල් වලදීත් අපි පස් දෙනා ( ඉරෝෂයා එක්ක ) එකටම ඉන්න පුරුදු වුණා.

හැබැයි රමිත්, සුරාජ් දෙන්නා කොලේජ් එකේ මදාවි වැඩ වලට හොඳටම ප්‍රසිද්ධ උන් දෙන්නෙක්. ඒ වගේම උන් දෙන්නා සිගරට්, අරක්කු, මල්, නොකරපු දෙයක් නැහැ. උන් මොනව කලත් හැබැයි වැඩ ටිකත් කරගත්තා. උන් දෙන්නා නිසා අපි තුන් දෙනා ( මම, ඉරෝෂ, උදාර ) උන්ගේ දේවල් ටික ටික පුරුදු වෙන්න පටන් ගත්තා. අපේ කොලේජ් එකේ බිග් මැච් එකක් දවසක තමයි මට උන් මුලින්ම සිගරට් පෙව්වේ. හිතා ගන්න පුලුවන්නේ පළවෙනි සැරේ සිගරට් බිව්වම ඉතින්, මට කැස්සකුත් හැදිලා ඇස් වලින් කඳුලුත් ආවා. හැබැයි ටික ටික ඒකට හුරු වුණා. හැබැයි මම වත් ඉරෝෂයවත් ඒවා පුරුද්දක් කරගත්තේ නැහැ. ඉඳලා හිටලා යාලුවෝ එකතු උනාම අපි සිගරට්, බියර් බිව්වා. මේ දේවල් හැම දෙයක්ම අපි කලේ ගෙවල් වලට හොරෙන්. කවදාවත් අපි ගෙවල් වලට චාටර් වුණේ නැහැ.

ඒත් මගේ හැසිරීම වෙනස් කියලා සචී අයියට වගේම අපේ අයියටත් තේරිලා තිබුනා. අයියා කිහිප වතාවක්ම ඒ ගැන මගෙන් ඇහුවත් මම මොකුත් නැහැ කියලා මග හැරියා. සචී අයියා නම් නිතරම කලේ මගේ පොඩි පොඩි වෙනස්කම් අල්ලගෙන මාත් එක්ක රණ්ඩු වුණු එක. එයාට කොහොම හරි මම කරන වැඩ ටික ටික ආරංචි වෙලා තිබුණා. එයා ඒක නිසා වැඩිපුර මාව පරිස්සම් කරන්න උත්සාහ කළා. ඒත් මට ඒක කරදරයක් විදිහටයි දැනුනේ. මම දැන් පොඩි එකෙක් නෙවෙයි කියලයි මම හිතුවේ. ඒවා නිසා අපි දෙන්නා නිතර නිතර රණ්ඩු වෙන්න පටන් ගත්තා. ඇත්තම කියනවා නම් මම මගේ යාළුවන්ට මුල් තැන දුන්නා.

මට සචී අයියා එක්ක රණ්ඩු වෙන්න ඕන වුණේ නැහැ. ඒත් එයාට නිතරම කේන්ති එන්න පටන් ගත්තා. මමත් එතකොට කලේ තවත් රණ්ඩු වෙන එක. මේ සේරම මට එපා වෙලා තිබුනේ. දවසක් මම හවස ප්‍රැක්ටිස් ගිහින් ගෙදර ආවා. එදා අයියා විතරයි ගෙදර හිටියේ. ඒ වෙලාවේ අම්මලා ඇවිත් තිබුණේ නැහැ. මම අයියව දැක්කේ නැහැ වගේ උඩට යන්න හැදුවා.

" මල්ලී ! "

" ඇයි " 

" පොඩ්ඩක් මෙහෙට එනවා, මට තමුසෙත් එක්ක කතා කරන්න දෙයක් තියනවා "

අයියා ඉතින් අයියා වෙන්න හදනවා, මම එහෙම හිතලා ආපහු හැරිලා අයියා ළඟට ගියා. ගියා විතරයි මගේ මුහුණ හරහා විදුලියක් කෙටුව වගේ හොඳ කම්මුල් පාරක් වැදුනා. මට එක පාරටම හිතාගන්න බැරි වුනා මොකද උනේ කියලා




 "මොකද මිනිහෝ මට ගැහුවේ ?"

මට සිහිය එළව ගන්න පුළුවන් වෙච්ච ගමන් මම කෑගහලා ඇහුවා. මගේ මුහුණේ පැත්තක් නෑ වගේ.. මට මාරයා ආවේශ වෙලා හිටියේ. 

"තෝ කරන වැඩ වලට ගහලා මදි, උඹ හිතුවද උඹ කරන වැඩ මම දන්නේ නැහැ කියලා ?? තොට පිස්සුද යකෝ ? තෝ වහාම ෆුට්බෝල් කෙලින එක නවත්තන්න ඕන. නැත්නං මම නවත්වනවා, හොදින් හරි නරකින් හරි "
අයියා යකෙක් වගේ බෙරිහන් දෙනවා 

"ෆුට්බෝල් නවත්වන්න ? ඇයි මම මොනවා කලාට ද ?"

" මොනවා කලාට ද ? උඹ හිතුවද මම දන්නේ නැහැ කියලා උඹලා සෙට් එක කරන වැඩ ? යකෝ සිගරට්, අරක්කු බොන එක මහා ලොකු වැඩක් කියලද උඹලා හිතන් ඉන්නේ ? මම මෙච්චර දවසක් ඉවසගෙන බලන් හිටියා අද හැදෙයි හෙට හැදෙයි කියලා, මට සචියත්.... "

" ආ... ඌද තමුසෙට කේලම කිව්වේ ? මම බලා ගන්නම් කෝ "

අයියා කතාව කියලා ඉවර වෙන්න කලින් මම කෑ ගැහුවා.

" බූරුවෙක් වගේ බෙරිහන් දෙන්න එපා යකෝ, සචියා මට මුකුත් කිව්වේ නැහැ, උඹ හිතුවද ඌට මේවා ආරංචි වෙන්නේ නැහැ කියලා ? යකෝ මමයි ඌයි යන්නෙත් උඹ යන ඉස්කෝලෙටම තමයි, උඹ වහාම ඕවා නතර කරන්න ඕන..."

" නතර කලේ නැත්නම් ? " මම චන්ඩියා වගේ ඉස්සරහට පැන්නා 

" නැත්නම් මම තෝව..."

අයියා පැනපු ගමන් මගේ බෙල්ලෙන් අල්ලගෙන මුහුණට චට පට ගාලා ගහන්න පටන් ගත්තා. මමත් ඌව බිම පෙරලගෙන ගැහුවා.. මොනවා වුනත් අයියට මාත් එක්ක පොර කන්න බැහැ, මමත් උගේ උසම වගේ, අපි දෙන්නම පෙරළි පෙරළි ගහ ගත්තා.

" නවත්තනවා.. නවත්තනවා.. මොනවද මේ වෙලා තියෙන්නේ.." 

අම්මගේ කෑගැහිල්ල මට ඈතින් වගේ ඇහුනා. අපි දෙන්නා ඒත් නවත්තන්නේ නැහැ, ඇයියා නැගිටින්න හදනකොටම මම ඌට ආයෙත් පයින් ගහලා වැට්ටුවා. අයියා ආයෙත් මගේ කකුලෙන් ඇද්දා, මමත් වැටුණා. ආයෙත් ගහ ගන්නවා දැන්. අම්මයි ශ්‍රීමති ආන්ටියි ඇවිත් කෑගහනවා දෙපැත්තේ ඉඳන්. අන්තිමට අම්මා අයියා ඇඳලා පැත්තකට තල්ලු කළා, ශ්‍රීමති ආන්ටි මාව අත් දෙකෙන්ම බදාගෙන. ශ්‍රීමති ආන්ටි ටිකක් මහතයි. එයා මාව තද කරල අල්ලගෙන. තවමත් මගේ ඇස් වලින් ගිනි පුපුරු පිට වෙනවා වගේ 

" මොකද්ද උඹලා දෙන්නට මේ හැදිලා තියෙන පිස්සුව ? "

අම්මටත් හොඳටම කේන්ති ගිහින්. මම මොකුත් නොකියා මගේ රූම් එකට ගියා. අයියත් මගේ පස්සෙන්ම ආවා. මම කාමරයට ගිහින් දොර වහ ගත්තා. අයියත් උගේ කාමරයට ගිහින් දොර වහ ගත්තා.

මම එහෙන්මම ඇඳට වැටුනා. මගේ මුහුණ පුපුරු ගහනවා. අයියා කවදාවත් මට ගහලා නැහැ. ඌට මේ තරම් තරහ යන්න අනිවාර්යෙන්ම සචී අයියා මොනවා හරි බරපතල දෙයක් කියලා වෙන්න ඇති. මම එහෙම හිත හිත ෆෝන් එක ගත්තේ අද මූට හොඳවයින් දෙකක් කියන්නම් කියලා හිතන්. සචී අයියගේ ෆෝන් එක ඕෆ්. මම ට්‍රයි කරලා බැරිම තැන නිකන් හිටියා. මට එහෙන්මම නින්ද ගියා.

රෑ 8 ට විතර මම ඇහැරුනේ කවුරුහරි මගේ ඇඳේ එහා පැත්තෙන්ම හාන්සි වෙලා මගේ ඔළුව අතගගා ඉන්නවා දැනිලා... කාමරේ ලයිට් දාලත් නැහැ... මම ටික වෙලාවක් එහෙම්මම හිටියා. සුවඳින් ඒ අයියා කියලා මට තේරුණා... මම ඔලුව අනිත් පැත්ත හැරෙව්වා 

" උඹට රිදුනද ? "

අයියා දුකෙන් වගේ එහෙම අහනවා. මට ගොඩක් දුක හිතුණා. ඒත් එක්කම සචී අයියා ගැන ආවේ තරහක්. මේ තරම් හොඳින් ඉන්න මගේ සහෝදරයවත් මාත් එක්ක තරහා කරවන්නයි එයාට ඕන. එදා මම හිතුවේ එහෙම

" තමුසෙට රිදුනද ? "

මම ටිකක් වෙලා එහෙම ඉන්න ගමන් අයියගෙන් ඇහුවා.

" හහ්.. ඔව් ඉතින් දැන් උඹත් එක්ක පොර කන්න මට බැහැ.." 

අයියා එහෙම කියන ගමන් මගේ ඔළුව හිමීට අතගානවා. මම උගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන, ඉන වටේ අත දාගෙන අයියව බදාගත්තා.

" මට සමා වෙයන් බන්.. මම උඹල හිතන විදිහේ නරක දේවල් කරල නැහැ. ඔව් මම බිව්වා. සිගා ගැහුවා. ඇත්ත. ඒවා තමුසෙලත් කලේ නැද්ද ? මම මගේ ලිමිට් එක දන්නවා. මම කවදාවත් ඒවට ඇඩික්ට් වුනේ නැහැ. සචීට ඕනේ මගේ යාළුවෝ ඔක්කොම මගෙන් ඈත් කරවන්න. එයාට ඕන මාව එයාගේ විතරක් කරලා තියාගන්න "
මම කියවගෙන ගියා. ටිකක් වෙලා නිශ්ශබ්දව හිටපු අයියා ලොකු හුස්මක් හෙලුවා.

" මම දන්නවා බන්, ඒත් දැන් මට තරම්ම අයිතියක් උඹ ගැන සචීටත් තියෙනවනේ. ඒ අයිතිය අපි කවුරුත් නෙවෙයි ඌට දුන්නේ උබමයි. මම කිව්වනේ මම උඹේ සතුට ගැන හිතලයි මේවට ඉඩ දීලා බලන් ඉන්නේ කියලා. මම දන්නවා උඹ බූරුවක් නෙවෙයි කියලා. ඒත් උඹ තවමත් මගේ මල්ලි. මගේ එකම මල්ලි. ඒක නිසා මට උඹ ගැන ලොකු වගකීමක් වගේම බයක් තියෙනවා. මට සචී කියන දේවල් වැඩක් නැහැ. ඒත් උඹ හරියට ජීවත් වෙන්න ඕන මල්ලි...."

අයිය මගේ ඔලුව අත ගගා ගොඩක් දේවල් කිව්වා. මම අයියට පොරොන්දු වුණා මොන දේ කලත් මගේ සීමාව ඉක්මවා යන්නේ නැහැ කියලා. ගොඩක් වෙලාවකට පස්සේ අපි දෙන්නා පහළට ආවා. අම්මා ටී වී එක බලනවා තනියෙන්. මට අම්මා ගැන පව් කියලා හිතුනා. අපි දෙන්නා පහලට එන සද්දෙට අම්මා හැරිලා බැලුවා. අයියයි මමයි කරට අත දාගෙන එනවා දැකලා අම්මා පුදුමෙන් වගේ ටිකක් වෙලා බලන්න හිටියා.

"හවස මරා ගත්තා. දැන් එනවා කිරියි පැනියි වගේ, මොකක්ද උඹලා දෙන්නට වෙලා තියෙන්නේ ? මොකද හවස මරාගත්තේ ?" අම්මා ඇහුවා.

අයියයි මමයි මූහුණට මූහුණ බලාගෙන හිනා උනා මිසක් උත්තර දුන්නේ නැහැ

"දෙන්නගෙම මූණු ඉදිමිලා. උණු වතුර එකක් රත් කරගෙන තවාගන්න එකයි ඇත්තේ"

අම්මා කිව්වේ තරහින් වුනත් අපි දෙන්නා ගැන ගොඩක් ආදරේකින් කියලා මට තේරුණා. අපි දෙන්නා මරා ගත්තත් ආපහු යාළු වෙනවා. අපි රෑට කෑම කාලා වතුර එකක් රත්කරගෙන දෙන්නට දෙන්නා තවාගත්තා ඉතින්. අම්මා පැත්තකට වෙලා බැන බැන බලන් හිටියා. අයියව අවුස්සන්නත් එක්ක මම ටිකක් රස්නේ වැඩිපුර තියෙන කොටම එයාගේ මුහුණ තැව්වා. 

"උඹ මාව මරන්න හදනවාද ?" අයියා කෑගහනවා. අම්මටයි මටයි හිනා.

එදා රෑ මම නිදාගන්න ආපහු කාමරයට ආවම තමයි ආපහු මට සචී අයියව මතක් උනේ. මම ෆෝන් එක අරන් බලද්දි එයාගෙන් මිස් කෝල්ස් 22 ක්. ශ්‍රීමති ආන්ටි අනිවාර්යෙන්ම ගිහින් එයත් එක්ක කියන්න ඇති අයියයි මමයි ගහ ගත්තා කියලා. මම phone එක ඇඳ උඩට විසි කරලා ඇඳුම් මාරු කර ගත්තා.

"මල්ලි, සචියා මට කෝල් කරලා, උගෙන් මිස් කෝල් හැට හුටාමාරක් තියෙනවා" 

අයියා ඒ වෙලේ මගේ රූම් එකට ආවේ එහෙම කියාගෙන 

" ශ්‍රීමති ආන්ටි ගිහින් ගින්න දෙන්න ඇති.." මම එහෙම කියලා හිනා වුණා 

" මම කෝල් එකක් ගන්නද ? "

" ඕන නැහැ, එයාට ඕන නම් කතා කරයිනේ. ගන්න ඇත්තේ අපි දෙන්නා තරහ වෙලාද කියලා බලන්න වෙන්න ඇති. හිතන් ඇති එයා වගේ කියලා මමයි මගේ අයියයි.."
මම කේන්තියෙන් කියාගෙන ගියා 

" ඌ එහෙම නැහැ මල්ලි, උඹ වැරදියට හිතන් ඉන්නේ "

" අනේ මේ නිකන් හිටපං බං... ඌට ඕන හැම එකාගෙන්ම මාව අයින් කරලා මාව උගේ විතරක් කරලා තියාගන්න. ඒක ප්‍රැක්ටිකල් වැඩක් නෙවෙයි කියලා තේරෙන්නේ නැද්ද ? එක්කෝ එයා වෙනස් වෙන්න ඕන. නැත්නම් මම වෙනස් වෙන්න ඕන "

එතකොටම ආපහු මගේ ෆෝන් එක රින් වුනා

" සචී අයියා.." මම එහෙම කියලා අයියා දිහා බැලුවා 

" උඹලා දෙන්නගේ ප්‍රශ්න උඹලම විසඳ ගනිං. ඒත් හොඳට හිතලා බලලා කතා කරපන්. දැන් ඌත් එක්ක මරා ගන්න යන්න එපා "

අයියා එහෙම කියලා නිදා ගන්න ගියා. මම ෆෝන් එක ආන්සර් කලා

" හෙලෝ පැටියෝ, මොකද වෙලා තිබුනේ, මම කී පාරක් ගත්ත ද ?" එයා මොකුත් නොදන්න තොත්ත බබා වගේ අහනවා

" ඇයි ගත්තේ ? මමයි අයියයි සදාකාලික වෛරක්කාරයෝ වුනාද කියලා බලන්නද ? නැහැ එහෙම වෙන්නේ නැහැ, මගේ අයියයි මමයි කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. අපි දෙන්නා තරහා වෙලා ඉන්න දන්නේ නැහැ "

" මොනවද ඔයා මේ කියවන්නේ ? "

" මොකුත් දන්නේ නැහැ වගේ අහන හැටි, මගේ ගැන අයියට කේලම් කිව්වා මදිවට.. තව එනවා මෙතන නැලවෙන්න " 

මම බැනගෙන බැනගෙන ගියා 

" මම කේලම් කිව්වා සඳරුට ? මොනවද මම කිව්වේ "

"මේ සචී අයියේ, ඔයාට ඕන හැම කෙනාවම මගෙන් ඈත් කරනවා කියලා මගේ අයියවත් මගෙන් ඈත් කරන්න ද? මට ඔයාව තේරුම් ගන්න බැහැ. කරුණාකරලා අපි අපේ පාඩුවේ ඉමු.."

" මට මේකෙ අගක් මුලක් තේරෙන්නේ නැහැ පැටියෝ, ඇයි මේ ? "

" ඔයා මගෙයි යාළුවන්ගෙයි පාටි සීන් අයියට කිව්වේ නැද්ද ? "

" කිව්වා තමයි ඒත්.."

" අන්න ඒක තමයි මට දැනගන්න ඕන වුණේ. කිව්වනේ.. මම කරන්නේ මට ඕන දේවල්. ඒ දේවල් වලින් මගේ ගෙදර උන්ට වත්, සමාජේ අයටවත් කරදරයක් නැත්තන්, ඔයාට කිසිම අයිතියක් නැහැ මේ දේවල් වලට ඇඟිලි ගහන්න.."

" හිරූ ! ! "

" හිරු මැරුණා සචී අයියේ, මීට පස්සේ ඔයත් මගෙන් ඈත් වෙලා ඉන්න. ඔයා දන්නේ නෑ ආදරේ කරන්න. ඔයාට ඕන මාව හිර කරලා තියාගෙන ඉන්න..අපි දෙන්නගේ ඔක්කොම අදින්, මෙතනින් ඉවරයි.."

" හිරූ ප්ලීස්... මම කියන දේ අහන්න. මට ඕන වුනේ ඔයත් එක්ක සතුටින් ඉන්න විතරයි. අනේ ප්ලීස් කියන දේ අහන්න ටිකක් "

" මාත් එක්ක සතුටින් ඉන්න ඔයා තෝරගත්ත ක්‍රමය වැරදියි, මාව සැක කරන, මට මගේ නිදහස දෙන්නේ නැති මිනිහෙක් එක්ක මට ජීවත් වෙන්න බැහැ... ඒක නිසා අපි මේක මෙතනින් නතර කරමු "

මම ෆෝන් එක කට් කරලා ඕෆ් කරලා දැම්මා. මම කවදාවත් සචී අයියට මෙහෙම කතා කරලා නැහැ. ඒක ගැන මගේ හිතට ගොඩක් දුකයි. මගේ ඇස් වලට කඳුලුත් ඇවිත්. ඒත් මට මේවා ඔක්කොම එපා වෙලා තිබුනේ, සමහර විට ඒ මගේ වයසේ වැරැද්ද වෙන්න ඇති. මම මුලු රෑම කල්පනා කර කර ඇඬුවා. හිතේ කේන්තියට සචී අයියට බැන්නට මම එයාට මගේ පනටත් වඩා ආදරෙයි. 


------------------------------------------------------------------------------------------------------------------

පහුවදා පෝය දවසක්. ඒ නිසා අපි හැමෝම ගෙදර. මම දවල් වෙනකන් නිදා ගත්තා. නැගිටලා මුහුණ හෝද ගත්තත් පහලට යන්න හිතක් තිබුනේ නැහැ. සචී අයියව මතක් වෙද්දි පපුව හෝස් ගාල යනවා. ඒත් එයා කරපු වැඩ මතක් වෙද්දි ආපහු තරහයි. මම ආපහු ඇඳට වැටුනා. අම්මා කවදාවත් නැතුව තේ එකත් අරගෙන කාමරයට ආවා. මමයි ඒ වෙද්දිත් ඇඳේ පෙරලි පෙරලි හිටියේ කම්මැලිකමට. අම්මා මුහුණත් නරක් කරගෙන තේ එක මේසේ උඩින් තියලා මගේ කාමරේ එලියට තියෙන දොරවල් ටික ඇරියා.

" ඒ ගමන ඔයා ආයෙත් නිදිද ? මේ නැගිටලා තේක බොන්න... "

අම්මා නෝක්කාඩුවෙන් වගේ එහෙම කිව්වම මට දුක හිතුනා.

" ආහ්.... අනේ.... " මම ටිකක් හුරතල් වුනා.

" මොකද අනේ අනේ ගාන්නේ ? "

" මොකද අම්මා කතා කරන හැටි ? "

" නැතුව කොහොමද ඔයාට කතා කරන්න ඕන ? " 

අම්මා මගේ මේසේ තියෙන පොත් පොත් පත් පිලිවෙලට හදන ගමන් අහනවා

" එනවා, යනවා, කනවා, බොනවා.. ඔහොම කියන්නේ තරහකාරයකුට වගේ "

" කවුද දන්නේ නැහැ ගෙදර මිනිස්සුන්ට තරහ කාරයෙකුට වගේ සැලකුවේ "

" කවුද ? "

" කවුද ඉතින්, ආදරෙන් හදපු දරුවෝ මිසක් "

" මං එහෙම කලේ නැහැ.. මොකක්ද මන් කලේ ?? "

මට දැන් ඇඬෙන්න වගේ, අම්මා සැර වෙදිදි මට ගොඩක් දුකයි. ඒ මම අම්මගේ හුරතලා නිසා

" අයියගේ මුහුණ හොඳටම තඩිස්සි වෙලා.. ඔහොමත් ගහනවද තමන්ගේ සහෝදරයට ? "

අම්මා ඒක කිව්ව ගමන් මාව ඇඳෙන් නැගිට්ටුනා විතරක් නෙවෙයි මම කෙළින්ම දිව්වේ අයියගේ කාමරේට. අයියා යස අගේට ඇඳ උඩ වාඩි වෙලා තේ එක බොනවා.

" මොකද බන් " අයියා මාව දැකලා අහනවා

" මේ අම්මා කිව්වේ තමුසෙගේ මූහුණ තඩිස්සි වෙලා කියලා.."

මම එහෙමම අයියගේ මූහුණ දිහා හොඳට ලං වෙලා බැලුවා

" අම්මට විකාර බන්, උදේ පාන්දර ඇවිත් මටත් දේශනාවක් තියලා ගියේ " 

අයියා සැහැල්ලුවෙන් එහෙම කියාගෙන මාව ලඟට ඇදලා ගත්තා. අයියා මගේ ඇස් වල මතුවුණු කඳුළු දකින්න ඇති. මම ඌ ලගින් වාඩි උනා. සචී අයියා ගැන කතාව පටන් පටන් ගන්න හදනකොටම අම්මා අයියගේ කාමරේට ආවා

" දැන් බොරුවට ළඟට වෙලා ඉන්නවා. මම කවදාවත් හිතුවේ නැහැ ඔය දෙන්නා ඔහොම කරයි කියලා "

අම්මා තව ගොඩක් දේවල් කිය කියා මටයි අයියටයි බැන්නා. අයියා අම්මත් එක්ක කට ගහගෙන ගියත් මම ඇස් වල කඳුළු පුරවගෙන බලන් හිටියා..

" අනේ මොකක්ද අම්මා.. ඔහොම ගියොත් නම් මම මැරෙන එක මැරෙනවා.."

මම එහෙම කිව්වේ අයියට බනිනවා අහන් ඉන්න බැරිම තැන. ඒ කතාවට අම්මා වගේම අයියත් භය වෙලා එක පාරටම මගේ දිහා බැලුවා. 

" මොකක් කිව්වා ? " අම්මට ඒ පාර තවත් තරහා ගියා

" අනේ අම්මා... උදේ පාන්දර මේ පොඩි එකාව අඬවන්නේ නැතිව යන්නකෝ ප්ලීස් "
අයියා මාව බදාගෙන අම්මට කිව්වා 

" හුහ්... මැරුණම හරිද දැන් ? කට තලන්න ඕන තව මූසල කතා කියන්න එනවට " අම්මා ආයෙත් කිව්වා

" එහෙන්ම් මට බනින්න එපා.." මම අඬ අඬ කිව්වා

" හ්ම්.. දැන් ඉතින් බැන්නා කියලා ඔය නුවන ආයෙත් එන එකක්යැයි.." අම්මත් අපි දෙන්නා ලඟින්ම වාඩි වුනා

" කෝ එන්න.. ඔලුව තියන්න උකුල උඩ.." 

අම්මා අයියගේ තුරුලෙන් මාව මුදව ගත්තා

" ඕන නැහැ.. " මම බොරුවට මුහුණ ගැසුවා

" එන්න ඉතින්.." අම්මා හිනා වෙලා මාව ලං කරගත්තා

" ඕන නැහැ.. ඕන නැහැ..."

" තරහ වෙලා කොච්චර කල් ඉන්නද ? " අම්මා හිනා වෙනවා 

" හැමදාටම.." මම මුරණ්ඩු විදිහට කිව්වා

" අම්මා එක්ක.."

" මුලු ලෝකෙම එක්ක.."

" තමන් අතින් වන වැරැදි වලට මුළු ලෝකෙම එක්ක තරහ වෙන එක අසාධාරණයි, ඔයාලා දෙන්නට බනින්නේ තරහට නෙවෙයි.. ආදරේට... ඔයාලා දෙන්නා තමයි මගේ වස්තුව.."

අම්මා අයියවයි මාවයි තුරුල් කරගෙන කිව්වා. මේ හැම දේකින්ම මට සචී අයියා ගැන ආපහු තරහක් ඇති වුණා. එයා අයියට කේලම් කිව්වේ නැත්නම් අයියයි මමයි ගහ ගන්නේ නැහැ. එහෙම නොවුනා නම් අම්මා දුක් වෙන්නෙත් නැහැ..


" සංසාර දුර්ග මාවතේ
මේ දීර්ග චාරිකාවේ
ඔබ හමු නොවුනා නම්
ඔබ අත්වැල නොවුනා නම් "







No comments:

Post a Comment