Saturday, March 31, 2012

Chapter 35 - "බයිට් එක..."



මම ඇන්ඩෲට කෝල් කරලා කිව්වේ මම පොලිසියේ ඇන්ට්‍රි එකක් දැම්මා කියලා. " කාර් එක හප්පලා පැනලා ගියා කියලා.." ඇන්ඩෲ ට ඒකට හොඳටම මල පැනලා මාව හොයාගෙන අපේ ඔෆිස් එකට ආවා.

" ළහිරු..! ! "

" ආහ්..? "

" තමුන්ට මොලේ අමාරුවක් තියෙනවා නම් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ට්‍රීට්මන්ට් ගන්න "
ඇන්ඩෲ කඩාගෙන බිඳගෙන මගේ කැබින් එකට ඇවිත් බෙරිහන් දෙනවා. වෙලාවට අම්මයි ශ්‍රීමති ආන්ටියි එලියට ගිහින්.

" මෙහෙම පිස්සු වැඩ කරලා මිනිස්සුන්ව අමාරුවෙ දාන්නේ නැතිව.. මොකක්ද ඒ කරපු වැඩේ ? "
ඇන්ඩෲ අඬන්නන වගේ කියනවා.

" මෙහෙන් වාඩි වෙන්නකෝ ඇන්ඩෲ, වාඩි වෙලාම බනින්නකෝ.. ටේක් අ සිට්.."
මම පොර මට බනින එක ගැන ගණන් ගන්නේ නැතුව කිව්වා.

මූ ආපහු පුටුවකින් වාඩි වෙලා කියවනවා.

" බ්‍රේක් ලයිට් හදලා දෙන එක මට මහ ලොකු වියදමක් නෙවෙයි, තමුන්ට කාර් එකක් අරන් දෙන්න වුණත් මට පුළුවන්.. මට දැනගන්න ඕන ඇයි මෙහෙම බොරු ඇන්ට්‍රි එකක් දැම්මේ කියලා "

" මේකයි මිස්ටර් ඇන්ඩෲ, බ්‍රෙක් ලයිට් එක නම් මට මාර විදිහට වටිනවා මිස්ටර් ඇන්ඩෲ.. මොකද මාසේ පඩිය අරන් එදා වේල කාලා ඉන්න අපිට ඒක මහ ලොකු වියදමක් තමයි.. හයියෝ... සල්ලී.. "
මං මුහුණේ අත ගහගෙන දුකෙන් වගේ කිව්වා.

" අපරාදේ.."

මං ආයෙත් කිව්වම ඇන්ඩෲ මගේ මුහුණ දිහා බලලා අහනවා..

" ඇයි ? මොනවද අපරාදේ ? "

" ඔය කතාව ඔයා එදා කිව්වා නම් මම එදා කාර් එක පල්ලමෙන් පහළට පෙරළනවානේ.. එතකොට ඇන්ඩෲ අලුතින්ම කාර් එකක් මට අරන් දෙයි නේද ? අරන් දෙයි නේද ? "

මම කිව්වම ඇන්ඩෲට තවත් මල

" මේ යකාට නම් තනිකර පිස්සු.."
පොර පුටුවත් පස්සට කරගෙන මලෙන්ම නැගිටලා යන්න ගියා.

" හි.. හී.. හයියෝ... "

මට තනියෙන්ම හිනා, ටිකක් වෙලා යද්දි දැක්කේ උගේ හයිබ්‍රිඩ් එකේ යතුර මගේ ටේබල් එක උඩ දාල ගිහින්. මම ඉතින් ඒකටත් වැඩක් දෙන්නම් කියලා ගත්තා යතුර. මිස්ටර් ලී මෝල ආපහු එන්නේ නැතැයි යතුර හොයාගෙන.

" එක්ස්කියුස් මී ! " තවම පුපුරනවා

" කමින් " මම සත පහකට ගණන් ගන්නේ නැතුව කිව්වා.

" මගේ කී එක ? "

" ඉතින් ? කී එක... මොකද ?" මම මොකුත් දන්නේ නැහැ වගේ ඇහුවා

" ටේබල් එක උඩ තිබුණා. කෝ දැන් ? "

" තිබුණ නං ඉතින් තියෙන්න ඒපැයි.."

" ලහිරූ ! මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා. please. Give me the key !! "

" ඕහ්.. මෙයා මේ මගුලක් කතා කරනවා නේ.."

" ළහිරු.. ! ! දෙනවා මගේ යතුර.."

හත් ඉලව්වයි.. පොරට තව යකා නැගලා

" මම දන්නේ නැහැ හලෝ.."

" ගිල්ලද ? "

" ඔව් ගිල්ලා.. දැන් ඉතින් හවස් වෙනකන් ඉන්න වෙයි ගන්න.. ඇයි යකෝ.."
මමත් මලෙන්ම කියලා දැම්මා

කොහොම හරි එදා ඇන්ඩෲට කාරෙක ඔෆිස් එක ඉස්සරහ තියෙද්දිම ගෙදර යන්න වුනේ ත්‍රීවීල් එකක. මම ඌට කිව්වා යතුර හොයලා තියන්නම් කියලා. අන්තිමේදී හොයලා හොයලා බැරිම තැන පොර යන්න ගියා.
හවස් වෙද්දී ඉරෝෂයා ආවා ඔෆිස් එකට

" උඹ දන්නවද මේ මොකක්ද කියලා.. හයිබ්‍රිඩ් කාර් එකක යතුරක්. "

මං ඉරෝෂයට යතුර පෙන්නලා කිව්වා. ඉරෝෂයා කට ඇරගෙන බලන් ඉන්නවා.

" අයිති කොල්ලත් හයිබ්‍රිඩ්, ඒ වගේම මචෝ මම ඌට දුන්නා ගේමක් ඒකත් හයිබ්‍රිඩ්.."
මම ඉරෝෂයට මුල ඉදන්ම කතාව කියාගෙන ගියා.

" පව් ලහිරුවා.. කැත වැඩක්නේ උඹ කරලා තියෙන්නේ.."
ඌත් හිනාව අතරින්ම කියනවා.

" කැතම කැත වැඩේ කියන්නේ.. හයිබ්‍රිඩ් කාර් එකේ ආපු මහත්තයා අවසාන වශයෙන් ගෙදර ගියේ මීටර් නැති ටැක්සි එකක.. හි.. හී.. "

ඉරෝෂයා බඩ අල්ලගෙන හිනා වෙනවා

" ඇයි යතුර දුන්නේ නැත්තේ ? කෝ දැන් කාර් එක ? "

" කාර් එක ඔෆිස් එක ඉස්සරහා. කී එක ලහිරුගේ අතේ.. මිස්ටර් ඇන්ඩෲට හෙටත් ඔෆිස් එන්න වෙනවා. කතාවේ ඉතුරු ටික හෙට. මතු සම්බන්දයි..."

" හි.. හී... පිස්සා,, යකෝ සචී අයියා දන්නවා නම් උඹව මරයි.."

" එයා දන්නේ කොහොමද ? එයා එන්නේ තව සතියකින්.. හික්.. හික්.."

" උඹ නම් මොනවා කර ගනීද මන්දා... ඔහොම ගිහින් ඇන්ඩෲ එක්කත් පැටලුනොත් "

" පල.. පල.. මම එහෙම කොහෙවත් යන මෝල් කාරයොත් එක්ක යාලු වෙන්නේ නැහැ, මගේ කොල්ලව මට ඇති, මම ඇන්ඩෲට උගන්නනවා හොද පාඩමක් ආපහු මගේ පස්සෙන් නොඑන්න.."

-------------------------------------------------------------------------------------

පහුවදා උදෙන්ම මම ඇහැරුනේ සචී අයියගේ කෝල් එකකින්.

" චූටි බබා තවම දොයිද ? අදත් ස්කූල් යන්නේ නැද්ද ? "

සචී අයියගේ ආදරණීය කටහඬ ඇහෙද්දි ඉන්න බැහැ වගේ.

" ම්ම්ම්... අද ඔෆිස් යනවා, ස්කූල් යන්න කම්මැලියි.."

" මොකද ඔෆිස් එක හිතට අල්ලලා, ලස්සන කොල්ලෙක් වත් කැරකෙනවා ද අහල පහල ? "
එයා හිනාවෙවි අහනවා

" ඔව් එනවනේ.. එකක් නෙවේ ගොඩක්... මෝඩයා "

" හි.. හී.. මගේ පැටියට තරහ ගියාද ? මං විහිළුවක්නේ කලේ.."

" ඕන නැහැ ඔයාගේ විහිලු.. මන් තියෙනවා.."

" තියන්නේ එහෙම නැහැ.. දෙනවා ගුටියක්.. කෝ දැන් ඉතින් නැගිටින්නකෝ පැටියෝ.."

" උම්මා එකක් දුන්නොත් නැගිටිනවා.."
මමත් හුරතල් වුනා..

" ම්ම්ම්... ඔන්න එහෙනම්.. උම්මා... උම්මා... උම්මා... "

" ම්ම්ම්... උම්මා... ඔයාලා අද කොහෙද යන්නේ ?

" අද අපි මෙහෙන් පිටත් වෙනවා සීගිරියේ, ඊට පස්සේ දඹුල්ලේ.."

" පරිස්සමෙන් අයියේ.. I Love you.."

" I Love you too patiyo.."

ෆෝන් එක තියල මම ගිහින් වොශ් එකක් දාගත්තා. ඇවිත් අහපු බලද්දි ඇන්ඩෲ ගෙන් මිස් කෝල්ස් හතරයි.. හි.. හී... එකසිය ගානට කෝල් කරලා. කෝල් එකක් දීලා බලමුකෝ.. මම ඌට ඩයල් කලා.

" හෙලෝ.. ලහිරු ? "

මම හෙලෝ කියන්නත් කලින් බුවා කතාව

" සුභ උදෑසනක් ඇන්ඩෲ.."

" Good morning.."

" මේ මිස්ටර් ඇන්ඩෲ ගෙන් මිස් කෝල්ස් තිබිච්ච නිසයි ගත්ත.."

" ලහිරු.. ප්ලීස්.. මගේ කී එක කොහෙද කියන්න.."

" ආහ්.. මාර වැඩේනේ වෙලා තියෙන්නේ ඇන්ඩෲ.."

" ඇයි ? "

" අර සුමනා ඉන්නව නේද ? "

" කවුද ? "

" ඇයි බන් සුමනා.. අර අපේ ඔෆිස් එක අතු ගාන්නේ.."

" ඔව්.."

" අන්න හරි.. ගෑනිට හම්බවෙලානේ ඇන්ඩෲ ගේ කාර් කී එකේ යතුර.."

" Thank god, කෝ දැන් ඒක ? " පොරට හෙන හැපි

" දැන් ඒ යතුර බිමනේ තිබුනේ, ගෑනි ඒක අතුගාලා ඩස්බින් එකට දාලා.."

" What ? කී එක කොහෙද ලහිරු ? " පොර නාහෙන් අඬනවා

" දැන් ඉතින් ඩස්බින් එක හවසට නගර සභාවේ කුණු ලොරියට පටවනවනේ.."
මටත් කොහෙන් කටට එන එව්වා ද මන්දා, කියලා දානවා, පොරත් ලණුව ගිලිනවා

" My goddd.."

" මේ එක්ස්ට්‍රා කී එකක්වත් නැද්ද ඇන්ඩෲ ගාව ? "

" නැහැනේ.. එක්ස්ට්‍රා කී එක තියෙන්නේ කුරුණෑගල අපේ ගෙදර. මට එහේ යන්න විදිහක් නැහැ නේ දැන් "

" මලා.. දැන් ඉතින් මොකද කරන්නේ ? "

" හ්ම්.. අනේ මොනව හරි කරන්න ලහිරු.."

" මන් කියන්ද ? දැන් ඉතින් කරන්න තියෙන්නේ දෙන්නත් එක්කම ගිහින්, අර කුණු කන්ද හාරන එක තමයි.. මාර කේස් එක හැබැයි.."

" අනේ ප්ලීස් ලහිරු.. "

පොර අඬන්නේ නැති ටික විතරයි

" ම්ම්ම්.. හරි.. හරි.. හරි.., ඔයා දොළහට විතර අපේ ඔෆිස් එකට එන්නකෝ. අපි කී එක හොයා ගන්න ට්‍රයි කරමු. ඔන්න අඬනවා එහෙම නෙවේ, හරි ? මම තියනවා, අඬන්න එපා හරිද ? Hello ? Right, Ok bye.."

මම සීරියස් පිටම කියලා ෆෝන් එක කට් කලා

කිව්වත් වගේ පොර 11.59 වෙද්දී අපේ ඔෆිස් එකේ. මගේ කැබින් එක පැත්තට එනවා දැකලා මම ලොකු වැඩක් වගේ ෆයිල් එකක් පෙරල ගත්තා.

" Excuse me.." පොර උගේ බ්‍ර්ටිශ් ඇක්සන්ට් එකත් දාගෙන කැබින් එකට ආවා.

" ආහ්.. කම්.. කම්.. ඇන්ඩෲ "

" Good afternoon Lahiru.."

" අනේ එසේම වේවා ! වාඩිවෙන්නකෝ ඉතින්, මොකද මේ හිටගෙන.. වාඩි වෙන්නකෝ.."

" මන් ආවේ කාර් එක ගෙනියන්න.."

" ට්‍රක් එකක් ගෙනාව ද පටවගෙන යන්න ? "
මමත් සීරියස්ලිම ඇහුවා. පොර තරහෙන් පුපුර පුපුර මගේ ඉස්සරහා පුටුවෙන් වාඩි වුණා

" ප්ලීස් ලහිරු.. දැන්වත් මගේ කී එක දෙන්න. ඔයා දන්නේ නැහැ කාර් එක නැතුව මගේ වැඩ කොච්චර පාඩු වුණා ද කියලා.. දෙන්නකෝ අනේ.."

" සිද්ද වෙච්ච දේ මං ඔයාට කිව්වනේ කොල්ලෝ.. කිව්වනේ "

" ඒ බොරුනේ ලහිරු.."

" හරි ඇන්ඩෲ.. කී එක නම් දෙන්නම්.. හැබැයි එක පොරොන්දුවක් පිට "

" පොරොන්දුවක් ඒ මොකක්ද ? "

" ඔයයි මමයි දෙන්නම දන්නවනේ, ඔයා අර මොකද්ද වගේ මගේ පස්සෙන් එනවා කියලා. ඒත් සොරි.. මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා. ඒක නිසා, මීට පස්සේ ඔයා මට කෝල් කරන්න බැහැ, අපේ ඔෆිස් එක පැත්ත පලාතේ එන්නත් බැහැ.. හරිද ? බැරිද ? එහෙනම් මම කී එක දෙන්නේ නැහැ.."

" හරි.. හරි.. මම කියන විදිහට කරන්නම්, කී එක දෙන්නකෝ.."

" ආ.. මෙන්න "

මම සාක්කුවෙන් කී එක අරන් මේසේ උඩින් තිබ්බා.

" තෑන්ක්ස් ලහිරු.. අපි පස්සේ වෙලාවක හම්බ වෙමුකෝ.."

" නැහැ නැහැ ආයෙත් හම්බ වෙන්න ඕනේ නැහැ, මේ අවසාන හමු වීම.. දැන් යන්න.. good bye.. good bye, tata bye.... hm out out.."

මම ගාණකට ගන්නේ නැතුව පොරට කියලා දැම්මා.

හැබැයි ඉතින් එදා එහෙම ගියත්, ඇන්ඩෲ මගේ පස්සෙන් එන එක නතර වුණේ නම් නැහැ.. ලැජ්ජ නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියලා කතාවකුත් තියෙනවනේ...

ඊළඟ කොටසින් හමුවෙමු....




Thursday, March 29, 2012

Chapter 34 - "HYBRID..."



ඉරෝෂයගේ වගේම අපේ අයියාගෙත් අනාවැකි ඇත්ත කරමින් " ඇන්ඩෲ " මට කෝල් කලා වැලන්ටයින් එක දවසේ රෑ. මම නොදන්න නම්බර් එකක් නිසා ආන්සර් නොකලේ මේ මහ රෑ කොලේජ් එකේ එකෙක් වෙන්න ඇති කියලා හිතාගෙන. ඒත් මිස් කෝල්ස් 4 කුත් ආව එකේ 5 වෙනි සැරේ මම ආන්සර් කලා.

" හෙලෝ "

" ළහිරු ?? "

කටහඬින්ම මම දැන ගත්තා මේ අර ලී මෝල කියලා.

" ඔව් කියන්න ඇන්ඩෲ "

" අහ්.. කොහොමද මගේ කටහඬ අඳුන ගත්තතේ ? "

" ආ.. නෑ මට ආවා ඔයාලගේ ලී මෝලේ සද්දේ.."
මම කිව්වා

" හා.. හා.. You are so funny.. So howz Valentine ? "

" ආහ්.. වරදක් නැහැ.. ඔයාට කොහොමද ? "

" මම මේ පාටි එකක ඉන්නේ, යාලුවෙක්ගේ.."

" ඇත්තද ? ඉතින් ඇන්ඩෲ හදිස්සියේම කතා කලේ ? "

" නිකන් මතක් වුනා.. ඒකයි.. ඉතින්, ගැහැණු ළමයා එහෙම සනීපෙන් ඉන්නවද මල්ලි..? "

" ආහ්.. ඔව්.. එයා ගොඩක් සනීපෙන් ඉන්නවා.. එහෙනම් අයියේ මම තියන්නම් "
මම හැදුවේ මුගෙන් ඉක්මනට ගැලවිලා ෆෝන් එක කට් කරන්න. ඒත් මූ තව තවත් කියවනවා.

" ඇයි මල්ලී හදිස්සි ? අපිත් එක්ක කතා කරන්න කැමති නැහැ වගේ නේද ? හ්ම්.. අවුලක් නැහැ එහෙනම්. මම තියන්නම්.."

ඇන්ඩෲ කියද්දිම මම ඌටත් කලින් ෆෝන් එක කට් කලා. මූ මොකටද එන්න හදන්නේ.. මේක ගැන සචී අයියට කියන්නත් බැහැ. කිව්වොත් එයා නිකන් කලබල වෙලා මාත් එක්කයි රණ්ඩු වෙන්නේ. අපේ අයියට කියන්නත් බැහැ. අන්තිමේදී මම ඉරෝෂයට කියනවා කියලා හිතා ගත්තා. අපි දෙන්නගෙම අදහස වුනේ මූ කටින් නොකිව්වට මූ එන්නේ මාත් එක්ක හැමිනෙන්න තමයි කියලා.

ඇන්ඩෲ ගෙන් ඊට පස්සෙත් දිගින් දිගටම කෝල්ස් ආවත් මම ඒවා ආන්සර් කරන්න ගියේ නැහැ. ඉරෝෂයාගේ අදහස වුනේ නම්බර් එක බ්ලොක් කරමු කියලා. පස්සේ බැරිම තැන නම්බර් එකක් බ්ලොක් කලා. ඒත් දවසක් මම ක්ලාස් ඉවර වෙලා ඉරෝෂයා එක්ක අපේ ඔෆිස් එකට ගියා. හිතුවේ නැති විදිහට එදා ඇන්ඩෲට අපි දෙන්නව මාට්ටු උනා ඔෆිස් එක ඉස්සරහදිම. උගේ හයිබ්‍රිඩ් කාර් එක ඇවිත් අපි දෙන්නා ළඟ නතර කලාම මම උඩ ගියා.

" ආහ්.. මල්ලිලා.. කොහෙද මේ ?

පොර සන්ග්ලාස් දෙකත් ගලවල අහනවා.

" අපි මේ අඳුරන කෙනෙක් හම්බවෙන්න ආවා.."
මම කටට ආව බොරුවක් කියලා දැම්මා
එතකොටම අපේ අම්මා ආවනේ එතැනට බොරුව අතේ මාට්ටු.

" චූටි පුතා මොකද මෙතන ? කවුද මේ යාළුවෙක්ද ? "

අම්මා අහනකොටම එකපාරටම ඇන්ඩෲ කාර් එකෙන් බැස්සා.

" ආන්ටිට මාව මතක නැද්ද ? එදා ආන්ටිලා ඇවිත් අපේ ෂොප් එකෙන් ෆර්නිචර් අරගෙන ගියේ. "

මූ අපේ අම්මට පැණි හිනාවකුත් දාගෙන කියනවා. නොදකින් මලපෙරේත හැල ගෙම්බා

" Oh I see.. මට ඒක තමයි දැකලා පුරුදුයි වගේ. මම ඒත් කල්පනා කලා කවුද කියලා. එන්න පුතා ඇතුලට.."
අපේ අම්මටත් පිස්සු ද මන්දා

" දැන් බැහැ ආන්ටි, පස්සේ වෙලාවක එන්නම්.."
ඇන්ඩෲ එහෙම කියලා " යන්නම් මල්ලිලා.. see u.. " කියාගෙන කාර් එකට නැගලා ගියා.

" යන්තම් ඇති.. මම හිතුවා අම්මා කතා කරපු ගමන් මූ ඇවිත් පදිංචි වෙයි කියලා.."
ඉරෝෂයා කියනවා

මේ වෙච්ච සීන් එක සචී අයියත් ඇතුලේ ඉඳන් බලන් ඉඳලා. මම ඔෆිස් එක ඇතුලට ගියපු ගමන් මගෙ ඇඟට කඩන් පැන්නා.

" තමුසේ මොකද අරූගේ කාර් එකේ නැගලා ආවේ ? "

සචී අයියා කේන්තියෙන් පුපුරනවා

" ඔයාට පයිත්තියන් ද ? මම උගේ කාර් එකේ නැගලා ආවේ නැහැ.."
මමත් මලෙන්ම කියලා දැම්මා

" එහෙනම් ඌ කොහොමද ඔයාලා මෙතනට ආව ගමන් ආවේ ? "

" ඒක උගෙන් අහගන්න. අපි දෙන්නා බස් එකේ ආවේ. උඹ කියපංකෝ ඉරෝෂ.. මේ ටිකට්ස්.."
මම බස් ටිකට්ස් දෙකත් සචී අයියගේ ටේබල් එක උඩ දාලා රූෆ් ටොප් එකට ගියා.
ටිකකින් සචී අයියත් උඩට ආවා. ඇවිත් මගේ එහා පැත්තෙන් හිටගත්තා.

" හිරූ.."

" කතා කරන්න එපා.. ඔයාට මාව සැකයි.. කොච්චර කිව්වත් වැඩක් නැහැ.."

" සැකයි නෙවේ.. හිරු.. මං කියන දේ අහන්න කෝ.."

" මම කියන්නේ සචී අයියේ.. ඔය කතාව නවත්තමු.. එකක් කියන්නම්.. ඔයාගේ සැකය නිසා කවදා හරි ලොකු විනාසයක් වෙයි.."

මම එහෙම කියලා ආපහු පහලට ඇවිත් ඉරෝෂයා එක්ක එන්න පිටත් වුණා.

" චූටි පුතේ, අපි හතර දෙනා හවසට පොඩි මාමලාගේ ගෙදර යනවා. ඔයත් එනවද ? "
මම එන්න හදනකොටම අම්මා කතා කලා

" මොකටද ? " මං ඇහුවේ ඕනාවට එපාවට වගේ

" අද එහෙ බණක් කියනවා, අපි ගිහින් ටිකක් වෙලා ඉඳලා එනවා "

" මම එහෙ යන්න කැමති නැහැ කියලා අම්මා දන්නවනේ, ඔයාලා ගිහින් එන්න. මම ගෙදර ඉන්නම් "

" එහෙනම් පොඩි වැඩක් කරනවද ? "

" මොකක්ද ? "

" ගෙදර ඇති පිරිකර වගයක්, ඒ ටික මට උදේ ගේන්න අමතක උනා. ඒක ගෙනත් දෙනවද 5 වෙන්න කලින් ? "

" අයියෝ අම්මා.. එහෙනම් කාර් එක දෙන්න. මම මේ ගමන්ම ගෙනත් දෙන්නම් "

අම්මා දෙපාරක් හිතන්නේ නැතිව මට යතුර දුන්නේ මගේ ඩ්‍රයිවින් ගැන බය වෙන්න දෙයක් නැති නිසා. ඒත් මට ඒ වෙද්දි ලයිසන් වත් නැහැ

" පරිස්සමෙන් හොඳද ? "

අම්මා යතුර දෙන ගමන් කිව්වා

මමයි ඉරෝෂයයි ගෝල් රෝඩ් එකට කාර් එක හරවද්දී මම නෝට් කලා ඇන්ඩෲගේ හයිබිඩ් ඩක්කුව අපිව ෆලෝ කරනවා කියලා.

" මචං ඉරෝෂයා, අර බලපන්කෝ පිටිපස්සෙන් කවුද එන්නේ කියලා "

" අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු, ඒ යකා අපව ෆලෝ කරනවා වත්ද ? "

" නැතිව.. මූ ෂුවර් එකටම රැකලා ඉඳලා තියෙනවා අපේ ඔෆිස් එක ලඟ. මූ මොකටද එන්න හදන්නේ ?

" උඹලගේ ගෙවල් බලාගන්න වත් පස්සෙන් එනවද දන්නේ නැහැ.."

" මොන හුත්තක්ද.. හිටපන්කෝ මුගේ ආච්චිට.."

මම එහෙම කියලා ටිකක් ස්පීඩ් වැඩි කලේ මූව මගහරින්න හිතාගෙන.. ඒත් මූත් යකා වගේ වාහන අස්සෙන් 
වෙට්ටු දදා ඇවිත් අපේ කාර් එක පිටිපස්සෙන්ම එනවා දැන් ආපහු..

" හිටපන්කෝ මං අද මූව කාර් එකෙන් බස්සනවා.."

මම ඉරෝෂයට එහෙම කියලා ඇන්ඩගේ කාර් එකට වෙට්ටු දාගෙන ඩ්‍රයිව් කලා.

" පිස්සු කෙලින්න එපා ලහිරුවෝ.. කාර් එක හැප්පුනොත් උඹට ලයිසනුත් නැහැ.."
ඉරෝෂයා බය වෙලා

" බලාගෙන හිටපංකෝ.."

මෙහෙම වැඩි දුරක් යන්න වුණේ නැහැ, මම කාර් එක මේන් රෝඩ් එකෙන් හරවද්දිම ඇන්ඩගේ කාර් එක අපේ කාර් එකේ පිටි පස්සේ හැප්පුනා.

Krrrraaazzzz.... dinnggg ! ! !

" ආහ්.. හරිනේ.. ඇන්නා නේද මූ.. ඔන්න ඉරෝෂයා උඹ බලා ගනින්, දැන් තමයි සෙල්ලම පටන් ගන්නේ.. මේ උඹ බල බල ඉන්නේ.. බැහැපන් බැහැපන් බන්.."
මම මාරයා වැහිලා වගේ කාර් එකෙන් බැස්සේ. ඇන්ඩත් කාර් එකෙන් බැහැලා අපි හිටපු තැනට ආවා. උගෙ කාර් එකේ බෆර් එක ඇතුලටම එබිලා. අපේ කාර් එකේ බ්රේක් ලයිට් කුඩු..

" තමුසෙලගේ ඔලුව හොඳ නැද්ද ? පිස්සන්ට ලයිසන් දෙනවා කියලා අද තමයි මම දැනගත්තේ.."
ඇන්ඩෲ ටත් මල පැනලා. ඒක අහල මට තවත් මල

" මේ හලෝ මේ.. මගේ යකා අවුස්සගන්න එපා. වාහනේ හප්පලා නිකන් තව්සන් ටෝක් දෙන්න එපා.."

මම උගේ ඇඟට කඩන් පැන්න පාර පොර ටිකක් සැලෙන්ඩර් වුනා.

" ඔයාලගෙනේ වැරැද්ද.."
පොර කියනවා.

" ඒ මේ බලපන්කෝ ඉරෝෂයා.. "
මම ඉරෝෂයට කිව්වා.

" මට කරන්න දෙයක් නැහැ.."
ඇන්ඩෲ ආපහු කියනවා

" ආහ්.. කරන්න දෙයක් නැහැ.. එහෙම කොහොමද.. කරන්න දෙයක් නැහැ ! ! "
මම කිව්වම ඇන්ඩෲ දුකෙන් වගේ මගේ දිහා බලනවා.

" ඉන්ෂුවරන්ස් තියනවද කියන්න ? " මූ අහනවා

" කාටද මටද ? මට අවුලක් නැහැනේ ? " මම ඉරෝෂයගෙයි උගෙයි මුහුණ දිහා බල බල කියනවා

" මන් ඇහුවේ වාහනේට.."

" ම්ම්.. ආහ්.. තියෙනවා.."

" එහෙනම් ඉන්ෂුවරන්ස් කෝල් කරලා වාහනේ හදා ගන්න. ඔයා ගාව මගේ නම්බර් එක තියෙනවනේ. මගේ කාර් එකේ නම්බර් එකත් ලියාගන්න. මගෙන් මොනවාහරි කෙරෙන්න තියෙනවා නම් මට කෝල් කරන්න. පොර හැප්පිච්ච තැන් වල ෆොටෝස් 2 - 3 ක් ගහගෙන කාර් එකේ නැගලා යන්න ගියා.

" හා.. හා.. ඇන්ඩ.. උඹ මගේ පස්සෙන් ඇවිල්ලා කරගත්තේ ලොකු වැරැද්දක්. මේකට නම් උඹට ලොකු වන්දියක් ගෙවන්න වෙනවා.."

මම එහෙම කියලා කාර් එකට නැග්ගා ගෙදර යන්න.

" අඩෝ අම්මා කේස් අදීද ? "

ඉරෝෂයා තවමත් බය වෙලා

" බය වෙන්න එපා බං.. ඕක හදා ගන්න පුළුවන් . අරූට නම් මම ගේමක් අදිනවා.."

මම එහෙම කිව්වේ කාර් එක ස්ටාට් කරන ගමන්.

කාර් එක හැප්පුවට අම්මා නම් සෑහෙන්න දොස් කිව්වා. මම අම්මට කිව්වේ හප්පපු එකා පන්නලා ගියා කියලා. අම්මා ඊට පස්සේ කිව්වා එහෙනම් ගිහින් පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න ඕන කියලා. මම ඕන නැහැ කියලා යන්තම් ශේප් කර ගත්තා. ඒත් මම හිතා ගත්තා ඇන්ඩෲ කාරයාට ආපහු මගේ පස්සෙන් නොඑන්න හොඳ පාඩමක් උගන්නනවා කියලා. දැන් පොර බලන් ඇතිනේ මම කෝල් කරනකම්..



............................................................................................................. 


ඊට දවස් දෙකකට පස්සේ අයියයි සචී අයියයි ස්කූල් යාලුවොත් එක්ක ට්‍රිප් එකක් ගියා. ඒක නිසා පුළුවන් වෙලාවට මමත් ඔෆිස් එකට ගිහින් අයියලගේ වැඩ කවර් කරන්න ට්‍රයි කලා. ඔහොම ඉන්න කොට මට එක පාරටම ඇන්ඩෲ කාරයව මතක් උනා. මූ කොහෙන් හොයාගෙන ද මන්දා මගේ ෆේස්බුක් එකට රික්වෙස්ට් එකකුත් එකකුත් එවලා. හිටපන්කෝ උඹවත් හිතන්නේ නැති විදිහට මම මේ ප්‍රශ්නේ දිග්ගස්සන්නම්.මම ගත්තා කෝල් එකක්.

" හෙලෝ..." පොර හෙන ඇක්සන්ට් එකක් දාලා කියනවා.

" මිස්ටර් ඇන්ඩෲ ෆර්නෑන්ඩු ? ? "
මමත් බබා පාට් එක දැම්මා.

" Yes..? "

" ආහ්.. ළහිරු කතා කරන්නේ.."

" කවුද ? "

මූත් මට බබා පාට් එක දානවා

" අර එදා ඇන්ඩෲ ටවුන් එකේ දී කාර් එක හැප්පුවේ.. ඒ මගේ කාර් එක.."

" ආහ්.. ඔව් ළහිරු කියන්න.. "

පොර නිකන් මුකුත් වුණේ නැහැ වගේ කියනවා.

" කියන්න තියෙන දේවල් නම්, පොලීසියෙන් කෝල් කරලා ඇන්ඩෲට කියයි.."
මම කියල දැම්මා

" WHAT? පොලීසිය ? ඇයි ඒ ? "
පොර පුදුමෙන් වගේ අහනවා

" ආ... මේකනේ ඇන්ඩෲ.. රිය අනතුරක් සිදු කරලා පලා යෑම බරපතල වැරැද්දක් කියලා ඇන්ඩෲ දන්නේ නැද්ද ?"

" මොකක් ? පලා යෑම ? ඒ කොහොමද ? මට තේරෙන්නේ නැහැ ඔයා මේ මොනවද කියන්නේ...? "
ඇන්ඩෲ හොඳටම බය වෙලා බය වෙලා වගේ උගේ වොයිස් එකෙන් ඒක හොඳටම තේරෙනවා.. මටත් මොකද ? "

" මේකයි ඇන්ඩෲ, මම පොලිසියේ Entry එකක් දැම්මා.."

" Are you mad ? මොන පිස්සු කතාවක්ද ඒ ? මම පැනලා ගියේ නැහැනේ.."

" හා..හා.. "  මම හිනා වුණා ඌට කිණ්ඩියට

" ලහිරූ ? "

" මේකයි.. මේකයි.. , මේ ප්‍රශ්නේ ගොඩින් බේර ගන්න තිබ්බා. කොහෙද ඇන්ඩෲ ඒ චාන්ස් එක ගත්තේ නැහනේ. Sorry, I am very sorry... දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. පොලිසියෙන් කතා කරයි.."

මම එහෙම කියලා ෆෝන් එක කට් කලා

දැන් ඉතින් බලමුකෝ මොකද වෙන්නේ කියලා. මූ දැන් ආපහු කතා කරනවා කියලා මම දන්න නිසා මම උගේ නම්බර් එක ආපහු අන් බ්ලොක් කලා. සචී අයියා කතා කලෙත් ඔය අතරෙමයි.

" හෙලෝ මගේ සුදු බබෝ.."
එයා එහා පැත්තේ ඉඳන් හුරතල් වෙනවා

" කොහොමද ට්‍රිප් එක හොඳයිද ? "
මම ඇහුවා

" ඔයා නැතුව වැඩක් නැහැ හිරූ.. මට පාළුයි.."

" මටත් පාලුයි ගොඩක්. ඔයාලා කවද්ද ආපහු එන්නේ පන ? "

" අපි ආපහු එන්නේ ඉරිදා පැටියෝ.. මට නම් එන්නමයි හිතෙන්නේ "

" කමක් නැහැ අයියේ, පරිස්සමෙන් ඉඳලා එන්න. නෝටි වැඩ කරන්නේ එහෙම නැහැ. කෙල්ලෝ දිහා එහෙම බලනව නෙමෙයි ඔන්න.."

මම කිව්වම එයා හිනා වෙනවා

" ඔයත් කොල්ලෝ දිහා බලන්නේ නැතුව ඉන්න.. මම ඉක්මනට එනවා. අපි දැන් නාන්න හදන්නේ කණ්ඩලම ලේක් එකේ.."

" එහෙම නම් පරිස්සමෙන් පන.. මට හවස කෝල් කරන්න හොඳද... උම්මා..."

" උම්මා.. මගේ සුදු බබා.."

සචී අයියා එහෙම කියලා ෆෝන් එක කට් කලා.

කොච්චර රණ්ඩු වුණත්, ආපහු යාළු වෙන්න යන්නේ විනාඩි ගානයි. මොනව උනත් උනත් අපි දෙන්නට අපි දෙන්න නැතුව බැහැ. ඒක තමයි ආදරය කියන්නේ. මගේ සචී අයියව මගේ කරගන්න මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා.


"ගිම්හාන කාලේ සිත් යායේ ගෑවිලා 
ලං වේද මා ඒ දෑසේ
සිත් මාගේ පෑරේද වස්සානේ වාගේ
සංකා නොදී පාව ඒ දෝ මා සොයා..
පෙර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ
යලි චෝදනා එපා දෑත බැඳී සීත හෝරාවේ.."

Sunday, March 18, 2012

Chapter 33 - "VALENTINES' DAY..."



එදා ගෙදර එන ගමන් ඉරෝෂයාට මම විස්තර කලා, අපි ලී බඩු ගන්න මොරටුවේ ගිහින් ඇන්ඩෲ මට ලයින් කරපු එකයි, උගේ කාඩ් එක දීලා මගේ නම්බර් එක ඉල්ලපු සීන් එකයි..
ඉරෝෂයට මැරෙන්න හිනා 

" උඹ කොහොම හරි රින් එක ගත්තනේ ? හැබැයි පුතෝ පරිස්සමෙන්, පොර උඹේ පස්සෙන් එන්නේ ට්‍රයි කරනවා වගේ මට නම් තේරුනේ "
ඉරෝෂයා අනතුරු ඇඟෙව්වා

" මං අහු වෙනවද බං ඔය ලී මෝලට. උගේ හිතේ නම් මොනවා තියෙනවද මම දන්නේ නැහැ.. මට මොකෝ...

" උඹව කාර් එකට නග්ග ගන්නමයි පොර හැදුවේ "

" ආස ඇති නේ.. හි..හී.. "

අපි දෙන්නම හිනා වෙවී ආවා

මම ගෙදර එද්දි සචී අයියයි ශ්‍රීමති ආන්ටියි ඇවිත් හිටියා. මගේ අතේ තිබුණ Ring එක දාලා දාලා තිබුන බෑග් එක 

" සචී අයියා දකින්න කලින් මම ඉක්මනට උඩට ගිහින් ඒක මගේ අල්මාරියට දාලා ලොක් කලා. මම කිළුටු ඇඳුම් ටික වොෂින් මැෂින් එකට දාන්න මගේ රූම් එකෙන් එලියට ගිහින් ආපහු එද්දි කාමරෙන් සද්දයක් ඇහුණා. මම හිමීට රූම් එකේ දොරෙන් එබිලා බැලුවා. සචී අයියා ඉනට අත් දෙක තියාගෙන මගේ කාමරයේ වටේට කැරකෙනවා. මං ටක් ගාල කාමරයට පැනලා හයියෙන් දොර වැහුවා.

" හිරූ.. හම්මෝ මං බය වුණ තරමක්.." සචී අයියා ගැස්සිලා කිව්වා.

" හොරෙන් කෙනෙක්ගේ රූම් එකකට ඇතුල් වීම දඬුවම් ලැබිය හැකි වරදක්.. විශේෂයෙන්ම අනවසරයෙන් ඇතුළු වීම.. හ්ම්ම්.. " මන් කිව්වා.

" මේ, කොල්ලෙක්ව දොර අගුලු දාගෙන, මෙහෙම කාමරේ ඇතුලේ සිරකරගෙන සිටීමත් වරදක්.."

" එතකොට මොකද්ද ඒකට දඬුවම ? "

" දඬුවම නේ ? ම්ම්ම්.. "

සචී අයියා ටිකක් වෙලා කල්පනා කරලා මගේ ලගට ඇවිත් මගේ තොල් දෙකෙ ඉම්බා.

" ම්ම්ම්.. ඔන්න දඩුවම.."

සචී අයියා ඇස් දෙක පුංචි කරලා කිව්වම මං එයාගේ නහය මිරිකුවා.

" හ්ම්.. කියමු බලන්න මගෙ රූම් එකට හොර පූසා වගේ රිංගපු හේතුව ? " මං ඇහුවා

" ඔයාගේ ගිෆ්ට් බෑග් එකක් වගේ එකක් ගේනවා දැක්කා.."

පේනවා නේද හොර කොල්ලා සේරම බලන් ඉඳලා වගේ 

" මම ? "

මං මොකුත් දන්නේ නෑ වගේ ඇහුවා

" ඔව් අර ක්ලාස් ගිහින් එද්දී ගෙනාවේ.."

" පිස්සූ.."

" හි..හී.. අනිද්දා වැලන්ටයින්.."

සචී අයියා හිනා වෙවී කියනවා

" ඉතින්..? "

" මං හිතුවා.."

සචී අයියා එහෙම කියනකොට මට හිනාව නවත්ත ගන්න බැරි වුණා

" හි.. හී.. මට පිස්සු කියලා හිතුවද ? අනේ මෝඩ කොල්ලෝ.. දැන්වත් යනවද මගේ රූම් එකෙන් එලියට ? මං නා ගන්න හදන්නේ.."

මං සචී අයියව රූම් එකෙන් එළියට දාන්න හැදුවේ

" හිරූ.."

එයා හුරතල් වෙනවා

" ගේනවා හොර පූසට සැමන් ටින් එකක්... හ්ම් යන්න දැන්.. කවුරුහරි එයි.. කෝ ඉතින්.."

මං හිනා වේවීම එයාව රූම් එකෙන් එලියට දැම්මා
හොර කොල්ලා.. අනිද්දා වැලන්ටයින් කියලා අමතක නෑ එහෙනම්.. මන් තනියම හිනා වෙවී කල්පනා කලා.

--------------------------------------------------------------------------------------

Monday, School ගිහින් මං ගෙදර ආවේ හවස සචී අයියව මීට් වෙන්න හිතාගෙන. මං එද්දි අපේ අයියා බරටම තෑගි පාර්සල් කරනවා, කෙල්ලට දෙන්න.. මට හිනා..

" හි.. හී.."

" මොකද මෝඩයෝ හිනා වෙන්නේ.."
අයියා ඔරවනවා

" මොනවද බං ඔච්චර දත් මිටි කාගෙන අර රැප් කරන්නේ .. හි.. හී..."

" අනූෂිට ගිෆ්ට් එකක් ගත්තා බං. අපරාදේ ශොප් එකේ කෙල්ල රැප් කරලා දෙන්නද ඇහුවම මන් පණ්ඩිතයා වගේ ඕන නෑ කියලා අරන් ආවා ගෙදරදී මගේ අතින්ම රැප් කර ගන්න.. වැඩේ චාටර් උනා වගේ "

අයියාගේ මූණත් එක්ක ඇඹුල් වෙලා. මං බොක්ස් එක දිහා හොඳට බැලුවා. ඒක නිකන් බෝම්බෙකට අහුවෙලා වගේ

" හි.. හී.. මේ අද නම් උඹේ කෙල්ල උඹව දාලා යනවා, ෂුවර් ඇන්ඩ් ශොට්.."

" ඒ මොකද බන් ? "

" බලපන්කෝ මේක රැප් කරලා තියෙන්නේ නිකන් සෝමාලියාවට අනාථ ආධාර දෙන්න හදපු සහනාදාර පෙට්ටියක් වගේ නේ... හික්.. හික්.. "

මං හිනාව නවත්ත ගන්න බැරුව කිව්වා

" අනේ එහෙනම් හොඳ සුදු මල්ලියා වගේ මේක හොඳ රැප් කරලා දීපන්කෝ, මන් 3.30 වෙද්දි යන්නත් ඕන "
අයියා නාහෙන් අඬනවා

" හ්ම්.. කෝ බලන්න.. මේ රැපින් පේපර් එක ගන්න දෙයක් නැහැ, කවුද සිලෙක්ට් කලේ ? "

" මං තමයි.. ඇයි ? "

" හැයි තමයි.. අනේ බං උඹ නම්.. රැපින් පේපර් එකෙන් මට හිතාගන්න පුලුවන් ඕක ඇතුලේ තියෙන එක ගැන.. හික්.. හික්.. "

අයියා මට ඔරවද්දි, මන් මගේ රූම් එකට ගිහින් ඉතිරු වෙලා තිබුන රැපින් පේපර් එකක් හොයාගෙන ආයෙත් අයියා ගේ රූම් එකට ආවා

" කෝ බලන්න.. මේකට මොකක්ද කරන්න පුළුවන් කියලා.. "
මං අයියා ඔතලා තිබුන පේපර් එක ගලවලා මගේ රැපින් පේපර් ඒකෙන් ගිෆ්ට් බොක්ස් එක ගානට රැප් කලා. උඩින් බෝ එකකුත් ඇලෙව්වා

" ආහ්.. දැන් හරි.. " අයියගේ මුහුණ සතුටින් ඉතිරෙනවා

" දෙයියන්ගේ පිහිටයි, ආරක්ෂාවයි කියලා හිතාගෙන ගිහින් කෑල්ලට දීපන්.. මන් තමයි රැප් කලේ කියලත් කියපන්.." මං කිව්වා

" ඒක නෙවෙයි, උබේ ලව් එකට මොනවත් ගත්තේ නැද්ද ? "
අයියා අහනවා, මගේ මූහුණ රතු වෙනවා අයියා සචී අයියා ගැන අහද්දී..

" ගත්තා.. " මං අහක බලාගෙන කිව්වා

" මොනවද ගත්තේ ? " අයියා අහනවා

" ගිෆ්ට් එකක්, පණ්ඩිතයා.. දැන් උබේ වැඩේ හරිනේ.. ගිහින් නාගෙන ලැහැස්ති වෙයන්. මාත් යනවා නාන්න "
මං ශේප් වෙන්න කියලා දැම්මා

අයියා ඒත් මගේ පස්සෙන්ම රූම් එකට ආවා

" මොකද බන් ? "

" පෙන්නපංකෝ, මොනවද සචියට ගත්තේ ? "

" උඹ හැබැයි හිනා වෙන්න බෑ හරිද ? "

මම අයියට ඇඟිල්ල උරුක් කරලා කිව්වා

" හරි.. හරි.. පෙන්නපංකෝ."
මම අල්මාරියෙන් රින් එක තිබුණු බොක්ස් එක අරගත්තා. බොහොම පරිස්සමෙන් ඒක ඇරලා අයියට පෙන්නුවා "

" ලස්සනයි කොල්ලෝ.. උඹද සිලෙක්ට් කලේ ? "
අයියා ආසාවෙන් ඒක අරන් බලනවා

" නැතිව.. නැතිව.. සචී අයියා කැමති වෙයි නේ ? "

" අනිවා.. මාර ලස්සනයි.. කීයක් වුනාද ? "

" Really offensive.. හි.. හී.. "
මං අයියට ජෝක් කලා

" මොකක් ?? "

මං ජුවලරි ශොප් එකේදී වෙච්ච සීන් සේරම අයියා එක්ක කිව්වා. ඌටත් හිනා.. අයියා කිව්වෙත් ඇන්ඩෲ වගේ උන්ගෙන් පරිස්සම් වෙන්න කියලා.

" මං ඔය කතාව සචී අයියට කිව්වම කිව්වම එයත් කිව්වේ පරිස්සම් වෙන්න කියලා තමයි... හි.. හී.. මගේ ගැන උඹ දන්නවනේ අයියේ.."

" ඒක හරි.. මගේ මල්ලිව මට ෂුවර්.."

අයිය මගේ ඔලුව අත ගාලා රින් එක ආපහු බොක්ස් එකට දාලා මගේ මගෙ අතට දුන්නා.
එදා හවස 5.30 වෙද්දී මම දෙහිවල නොලිමිට් එක ළඟට ගියේ මගේ සචි අයියව මීට් වෙන්න. වෙනදා වගේම මම පරක්කුයි, එයා වෙලාවට ඇවිත් ඉන්නවා. අද නම් කොල්ලා රෝස පාට ෂර්ට් එකක් ඇඳලා බ්ලැක් ටවුසර් එකට. ලස්සනේ බෑ.. ඔක්කොම හරි, ස්ලිම් ෆිට් ශර්ට් එක ඇස් දෙකටයි, උරහිස් වලටයි ඇහිලා වගේ, බේරිලා පේනවා, ලස්සනේ බෑ, මම එයා දිහා බලාගෙනම පාර පැන්නා.

Beeeeeeeeeepppppp Beeeeeepppp
KRRAAAAAAAAAAAZZZZZZZZ ! !

වෑන් එකක් ඇවිත් මගේ ගාව බ්‍රේක් ගැහුව. මාව ගල් ගැහිලා ගියා. හැප්පෙන්නේ නැතිව බේරුනේ අනූ නමයෙන්. පාරේ මිනිස්සුත් බලනවා.

" කොහෙද ඕයි යන්නේ ? මැරෙන්න හදනවද ? "
වෑන් එකේ ඩ්‍රයිවර් බැන බැන ගියා. මං ආපහු හැරෙන කොට සචී අයියා මගේ ළඟ. මට මුකුත් හිතාගන්න බැරිව තත්පර ගානක් හිටියා. සචී අයියා මගේ කර වටේ අත දාගෙන පාර අයිනට එක්කගෙන ගියා.

" හිරූ.. ඔයාට අවුලක් නැහැ නේද ? ?
එයා හොඳටම බය වෙලා

" නෑ.. නෑ.. මං දැක්කේ නැහැ ඒක එනවා. අනික මම කහ ඉරෙන්නේ පාර පැන්නේ.."
මං කතා කරගන්න පුලුවන් වුනු ගමන් කිව්වා

" මන් දැක්කේ නැහැ ඔයා පාර පනිනවා, මං වෙන පැත්තක් බලාගෙන හිටියේ , මං හොඳටම බය වුණා පැටියෝ.."

" මට මුකුත් උනේ නැහැනේ අයියේ.. අපි යමු.."

" අදත් Pizza hut ද ? "

සචී අයියා ඔලුව ඇල කරලා හිනා වෙනවා

" අද අපි මවුන්ට් බීච්.."
" Surprise... "

මං එහෙම කියලා එයාගේ අතින් අල්ල ගත්තා. අපි දෙන්නා බස් එකක නැගලා ඇවිත් ගල්කිස්සෙන් බැහැලා බීච් එක පැත්තට ඇවිදගෙන ගියා. හැමදාම වගේ සචී අයියගේ අතක් මගේ කර වටා ඉතිලා තිබුණා. එදා බීච් එකේ කපල්ස් පිරිලා. අපි දෙන්නා වැල්ලේ තිබුණු ඔරුවක හේතු වුණා. එතැනදී මම මගේ සාක්කුවේ තිබුණ රින් එක එළියට ගත්තා.

" සචී අයියේ.. මං ඔයාට පුංචි තෑග්ගක් ගෙනාවා.."
මම බොක්ස් එක ඇරලා රින් එක ගත්තා

" හරිම ලස්සන රින් එකක් පැටියෝ, ඒත් ඇයි මෙච්චර වියදම් කරන්නේ මම වෙනුවෙන් ? "

" මේවා වියදම් නෙවේ පන.. ඔයාට ආදරේ නිසයි.."
මම එහෙම කියලා සචී අයියගේ ඇඟිල්ලට රින් එක දැම්මා.

" I Love You too.. රත්තරන්.."

සචී අයියා අත් දෙකෙන්ම මගේ අත අල්ල ගත්තා.

" තව එක පොරොන්දුවක් තියෙනවා.. "
මම එහෙම කියලා වොලට් එකෙන් එලියට ගත්තේ අපි දෙන්නගේ මැරේජ් සර්ටිෆිකේට් එකේ ෆොටෝ කොපි එකක්. මම ඒකත් ලැමිනේට් කරලා අරන් ආවේ.

" මෙන්න මේක.."
මම ඒක සචී අයියට දුන්නා. එයා ඒක ගොඩක් ආසාවෙන් ගත්තේ.

" ඕක දුන්නේ මම කැමැත්තකින් නම් නෙවේ.."
මම ටිකක් වෙලා ඉඳලා කිව්වා

" ඇයි ඒ.."

" ඔයාට අපි දෙන්නගේ ආදරය මතක් වෙන්න.. ඕක ඕනෙම නැහැ.. ඒක නිසා.."
මන් එහෙම කියලා එයාගේ උරහිසට හේත්තු වුණා.

" මම ඔයාට තෑග්ගක් ගෙනාවේ නැහැනේ පැටියෝ.."
සචී අයියා එහෙම කියලා මගේ ඔලුව අතගාලා මාව එයාගේ ඉස්සරහට ගත්තා.

" ඔයා මට තෑග්ග දුන්නේ කලින්ම.."
මං මගේ ඇඟිල්ලේ තිබුන එයා දීපු රින් එක පෙන්නුවා.

" ම්ම්ම්.. ඒක නිසාම නෙවේ.. මට ඕන උනා ඔයාව එක්කගෙන ගිහිල්ලා ඔයාට ආස දෙයක් අරන් දෙන්න. ඒත් අද ඒකට වෙලාව මදි නේ.. අපි මේ වීක් එන්ඩ් එකේ යමු මගේ සුදු බබාට මොනාහරි ගන්න.."

" අහ්.. එහෙනම් මම ඔයාගේ මේ මන්ත් එකේ සැලරි එක ඔක්කොම ඉවර කරනවා.."

" හි.. හී.. කලින් කිව්ව එක හොඳයි. මං ATM කාඩ් එකත් අරන් එන්නම්. මදි වුනොත් සල්ලි ගන්න.."

" මෝඩයා.. මං එහෙම නාස්ති කරනවද ඔයාගේ සල්ලි.."
මං එයාගේ ඇස් දෙක දිහා බලාගෙන ඇහුවා

" ඔයා එහෙම කරනවට මම කැමැතියි... මගේ පැටියට නොදී කාට දෙන්නද.."
සචී අයියා මගේ නහය මිරිකලා කිව්වා



"කතා කලා,
නිල් දෑසින්ම දෑසේ හැපි
හිතා මතා හංගන්න බැහැ හිත මගේ
නුවන් සැලූ පවන් වලින් පවා මිදී
අලුත් වෙලා මටත් හොරාම ජීවිතේ ඉතින්..
අදත් කතාව යාවි මඟ හැරී.." 












Wednesday, March 14, 2012

Chapter 32 - "STONE N STRINGS..."



ආදරය නමින් ඉපදුනු හැම සුසුමක්ම වචනවලින් ලියන්න බැරි තරම් ගොඩාක් හැගීම්බර කතන්දරයක් තියෙනවා. සචී අයියගෙන් ඈතකට වෙලා ගෙවන මේ හැම තත්පරයක්ම මගේ හිතට ගෙනාවේ ලොකු දුකක්.
නුවර ගිය සචී අයියා ආපහු කොළඹ ආවේ දවස් හතරකින්. ඒ දවස් හතර මට නිකන් අවුරුදු හතරක් වගේ දැනුනේ. මට බස් එකක නැඟලා නුවර යන්න යන්නත් හිතුනු වාර අනන්තයි. ඒත් සචී අයියා නිතර නිතර කෝල් කලා. මොනව උනත් එයාට මාත් එක්ක තරහා වෙලා ඉන්න බැහැ. මටත් එහෙමයි. වීකෙන්ඩ් එකේ සචී අයියා කොළඹ ආවා. එද්දි හවස් වුණු නිසා අපේ ගෙදර එන්නේ නැතුව කෙලින්ම එයාලගේ ගෙදර ගිහින්. රෑට කෑම කාලා මං රූම් එකට ආවේ සචී අයියට කතා කරන්න හිතාගෙන. ඒ වෙද්දී එයා තුන්පාරක්ම කෝල් කරලා. මන් එයාගේ නම්බර් එක ඩයල් කරලා ෆෝන් එක කනේ තියා ගත්තා.

" හෙලෝ මගේ සුදු පැටියෝ..."
එයාගේ කට හඬ ඇහෙන කොට මට දැනුණේ මැරිලා ඉපදුනා වගේ අලුත් හැඟීමක්.

" ඔයා කෝල් කරලා නේද ? මම කෑම කන්න ගියා "

" මන් දන්නවනේ මගේ කොල්ලා මේ වෙලාවට කෑම කනවා කියලා. මටත් එක්ක බන්ඩි ගෙඩිය පිරෙන්න කෑවද ? "

" ඔව්.. ඔයා කෑවද ? "

" මං කෑවා. ඔයා කාමරේද ඉන්නේ ?

" ඔව් "

" කෝ එහෙනම් පොඩ්ඩක් බැල්කනි එකට එන්නකෝ.."

" මොකක්.. ඔයා කොහෙද ඉන්නේ ? "

" ඔයාලගේ ගෙදර ඉස්සරහා ඉන්නේ.."

" ම්ම්ම්.. මන් බැල්කනි එකේ දොර ඇරියා.."

" ආහ්.. තව චුට්ටක් ඉස්සරහට එන්නකෝ " එයා කියනවා.

" කෝ ඔයා කොහෙද ? මට ඔයාව පේන්නේ නැහැනේ "

" බැල්කනි එකේ කෙළවරට එන්නකෝ "
මං එයා කියන කියන විදිහට කලත් එයාව පාරේ කොහෙවත් පේන්නේ නැහැ

" ඔයා බොරු නේද කියන්නේ ? මට ඔයාව පේන්නේ නැහැනේ "

" මට ඔයාව පේනවනේ පැට්ටෝ "

" කෝ කොහෙද ? අනේ කියන්නකෝ.. කොහෙද ඉන්නේ කියලා. ඔය වැස්සකුත් කඩන් පාත් වෙනවා. තෙමෙන්න එපා. ඉන්න තැනකින් එළියට එනවා.." මන් සැර වුනා

" හි.. හී.. හික්.. හික්.. මන් ඉන්නේ අපේ ගෙදර මිදුලේ.."

" අනේ.. මෝඩයා.. මන් හිතුවා.. මාව රවට්ටන්න තමයි කියලා "

" හි.. හී.. මම ඔයා තරම් වීරයෙක් නෙවේනේ තාප්පෙන් පැනලා ඇවිත් ඔයාව බලලා යන්න එන්න.."

" ඔයා තවම මාත් එක්ක තරහින්ද ඉන්නේ සචී අයියේ..? "





" අනේ නැහැ රත්තරන්.. මං කිව්වේ ඇත්තනේ.. මං දන්නවා ඔයා හැමදේම කරන්නේ මට තියෙන ආදරයට කියලා. හ්ම්ම්.. මටත් එහෙම කරන්න පුළුවන් වුණා නම්.."

" මට කියන්න පන, තරහා නැහැ කියලා.. මට දුකයි ඔයා ඔහොම කියද්දි "

" ප්‍රොමිස්.. මං තරහා නැහැ මගේ සුදු පැටියත් එක්ක.. ඒක නෙවෙයි හෙට මාව බලන්න එනවා නේද ? "
එයා පොඩි එකෙක් වගේ අහනවා

" මන් ස්කුල් ඇරිලා එන ගමන් ඔෆිස් එකට එන්නද ? නැත්නම් හවස මීට් වෙමුද ? "

" හවස මීට් වෙමු පැට්ටෝ.. මටත් ඔෆිස් එකේ වැඩ ගොඩක් ඇති. අම්මි මට සැලරි ගෙවන්නේ නිවාඩු ගන්නවට 
නෙවෙයි නේ. ඔයා මොකක් හරි පචයක් කියලා හවසට ගෙදරින් පනින්න.

" ආහ්.. ඒක අවුලක් නැහැ, මන් මොකක් හරි කියලා එන්නම්.."

" ඒක නම් ඉතින් මන් ඔයාට කියලා දෙන්න ඕන නැහැනේ.. හි.. හී.."

" යනවා යන්න.. පිස්සා.."
මට හීන් හිනාවක් ගියා එයා කියන දේවල් නිසා

" හරි පැටියෝ, එහෙම නම් මං උදේට කෝල් කරන්නම්. දැන් බැල්කනි එකේ දොර හොඳට ලොක් කරලා දොයිය ගන්න. කොහොමහරි මුහුණත් බලා ගත්තනේ.."

" හි..හී.. හරි පන.. ඔයත් දොයිය ගන්න. ගුඩ් නයිට්.. උම්මා........... උම්මා......... මගේ චූටි.."
පහුවෙනිද හවස මගේ කොල්ලව හම්බ වෙන්න දහසකුත් ප්‍රාර්ථනා හිතේ තියාගෙන මං නින්දට ගියා. මගේ මුලු හිතම පිරිලා තිබුණේ ලොකු සතුටකින්. මට මොහොතකටවත් එයා නැති වෙයි කියන බයෙන් මම හිටියේ. ඒත් ඒක එහෙම වුණේ නැහැ. ඒ හැඟීම හරිම පුදුමාකාරයි...


----------------------------------------------------------------------------------------

පහුවදා හවස අපි දෙන්නා දෙහිවලදි හම්බ වුණා. හුරුපුරුදු පීසා හට් එකට ගියේ නිදහසේ කතා කරන්න හිතාගෙන. සචී අයියා ඔෆිස් එකේ ඉඳන් ආවම කොල්ලගේ ලස්සන තවත් වැඩියි. අත් දිග ෂර්ට් එකට කලු කලිසම ඇදලා ටයි එක උඩ පොකට් එකේ දාගෙන.බදාගෙන තුරුළු වෙලාම ඉන්න හිතෙනවා.

" හිරූ.. "

" ම්ම්ම්.."

" මොනවද ඔච්චර කල්පනා කරන්නේ ? "
සචී අයියා අයියා අහනකොට මම පියවි ලෝකෙට ආවා.

" ඔයාගේ ලස්සන බැලුවා "

" හා.. හා.. මගේ මොන ලස්සනක්ද ? මගේ කොල්ල තමයි ලස්සනම "

" හි. හී.. වෙන නැත්නම් කොල්ලෝ.."

" පැටියෝ.."
සචී අයියා ලොකු කතාවකට මුල පුරනවා

" අයියේ.."
මට එයාගේ ඇස් දිහා බැලුවා

" ඔයා ඔහොම අයියේ කියද්දි මට දුකයි පැටියෝ.."

" ඉතින් මම ආදරේටනේ එහෙම කියන්නේ.."

" ඔයා මට කොයි තරම් ආදරේද කියලා මං දන්නවා හිරූ... මාත් එක්ක තරහා නැහැ නේද ? "

" නැහැ පන.. කවදාවත් තරහ වෙන්නෙත් නැහැ, තරහ වෙලා ඉන්නත් බැහැ.."

" මට අපි දෙන්නගේ මැරේජ් සර්ටිෆිකේට් එකේ කොපි එකක් දෙන්න පැටියෝ. ඔයා ලග විතරක් ඒක තිබිලා මදි.."

" ඇයි ඒ..? දෙන්නටම එකක් ඇතිනේ.."

" නැහැ හිරූ.. මට ඒක නිතරම දකින්න ඕන. ඔයා ඒක මොන තරම් ආදරයකින්ද තියාගෙන ඉන්නේ.. මට එදා ඔයා ඒක පෙන්නලා " මේක නිසයි තවමත් ඔයා ලඟ ඉන්නේ " කියලා කිව්වම මගේ හිත කීරි ගැහිලා ගියා හිරූ.. ඔයා හැමදාම අපේ ආදරය ආරක්ෂා කලා. මං ප්‍රශ්න වලින් පැනලා ගියා. මට සමාව දෙනවා නේද ? මං අපි දෙන්නගේ පොරොන්දු කැඩුවා "

සචී අයියා මගේ ඇස් දිහා බලාගෙනම කියද්දී මං අහගෙන හිටියා විතරයි

" ඇයි හිරූ කතා කරන්නේ නැත්තේ ? "

" ඔයා මොනව කලත්, කොහේ ගියත් මං දන්නවා සචී අයියේ.. ඔයා මට තරම් මේ ලෝකේ ආදරය කරනවා නම් ඒ ඔයාගේ අම්මට විතරයි. මට ඒක නිසා බය නැහැ. මගේ ආදරය ඇත්තක් නම් මට කවදාවත් ඔයාව නැතිවෙන්නේ නැහැ පන "

සචී අයියා මගේ අත් දෙක අල්ල ගත්තා. මන් ඒ අත් දෙක තද කර ගත්තා.

" ඔයාට මාව කවදාවත් නැති වෙන්නේ නැහැ හිරූ.. ඒත් ඔයාව එදා පාරේ ඒ විදිහට අතරමං කරලා මං ගියේ කොහොමද කියලා මට අදටත් හිතාගන්න බැහැ. මං දහස් වාරයක් පසුතැවුණා. මං නුවරට ගිහින් බස් එකෙන් බැහැලා වැව රවුම ලග ඇවිදගෙන යද්දී මට මතක් උනා, අපි දෙන්නා ඒ වැව රවුමේ ෆොටෝස් ගත්ත හැටි. මතකද ඔයාට ? ඔයා මට මුලින්ම ආදරය කිව්වෙත් නුවරදි.. "

" මට ඒ හැම දෙයක්ම මතකයි රත්තරන්.. කොහොම අමතක කරන්නද.. ඉස් ඉස්සෙල්ලම ආදරෙයි කියලා මගේ අයියට කිව්ව දවස.."

" මට ඒ හැම දෙයක්ම මතක් උනා හිරූ.. මං මහ මෝඩයෙක් කියලා හිතුනා. ඔයා වගේ කොල්ලෙක් නැති කරගන්නද මං මේ හදන්නේ කියලා හිතුනා.. ප්ලීස්.. ප්ලීස්.. හිරූ කියන්න මට සමාව දෙනව නේද ? "

" මං තරහ නැහැ කියලා කිව්වනේ පන.. ඔයා සමාව ඉල්ලන්න ඕන නැහැ. මමත් වරදක් කලේ. මගේ පන එක්ක මං කොහොම නම් තරහා වෙලා ඉන්නද ? ඔයාට මාව නැති වෙන්නේ නැහැ සචී අයියේ.. "

" මට අපි දෙන්නගේ මැරේජ් සර්ටිෆිකේට් එකේ කොපි එකක් ඕනි.."

" දෙන්නම් පන.. ඉක්මනටම.."

----------------------------------------------------------------------------------------


ඊට ටික දවසකට පස්සේ 2011 අවුරුද්දේ වැලන්ටයින් ඩේ එක ලං වුනා. මම එදාට අපි දෙන්නගේ මැරේජ් සර්ටිෆිකේට් එකේ අලූත් කොපි එකක් සචී අයියට හදලා ලැමිනේට් කරලා දෙනවා කියලා හිතා ගත්තා. ඒත් එක්කම එයාට අලුතින් රින් එකකුත් අරන් දෙන්න ඕන කියන උවමනාව මට තිබුණා. දවසක් මං ක්ලාස් ඉවර වෙලා ඉරෝෂයත් එක්ක Stone N Strings එකට ගියේ සචී අයියට රින් එකක් සිලෙක්ට් කරගන්න.

" උඹ හදන්න දීලා එන්නද යන්නේ ? ගන්නමද ? "
ඉරෝෂයා අහනවා

" ඒක හද හද හිටියොත් මට රින් එකක් දෙන්න වෙන්නේ නෙක්ස්ට් වැලන්ටයින් එකට තමයි. තියෙන හොඳ එකක් සිලෙක්ට් කරලා අර ගමු අදම "

මමයි ඉරෝෂයි stone n string ශොප් එකේ ඇතුලට ගියා. හප්පොච්චියේ එකේ කෙල්ලෝ කොල්ලෝ පිරිලා.

" වැලන්ටයින් තියෙන්නේ මෙහෙනේ බන්.."
මන් ඉරෝෂයගේ කනට කරලා හිමීට කිව්වා.

" ආයෙත් අහලා. බලපන්කෝ අර කෙල්ල, කොල්ලගේ කරේ එල්ලිලා, උගේ දත ගලවන හැටි.. හික්.. හික්.. "
අපි දෙන්නා වටපිට බල බල ගිහින් සේල්ස්මන් කෙනෙක් ගාව නැවතුනා. පොරත් අපි දෙන්නා දිහා අමුතු සත්තු දෙන්නෙක් දැක්කා වගේ බලන් ඉන්නවා කටත් ඇරගෙන

" Could you please show me some silver rings with latest designs ? For men.."
මන් ගණන් ගන්නේ නැතුව කඩ්ඩෙන්ම කෙටුවා.

" yeah sure, Exactly how much you gonna spend on ? Any fixed price ? "
අප්පද බොල මුගේ කට.. මූ මගෙන් අහනවා කීයකට වගේද බලන්නේ කියලා. හික්ස් "

" Well I'm talking about an obscene amount of money.."
මමත් කියලා ඇරියා

" Sure sir, here's the designs under 5000, here 10,000 and 25,000 the best designs.."
මම බැලුව එක ඩිසයින් එකක්වත් මගේ හිතට ඇල්ලුවේ නැහැ.

" Have you got any other designs ? Something unique, I'm gonna spend an obscene amount of money for such a design.."

මං ආපහු සේල්ස්මන් කාරයාට කිව්වා

" Sure sir, actually how obscene amount of money were you talking about ? Just profane or really offensive ? "

පොර ආපහු මගෙන් ගාන අහනවා. මට මල පැන්නා.

" REALLY OFFENSIVE "

මං කෙලින්ම පොරගේ මුහුණ දිහා මූහුණ දිහා බලලා කිව්වා.

" oh I like it so much.. these are the designs from 30 to 45 thousand "
පොර හිනා වෙලා තව රින්ස් සෙට් එකක් පෙන්නුවා.

එතන තිබුන රින් එකක් මගේ හිතට ඇල්ලුවා. ඒක සිල්වර් ගෝල්ඩ් මික්ස් ඒ වගේම යුනික් ඩිසයින් එකක්. සචී අයියගේ ඇඟිලි සයිස් එකට ගානට මැච් වෙනවා. මං ඒක බැලුවේ මගේ ඇඟිල්ලකට දාලා. අපි දෙන්නාගෙම එකම සයිස්. මම රින් එක අරගෙන ඉරෝෂයට පෙන්නුවා.

" What do u think ? "

" Awesome selection.." ඉරෝෂයා කිව්වා

" Yeah I'd like to buy this.. hiw much will this cost ? "
මං රින් එක දීලා ඇහුවා

" That's a great choice sir, but this one is already sold. I can give you the same in one week "
මට ආපු කේන්තියට උගේ හොම්බ කට සමතලා වෙන්න දීලා අදින්න හිතුනා.

" What the... if it's sold already, why on earth u have kept it in the display ? "
මං ටිකක් සැරෙන් ඇහුවා. සේල්ස්මන් කොල්ලගේ මූණ ඇඹුල් වෙලා. ඌට A/C එක ඇතුලේ දාඩියත් දාලා. මට නම් හොඳටම යකා නැගලා.

" Sorry sir, just a few minutes ago we sold it, and the customer just went away for something, he even paid the full amount already, there he is.."

කොල්ලා එහෙම කියලා ඈත ඉඳන් අපි දිහාවට එන බෝයි කෙනෙක්ව පෙන්නුවා. මමයි ඉරෝෂයයි හැරිලා බලද්දි ජැන්ඩියට ඇඳ ගත්ත කොල්ලෙක් එනවා. අප්පට සිරි, මේ අර ලී බඩු කඩේ කොල්ලනේ. මතක ඇතිනේ අපිට අඩු කරල ලී බඩු දුන්නේ. හි..හී.. සචී අයියා මෙතන හිටියා නම් මොනවා කර ගනීද දන්නේ නැහැ. මූ ලී බඩු සාප්පුවේ ඉන්නේ නිකං කබ්බා වගේ, දැන් නිකන් කිට මරලා, නිකන් නැගී එන පරපුරේ බැසී යන සුපිරි තරුවක් වගේ

" හෙලෝ මල්ලී.. ඔයාලා මොකද මෙහේ ? "

කොල්ලා මගෙ ලඟට ඇවිත් අතට අත දුන්නා.

 " වරදක් නැහැ අයියේ, පොඩි ගිෆ්ට් එකක් අරගන්න ආවා. "
මන් හිනා වෙලා කිව්වා

ඉරෝෂයයි සේල්ස්මන් කොල්ලයි අපි දෙන්නා දිහා කන්න වගේ බලන් ඉන්නවා.

" So you both know eachother ? " සේල්ස් කොල්ලා හිනා වෙලා අහනවා

" Yeah, we know each other " මම එහෙම කියලා ඉරෝෂයා දිහා බැලුවා. පොර තක්කු මුක්කු වෙලා බලන්න ඉන්නවා.

" Sir, the ring you bought, this young gentleman would like to buy it too.."

සේල්ස් කොල්ලා කියද්දී ලී බඩු සාප්පුවේ කොල්ලා මගේ දිහා බලලා හිනාවක් දැම්මා.

" ආහ්.. එච්චර ගාණක් දීලා ඔයා කාටද රින් එක ගන්නේ ? "
මේ බූරුවා මගෙන් අහපි..

" මගේ අක්කිගේ හස්බන්ට " මන් පචයක් කෙලියා

" ආහ්.. ඉතින් අක්කි ඇයි ආවේ නැත්තේ ? "

" එයා ප්‍රෙග්නට්, ඒක නිසා එයාට එන්න අමාරුයි. මට කිව්වා බලලා හොඳ එකක් ගෙනත් දෙන්න කියලා "
මං කිව්වේ හොරෙන් ඉරෝෂයා දිහා බලන ගමන්, ඌ බොහොම අමාරුවෙන් හිනාව තද කරගෙන ඉන්නවා

" ඕහ්.. එහෙමද ? මම නම් රින් එක ගත්තේ මට, කමක් නැහැ ඔයා ගන්න. මන් වෙන එකක් ගන්නම්.."
කොල්ලගේ පරිත්‍යාගශීලී කමට මං එච්චර කැමැති වුණේ නැහැ.

" නැහැ කමක් නැහැ අයියේ, ඔයා පේ කරලනේ තියෙන්නේ.. මම වෙන එකක් බලන්නම් "
මන් ශේප් වෙන්න හැදුවේ.

" මල්ලි මස්සිනට හරි ආදරෙයි වගේ, එච්චර වටින ගිෆ්ට් එකක් ගන්න ආවේ "
මූ මට නෝන්ඩිය දානවා. මූට ඕන මගේ කටින් අල්ල ගන්නද කොහෙද

" මන් නෙවේනේ..අක්කනේ සල්ලි දුන්නේ "
මන් ගානක් නැතිව කිව්වා

" It's ok මල්ලී, මන් වෙන එකක් ගන්නම්. ඔයා මේක ගන්නකෝ.."
උගේ බලකිරීම නිසා අන්තිමට මං ඒක ගන්න කැමැති වුණා. ඌ ගෙවපු ගාන ආපහු රිෆන්ඩ් කරලා මගේ නමින් අලුත් බිල් එකක් ඉල්ලගෙන මන් සල්ලී ගෙව්වා. ඒ ටික ඉවර වෙනකම් මූත් උගුඩුවා වගේ එබීගෙනම හිටියා.

" තෑන්ක්ස් අ ලොට් අයියා, සොරි මට ඔයාගේ නම මතක නැහැ "
මන් පොරට අතට අත දෙන ගමන් කිව්වා.

" ආහ්.. ඇයි ඒ ? මන් ඔයාට මගේ බිස්නස් කාඩ් එකක් දුන්නේ එදා ? "
පොර එහෙම කියද්දී ඉරෝෂයා මගේ මුහුණ දිහා බලනවා පුදුමයෙන් වගේ

" ඒ කාඩ් එක අම්මට දුන්නා. මට බලන්න අමතක උනා. මම නෙවෙයිනේ ලී බඩු ගත්තේ.. අම්මනේ.."

" ඕහ්.. එහෙම අමතක කරන්න එපා ඉතින් අපිව. මම ඇන්ඩෲ.. ඇන්ඩෲ ෆර්නෑන්ඩු "

" Ok.. මන් ලහිරූ, මේ මගේ Best Friend ඉරෝෂ. "

" මට පුදුමයි ඔයාව අද මෙහෙම මීට් වුණු එක ගැන. ඔයාලා දෙහිවලට නේද යන්නේ ? මන් ඩ්‍රොප් කරන්නම්.."
පොර එතන නවත්තලා තිබුණ හයිබ්‍රිඩ් කාර් එකක් ගාවට යන ගමන් කිව්වා.

" එපා අයියේ.. Thanks a lot! අපි දෙන්නට තව වැඩ වගයක් කර ගන්න යන්නත් තියෙනවා. ගිහින් එන්නම්. Thanks for your generosity for the ring and the lift both.."

මං එහෙම කියලා ෂේප් වුණා

" මොකක්ද බන් ඒ වුනේ ? "
අපි දෙන්නා පාර පනින්න කහ ඉර ගාවට යද්දි ඉරෝෂයා මගෙන් අහනවා.

" Long Story.. යමන් මම කියන්නම්.. හි..හී..."


" මේ මුළු අහස මා සතුයි
මේ මුළු පොළොව මට නතුයි
ඔබ මා අසල සිඳී නම්
ඔබ මා අසල හිඳී නම්.."